UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුවේ දොරටුනමෝතස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස
ආරෝග්‍ය මිච්ජේ පරමංචලාභං
සීලංච වූද්ධානු මතං සුතංච
ධම්මානු වත්තිච අලිනතා ච
අත්ථස්ද්වාරාජමුඛා ජලේතේ ති
 

කාරුණික පින්වත්නි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අනන්ත සැනසීමක් සිතට ලැබෙනව. මෙලොව පරලොව දෙකෙහිම එම සැනසීම ලබන්න හොඳින් බණ අහන්න ඕන. ඒ ධර්මය හොඳට හිතට ගන්නත් ඕන. ඒ වගේම එය පිළිපදින්නත් ඕන. ‘සුනාථ ධාරේථ චරාථ ධම්මේ’ එවිට දේශකයාණන් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ඨ වෙනව.

ඉහත මාතෘකා කළ ගාථාවේ සරල තේරුම වන්නේ නිරෝගි වීම, සිල් වත් වීම, වැඩිහිටියන්ට සැළකීම, බොහෝ දේ උගත්බව ධර්මානුකූලව ජීවත් වීම, අලස නොවීම දියුණුවේ දොරටු බවයි.

ආරෝග්‍ය මිච්ජේ පරමංච ලාභං’ නිරෝගි බව මිනිසකුට ඇති මහා සැපතයි. ධන සම්පත් , පරිවාර සම්පත් කෙතෙක් තිබුණත් නිරෝගිකම නැත්නම් එම ජීවිතය අඳුරුයි. කායික මෙන්ම මානසික වශයෙන් රෝග දෙකක් මිනිසුන්ට වැළදෙනව. සෘතු විපර්යාසයන්ගෙන් කර්ම විපාකයන්ගෙන්, තම පැවැත්මේ දුර්වලකමින් කායික රෝග හටගන්නව. පෙරකළ අකුසලයන් නිසා කර්ම විපාකයෙන් හටගන්නා රෝග හැරුණාම අනෙක් රෝග සුවකරගන්න පුලුවන්. එහෙත් සාර්ථක ජීවිතයක් ගෙනයාමට නම් මනසේ නිරෝගිකම අවශ්‍යයි. මානසික රෝගියාගේ කායික රෝගත් වැඩිදියුණු වෙනව. එනිසා ප්‍රධාන වශයෙන් මනස නිරෝගී කරගන්න ඕන.

මිනිසා උපන්දා සිට කෙළෙස් එකතු කරනව. ආශාව, තණ්හාව වැඩෙනව. ධන තණ්හාවෙන් මිනිසා මත්වෙනව. ‘භෝග තණ්හාය දුම්මේධෝහන්ති අඤෙඤ්ව අත්තනං’ තණ්හාව නිසා අනුන්ලවා තමන් නසා ගන්නාක් මෙන් තමන්ගේ සිත තමන් ම නසා ගන්නව. මමත්වය තුළින් අහංකාරය, උඩඟුකම ඉස්මතුකර ගන්නව. ඒ තුළින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සිත තුළ ආරෝපණය කරගන්නව. මේ කෙළෙස් විෂබීජ නිසා තමයි සිත ලෙඩ වෙන්නෙ. ‘ආරෝග්‍ය පරමාලාභා’ නිරෝගිකම පරම ලාභය කරගන්නනම් ප්‍රථමයෙන් සිතේ ලෙඩ සුව කර ගන්න ඕන. මනස නිරෝගි කර ගන්නනම් නිතරම සිත තුළ කරුණාව තියෙන්න ඕන. මෛත්‍රී‍්‍ර භාවනාව වඩන්න ඕන. අනෙක් අයගේ සැපතේ දී සතුටුවෙන්න ඕන. දුකට පත් අයට එම දුක තුනී කරගන්න උදවු කරන්න ඕන. ඉගෙනගන්න අසරණ දරුවන්ට පොත්පත් ලබාදීල උදවු කරන්න ඕන. නැතිබැරි අයට පිහිට වෙන්න ඕන. ගිලානෝපස්ථානය, බෙහෙත් පූජා කිරීම, වැඩිහිටියන්ට සැළකීම, දස දානවස්තු පූජා කිරීම, ගමේ විහාරස්ථානය සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් ලබාගැනීම ආදී කටයුතුවල නිරතවන අයට අටලෝ දහමින් කම්පා නොවී මධ්‍යස්ථව සිතීමෙන් සිතේ සැහැල්ලුබවක් ඇතිවෙනව. සිත පිරිසුදු වෙනව. එය කායික මෙන්ම මානසික රෝගවලට දිව්‍ය ඖෂධයක් මෙන් නිරෝගී මානසිකත්වයක් ඇත්නම් එය දියුණුවේ දොරටුවක් වෙනව.

