UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සාධු ජනයන්ගේ සිත් පහන් කළ බෞද්ධ සාහිත්‍ය

ථූපවංශ කතුවරයා, ථූපවංශයේ සෑම පරිච්ඡේදයක්ම අවසන් කළේ “ සාධූ ජනයන්ගේ සිත් පහදවන පිණිස කරන ලද මේ ථූපවංශයෙහි විද්‍යාමාන වූ බුදුවරයන්ගේ ථූප කතාවද, සියලු බුදුවරයන්ගෙන් අපගේ ස්වාමිදරුවාණන් විවරන ලත් නියාවද කියා නිමවන ලදී යනුවෙනි.

බෞද්ධ සාහිත්‍යකරුවා සමාජයට ලබාදීමට බලාපොරොත්තු වූ උතුම් අත්දැකීම්ද, ජීවිත යථාර්ථයද ඉන් මැනැවින් කියැවිණ. මිනිස් ජීවිතය සාර්ථකවීමට, යහපත්වීමට අවශ්‍ය වින්දනය, රසය, තෘප්තිය, සැනසීම, කවරේදැයි බුදුන් වදාළ අතර, පාලි, සිංහල හා සංස්කාත භාෂාවලින් ලියැවුණු බෞද්ධ සාහිත්‍ය කෘතිවලින්, එම ධර්මය පහදා දෙනු පිණිස කළ සද් ක්‍රියාදාමය, අතිවිශිෂ්ටය. එම සනාතන සාහිත්‍යයේ හර පද්ධතිය සදාකාලිකය.

නූතන තාක්‍ෂණ ක්‍රම, ග්‍රන්ථ ප්‍රකාශන අවම වූ අතීතයේ, පැවැති සියලු ලිපි ලේඛන, ග්‍රන්ථ සියල්ලම නිර්මාණය කෙරුණේ. මානව හිතවාදීව ජීවිතයේ යථාර්ථය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ අවබෝධ කරදී, බුදුන් වදාළ උතුම් ධර්ම මාර්ගයට යොමු කොට, සැබැ විමුක්තියේ, සුවය, රසය, ලබාදීමටය. මෙම උතුම් බෞද්ධ සාහිත්‍ය කෘතීන් පරපුරෙන් පරපුරට භාවිතයට සැලසීමෙන්, එම සාහිත්‍ය රැක ගැනීමටත්, ඉන් මහත් ඵල මහානිසංස ලබාගැනීමටත් හැකිවෙයි. බුදු දහම තේමාකොට ගත් බොහෝ පැරැණි ග්‍රන්ථවලට අරමුණ වූයේ, බෞද්ධ කතා කලාව තුළින් බුදු දහම සරලව පැහැදිලිකිරීමයි. මේ සඳහා බුද්ධ චරිතය, ධර්මය විවිධාකාරයෙන් වර්ණනා කර ඇත. මහාවංශය , දීපවංශය, චූලවංශය යන ඉතිහාස කතා පවා බෞද්ධ පරිසරය රැකගනිමින් ලියා ඇත. මහාවංශයේ පරිච්ඡේද අවසන් කරන්නේද “ හුදී ලියැවුණු මුල්ම කෘතීන් වූයේ අට්ඨකතාය. පාලි අට්ඨකතා ඇසුරෙන් හෙළඅටුවා ලියැවිණි. දම්පියා අටුවා ගැටපදයෙකින්, සිඛවලඳ විනිසෙහිත්, විසුද්ධිමාර්ගයෙහිත් මේවා ගැන සඳහන් වේ. හෙළ අටුවා පාලියට නඟන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. පාලි අට්ඨ කතා, බෞද්ධ සාහිත්‍යයේ දියුණුවට හේතුවිය.

ධර්ම ශාලාවක රැස් වූ ජනයා භික්‍ෂූන් වහන්සේ දෙස මෙම බණ අසා සැදැහැයෙන් යුතු, ධර්ම වින්දනයක් ලැබූහ. බුද්ධඝෝෂ මා හිමියන් සඳහන් කරන අන්දමට මෙම ධර්ම කතා අඩංගු අටුවා රාශියක් තිබී ඇත.ඉන් මහ අටුවාව මුල්විය, මහා පච්චරී අටුවාවද, කුරුඳු වැලි අටුවාවද ඊළඟට විය. බුදුගොස් හිමියන්ගේ සමන්තපාසාදිකා විනය අටුවාව මේවා ගැන සඳහන් කරයි. සිංහල ලේඛකයන් මේ අටුවාවල ධර්ම කතා පි‍්‍රය කළාසේම, ජනතාවද ඒවා අසා සිය ජීවිතය බොදුමගට යොමු කරගත් බව පැහැදිලිය. මේවා පසිඳුරන් සංවර කළ, දමනය කළ ජිවිතයට අර්ථවත් අත්දැකිම් ලබාදෙන ඒවාවිය. මිනිසුන්ට ධර්ම දේශනා පැවැත්වූ මුල්ම ස්ථානය වූයේ, ධර්ම ශාලාවන්ය. ලෝවාමහාපායේ පහත මාලය මේ සඳහා යොදා ගත් ස්ථානයකි. බණ ඇසු සියලු දෙනා උගතුන් නොවුවත් ඒ සැම දෙනකුම දෙසු බණ තේරුම් ගත් බව මහාවංශ ඉතිහාසයෙන් සනාථ වෙයි. එකල බෞද්ධ සාහිත්‍ය වින්දනය කළේ ශ්‍රවණයෙනි. ඇසු අය බහුශ්‍රැත වූහ. සමහර පෙදෙස්වල භාවනා ගෘහවලද (පධානඝර) බණමඩුවලදීද ඇසූහ. බෞද්ධ සාහිත්‍ය ජනපි‍්‍රය වුයේ මෙම දේශනාවලිනි. පාලි අට්ඨකතාවලින් ගත් කතා දේශිතය. පාලි අට්ඨකතා හෝ වංස කතා පොත්ගුල්හි නොවූ අතර, පිටපත් තිබුණේද ස්වල්පයකි. ක්‍රි.ව. 1 වැනි සියවසේදී ත්‍රිපිටකට ලිවීමත්, ක්‍රි.ව. 4,5 සියවස්වලදි දීපවංශය පාලි අට්ඨකතා හා මහාවංසය ලිවීමත් සමග සියලු ජනයා තුළ බෞද්ධ සාහිත්‍යට උනන්දුව වැඩිණ. මිනිසුන්ට ජීවිත සැනසීමේ උදාර අත්දැකීම් ලැබිණ. මහාවංසයට අනුව බුදුගොස් හිමියන් වැඩ විසු ගන්ථාකර විහාරය එකල තිබූ පොත්ගුලක් බවද කිව හැකිය. ධර්මයේ චිරස්ථිතිය උදෙසා , බුදධිමත් මහා ස්ථවීරයන් වහන්සේ මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම , මෙරට බෞද්ධ සාහිත්‍යයේ වර්ධනය උදෙසා බලපෑ අන්දම පසුකාලීන රචනා හෙළි කරයි. බුද්ධිමත් , ධර්මය උගත් රජවරුන්ගේ , උදාර මග පෙන්වීමද සහායද වැදගත්විය. 4 වැනි මිහිඳු රජගේ පුවරු ලිපිය එය සනාථ කරයි.මෙකල පැවැති ග්‍රන්ථධූරය මගින්, ධර්මය , භාෂාව, ව්‍යාකරණ , තර්ක, න්‍යාය ඇතුළු විවිධ ශාස්ත්‍ර ගැමියාගේ සිට රජකුමරා දක්වා ඉගැන්වීම් කරන ලදී. මහාවංසය රචනා කරන ලැබුවේද මෙම ග්‍රන්ථ ධූරය නිසා බිහිවු උසස් ලේඛකයෙකු වූ මහානාම හිමියන් විසින් බුද්ධ ධර්මය රැකගත් පිරිස ගැන ලියා, බුදු දහම ඉතිහාසය තුළ පවත්වා ගැනීම ගැන ලියා තැබීම උන්වහන්සේගේ උතුම් අරමුණ විය. සුදුසු අවස්ථාවල අවශ්‍යතාව අනුව ධර්ම දේශනාද කර ඇත.