දියුණුවේ දොරටු විවෘත කර ගැනීමට සීලයත් අවශ්‍යයි. සීලාචාරවීම හෙවත් හික්මීම සීලයයි. දියුණුව ඇතිකර ගන්න එම යහපත් පැවැත්ම තියෙන්න ඕන. හිත, කය, වචනය තිදොර සංවරය තුළින් එම හොඳ පැවැත්ම ලබාගන්න පුළුවන්. ගුණයහපත්කමින් ජීවත්වන තැනැත්තාගේ ජීවිතය අලංකාර මලක් වගේ. එයට කවුරුත් ඇලුම්කරනව. දකින අයගේ් හිත බැ‍ෙඳනව. සිල්වත් කෙනාගෙ ගුණ සුවඳින් ලොවම සුවඳවත් වෙනව. දෙවියොත් පි‍්‍රයමනාප වෙනව. කරන කටයුතු සියල්ල සාර්ථක වී දියුණුවේ මඟ පෑදෙනව.

වැඩිහිටියන්ට සැළකීමත්, දියුණුවේ දොරටුවක්. වැඩිහිටියෝ කියන්නෙ සිල්වතුන්, ගුණවතුන්, මවුපිය ගුරුවරු යන අය. සීලයෙන් ගුණයෙන් නුවණින් තපසින් වයසින් වැඩිහිටි අයට අප ගෞරව කරන්න ඕන. ඒ අයගෙ අවවාද පිළිගන්න ඕන. වැඩිහිටියෝ කියන්නෙ සෑම අතින්ම අත්දැකීම් බහුල අය. ඒ අය අත්දැකීම් ඇතිවයි උපදෙස් දෙන්නෙ. ඒවා අපි පිළිගන්න ඕන. ආදරණීය මෑණියන් දරුවකු මෙලොවට බිහි කරන්නේ කෙතරම් බලාපොරොත්තු ඇතිව ද? දරුවකු මවුකුස තුළ දී ඒ අම්මා නව මාසයක් තුළ අනන්ත දුක් විඳිනව. සැර ආහාර ගන්නෙ නෑ. සීතල ආහාර ගන්නෙ නෑ. හදිසියකට ගමන්බිමන් යන්නෙ නැහැ. ඒ තම දරුවාට තිබෙන ආදරය කරුණාව නිසයි එසේ කරන්නෙ. තාත්ත අනන්ත දුක් විඳල හරි හම්බකරල දරුවො පෝෂණය කරනව. නිසි අධ්‍යාපනය ලබා දෙනව. ඒ අම්මට තාත්තට කොපමණ සලකන්න ඕනෑද? ඇතැම් අය අම්ම තාත්තා මහලුවූ විට නොසලකා හරිනවා. වයසට ගිය අම්ම තාත්ත ඉන්නවද මළාද කියල නොබලන සමහර දරුවෝ ඉන්නව. ඒත් අභාවයෙන් පසු අවමඟුල් උත්සවය මහ ඉහළින් පවත්වනව. අම්මට තාත්තට තිබෙන ආදර ගෞරවය නිසා නොවෙයි එසේ කරන්නෙ. තමන්ගෙ මාන්නය රටට පෙන්වන්න. එවැනි දරුවෝ මෙලොව පරලොව දෙකේදීම පිරිහෙනව. මවුපිය වැඩිහිටියන්ට සලකන අය මෙලොවත් දිනනව. පරලොවත් දිනනව.

උගත්බවත් දියුණුවේ දොරටුවක්. බහුශ්‍රැතයා කියන්නෙ ධර්මචාරීව බොහෝ ඇසුපිරූතැන් ඇති අයයි. හොඳ නරක, ගුණ යහපත්කම්, යුතු අයුතුකම් හඳුනන අයයි. ඒ අය මෙලොව පරලොව දෙකේදීම දියුණු වෙනව.

ධර්මානුකූ®ලව ජීවත්වීමත්, දියුණුවේ දොරටුවක්. ‘’ධම්මචාරි සුඛං සේති - අස්මිං ලෝකේ පරම්හිච’’ ධර්මචාරී පුද්ගලයා මෙලොව පරලොව දෙකේදීම සැපසේ වාසය කරනව. ධර්මචාරි තැනැත්තා හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. ඒ අය මරණයට බියක් නැහැ. අට ලෝ දහම ගැන නිසි අවබෝධයක් තියෙනව. ඒ අයට නිතරම සමාජයේ ගෞරව ප්‍රශංසා ලැබෙනව. ජනතාව අතර ප්‍රමුඛස්ථානය ලැබෙනව. ධර්මචාරිව ජීවත්වීමත් දියුණුවේ දොරටුවක්.

අලසකමින් තොරවීමද, දියුණුවේ දොරටුවක්. මෙම බුද්ධෝත්පාද කාලයේ භවයේ කරපු අනන්ත කුසල් නිසා සසරින්ගෙනා අනන්ත ගුණ අංග අප ළඟ තියෙනවා. අලසව සිටියොත් කුසල් සිත් වැහෙනව. මළ බැඳුන රන් බඳුනක් වගේ වෙනව. රන් බදුනේ මළ ඉවත් කරනව වගේ කුසල් සිත් උපදවාගෙන තිබෙන කුසල් තව තවත් වැඩිදියුණු කරගන්න ඕන.

ඔබ සැමට තෙරුවන් සරණයි!

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]