ගිහි ජනතාවට සිප් සතර ඉගැන්වීමද, නියම ජීවිත මග කියාදීමද බෞද්ධ සාහිත්‍යයේ අරමුණ වූ අතර, එම කාර්යය ගිහි, පැවිදි බුද්ධිමතුන් විසින් ඉටු කරන ලදී. බෞද්ධ සාහිත්‍යයේ අරමුණ වූයේ මිනිසා පස්පවින්, දස අකුසලින්, පංච කාමයෙන් මුදාගෙන සදාචාරවත් මිනිසකු කිරීමය. සිප් සතර හැදෑරීමට පහසුකම අඩු අතීතයේදී ශ්‍රවණය හා ධාරණය වැදගත්වූ අතර, වෙහෙස වී රචනා කළ පුස්කොළ පොත් ප්‍රමාණය අඩු වූ නිසා වැඩි දෙනකු ධර්මයෙන් දැනුම්වත් කළේ දේශනාවලිනි. එම දේශනා ඉතාම සංවර හා සංයමයෙන් යුතු විය. එහි පරමාර්ථය වුයේ සදාචාරය හා අධ්‍යාත්ම වර්ධනයයි. එකල ධර්මය දැන උගත් ඇසු පිරූ අයම ශිෂ්ට මිනිසුන් හැටියට පිළිගැනුණි. මෙසේ මිනිසුන් හැදීමට බෞද්ධ සාහිත්‍යය , විනය කටපාඩමින් දත් භික්‍ෂූන්ද, මජ්ඣීමභාණක නම් මජ්ක්‍ධිමනිකායේ මුල් සූත්‍ර 40 උගත් භික්‍ෂූන්ද, දීඝභාණක නම් දීඝනිකායේ මහා වග්ගයා උගත් භික්‍ෂූන්ද සංයුක්තභාණක නම් සංයුක්ත නිකාය උගත් භික්‍ෂූන්ද , අංගුත්තර භාණක නම් භික්‍ෂූන්ද,ජාතක භාණක නම් භික්‍ෂූන්ද සිටි බව සඳහන් වේ.

අටුවා සාහිත්‍ය මේ කාර්යයෙහිලා ප්‍රධාන විය. ඊළඟ මෙම අටුවා ගැන සඳහන් දම්පියා අටුවා ගැටපදයත්, සිඛ වළඳනා විනිසත්, විසුද්ධිමාර්ග සන්නයත් වැදගත් කෘතීන් විය. සිඛ වළඳ හා විනිස ලියා ඇත්තේ උපසපන් භික්‍ෂූන් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති පැහැදිලි කිරීමටය. මීට අමතරව භික්‍ෂූන් පිළිපැදිය යුතු පිළිවෙත් සියල්ල සංගෘතිය කොට පාතිමොක්ඛ්‍ය රචනා කරන ලදී. මෙය කුඩා අත් පොතකි. භික්ඛු, භික්ෂුණී විභංග නමින් එය බෙදා ඇත.මෙහි සියලුම ශික්ෂාපද, බුදුන් දෙසු සූත්‍රවලින් ගත් ඒවායි. මෙයින් ඉදිරිපත් කළේ හික්මෙන හැටි හා සංවරයයි. මෙසේම බුදුගොස් හිමියන් ලියූ සමන්තපාසාදිකාවද විනය ග්‍රන්ථයකි. ඒ ඇසුරෙන් පසු කල මහාසාමි හිමියන් මූල සික්ඛාව ලියූ අතර, ධම්මසිරි නම් හිමියන් විසින් ඛුද්ද සික්ඛාව ලියන ලදී. මේවායේ සඳහන් ශික්ෂා , අධිශීල, අධිචිත්ත , අධිප්‍රඥා ලෙස භික්‍ෂුන් පිළිපැදිය යුතු කරුණු විය.විනය පවතිනතාක් කල් බුද්ධ ශාසනය පවතින බව මෙම විනය ග්‍රන්ථ සාහිත්‍යයෙන් අවධාරණය කර ඇත..ක්‍රි.ව. 10 වැනි සියයවසේදී පමණ ලියැවුණු දම්පියා අටුවා ගැටපදය දෙබිසවැජා අබා සලමෙවන් රජුගේ කෘතියෙකි. මෙම කෘතීන් බුදු දහම සම්බන්ධ ශාස්ත්‍රීය කෘතීන් විය.

දැනට අප අතර සාහිත්‍යමය ලක්‍ෂණයන්ගෙන් හෙබි මුල්ම බෞද්ධ සාහිත්‍ය කෘතිය වන්නේ අමාවතුරයි. මෙය එකල හැඳින්වූයේ ධර්මව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක් ලෙසයි. බුදුන් වහන්සේ, දේවාතිදෙව, ශක්‍රාතිශක්‍ර, බ්‍රහ්මාති බ්‍රහ්ම වශයෙන් අති උසස්, උදාර චරිතයක් බව පැහැදිලි කරදී හුදී ජනයා, තුළ පහන් සංවේගය ඇති කිරීම කතුවරයාගේ අභිලාෂය විය. මෙහි මුල්ම පරිච්ඡේදයෙහි බෝසත් කල විවිධ පුද්ගලයන් දමනය කළ හැටි විස්තර කෙරේ. තමන්ම දමනය කරගත් හැටිත්, තෙවැනුම අන් අය දමනය කළ හැටිත් කියැවේ.බුදුන් විසින්, දමනය කරන ලද ගෘහපතියන්, බමුණන් රජුන්, පරිබ්‍රාජකයන්,, මානවකයන්, ජටිලයන්, තවුසන්, භික්‍ෂූන් යක්‍ෂ ,දේව, අසුර, නාග ආදීන්ද, සමාජ වරදින් නොමගට යැවුණු අංගුලිමාල ආදින්ද ගැනද කියැවේ. මෙ කතා සාමාන්‍ය ජනයා තුළ බුදු බැතිය වර්ධනය කර දහම් දැනුම ඇති කිරීමටයොදා ගත් රසවත් ලෙස වර්ණනා කළ කතාවිය. කරුණාව, දයාව, මෛත්‍රිය, නිර්භය ගති, ප්‍රඥාවන්ත බව සමානාත්මතාව , මානව හිතවාදය ආදි අති මානුෂීය ගුණ ඉස්මතු කොට දැක්වීමටත් එමගින් මිනිස් ජීවිතයට උසස් අත්දැකීම් ලබා දීමටත් ගුරුළුගෝමින් උත්සාහ ගෙන ඇත. මුලින්ම සිද්ධාර්ථ කුමාරබෝසත් චරිතය රමණීයව වර්ණනාකොට, පසුව බුද්ධ චරිතයේ උතුම් බව කීමට ඇති වෘතාන්ත කියනවිට සැදැහැවතුන් ලබන වින්දනය ඔවුන් නිවන්මගට යොමු කරවයි. ගද්‍ය කාව්‍යයක් ලෙස විමසන විට අමාවතුර උසස්තම නිර්මාණයකි. මෙම කෘතිය කියැවීමෙන් බෞද්ධයනට ලබාගත හැකි දහම් දැනුම, වින්දනය අපමණය. එය පෙන්වා දීමට මෙම කෙටි ලිපිය ප්‍රමාණවත් නොවේ.

අමාවතුරට පසුව ලියන ලද, විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණද, පොත්පත් අතිශයින් දුර්ලභ වකවානුවකදී. වනපොත් කිරීමට උචිත වූ භක්ති කාව්‍යයක් විය. සැදැහැතියන් භක්තියෙන් සනසමින් බුදු මගට යොමු කළ මෙම ක්‍ෂතියෙහි බුදුන් තුළ පැවැති ගුණ මහිමයන් ඉස්මතු කොට දක්වා ඇත.අමාවතුරටත් වඩා හදවතට ගෝචර වනසේ ලියැවුණු මෙම ග්‍රන්ථය , විසුද්ධිවග්ගය, දීඝනිකාය, ජාතකට්ඨකතා, ධම්මපදට්ඨකතා, විමානවත්ථු, පොත වත්ථූ වැනි පාලි ග්‍රන්ථවලින් කතා වස්තු සපයාගෙන ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇත.මෙය, ප්‍රකීර්ණතා කාණ්ඩය,ලෝක විවරණ කාණ්ඩය, අංගුලිමාලදමනය, නාලාගිරි දමනය, නන්දෝපනන්ද දමනය, තීර්ථක දමනය, ජටිල දමනය, ආලවක දමනය, ගංගාරෝහ කතා , මණ්ඩුක දිව්‍ය පුත්‍ර කතා , පරිබ්‍රාජක දමනය, සච්චක දමනය, බකබ්‍රහ්ම දමනය, පටාචාරා , කතාව , මිශ්‍ර කතා, කාණ්ඩය, වෙස්සන්තර ජාතකය, වශයෙන් වර්ණනා කර ඇත. පැරැණි බෞද්ධ ජනතාව තුළ බුදු බැතිය වැඩු මෙම කතා මගින් දැහැමි සමාජයකට මග පෑදිණ. මෙම ශ්‍රේෂ්ඨ කෘතියද නූතන පරපුර ලවා කියැවිමට සැලැස්වීම තුළින් බහුශ්‍රැත මනස්ගාත විකාර සමාජය සංවර කළ හැකිවෙයි. ඒ පිළිබද මෙය හැඳින්වීමක් පමණි. එය පුළුල්ව විමසීමෙන් පමණක් එහි අගය වටහාගත හැකිවෙයි.

බුත්සරණ ගත් මග යමින් ලියැවුණු, දහම් සරණ හා සඟ සරණද, ජනතාව බුදු මගට යොමුකොට, රාග, ද්වේෂ මෝහාදියෙන් මුදවාගැනීමට ගත් විශිෂ්ට උත්සාහයන් විය. එකල ජනතාව මෙම කෘති ඇසුරුකරගෙන දෙසූ බණ අසා අසීමිත වින්දනයක් ලැබු බව සිතිය හැකිය. කරුණා රසයෙන් පිරී ගිය බුත්සරණ බුදු බැතියෙන් හදව්ත සැනසුවා සේම, දහම් සරණ මගින් බුද්ධ චරිතය හා ධර්මය අනුව මිනිස් ජීවිතය මග යැවීමට උත්සාහ ගනු ලැබ ඇත.මෙහි එන සූවිසි විහරණ කතා ජාතක කතා සාමාන්‍ය ජනයා තුළ ධර්ම සංවේගය ඇති කිරීමට සමත් විය. කතුවරයා තුළ පැවැති ධර්මය පැහැදිලි කිරීමේ කුසලතාව ඉන් හෙළිවෙයි. මෙහි කතා විසි හයකින් යුත් සද්ධර්ම කාණ්ඩය උසස් සාහිත්‍යය ලක්‍ෂණවලින් යුක්තය.

සඟ සරණ සංඝයාගේ ගුණ වර්ණනාකර සඟරුවන ගැන භක්තිය ඇති කිරීමට ලියා ඇත.මෙරට සංඝයා වහන්සේගේ ගුණ මෙහි විස්තර කර තිබීම අගය කළ යුතුය.

ලංකාවාසී, කෝරණ තෙරුන්ගේ බෑන තෙර නමගේ කතාව ,මලිගුදේව තෙරුන්ගේ කතාව, තිස්සභූති මහා සිව, මහා තිස්ස තෙර, කතා , දෙමළ දොරටු ගොවු කතාව, දෙබෑ තෙරුන්ගේ කතාව පාටලී පුත්‍ර බ්‍රාහ්මණ කතාව, ධම්මදින්න කතාව, කුජ්තිස්ස තෙර කතාව, ළදරු භික්‍ෂුවකගේ කතාව, පදානිය තෙර කතාව, සූවිසි දහස් තෙර කතාව, තිස් දෙනාගේ කතාව, ඵුස්සදේව තෙර කතාව, පාංසුකුලික තෙර කතාව, මහානාග තෙර කතාව, මෙහි විස්තර කෙරේ. මෙහිදි කැලණිය, තිස්සමහාරාමය, මාගම, සිතුල්පව්ව, මහියංගනය, මධුඅංගන, මහා විහාරය ආදිය ගැනැද විස්තර දක්වා ඇත.

මීට පසු කාලයක් ලියැවුණු සංඝ පිළිවෙත් පෙන්නුම් කළ කතිකාවත්ද අගය කළ හැකිය. බෞද්ධ සාහිත්‍ය පෝෂණය සඳහා ලියන ලද ථූපවංශය, පූජාවලිය , සද්ධර්මරත්නාවලිය, සාමානය ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය දියුණූ කිරීමට හේතුවිය. මෙම කෘතීන් අගැයීම වෙනම කළ යුතුය. මීට අමතරව ලියනලද, අනාගතවංශය, සද්ධර්මාංලාකරය,ආදී ග්‍රන්ථවලින් සාමාන්‍ය ජනයාට උපදෙස් ද දෙන ලදී. සිංහල බෝධිවංශය ජාතක පොත ජනපි‍්‍රය වූ අතර පොදු ජනයාගේ බණ ඇසීමේ ආශාව ඒ හරහා දියුණු විය. අත්තනගලුවංශය ගද්‍ය කාව්‍යයන් ලෙස උසස් තැනක් ගත්තේය.

පොදුවේ උගත් නූගත් කා වෙනුවෙනුත් රචිත ජාතක පොත තරම් පොදු ජනයා අතරට ගොස්, ධර්මානුකූල ජීවිත අත්දැකීම් ලබා දුන් කෘතියක් වෙන නැත.

බෞද්ධ ජාතක පොත, ලොව පැරැණි කතා වස්තු සංග්‍රහයන්ගෙන් ඉතා උසස්තමය වෙයි. ජාතක කතා සාහිත්‍යයේ ප්‍රචලිත වීම සමඟම, ජාතක අටුවා ගැටපදය, ඛණ්ඩහාල ජාතක අටුවා ගැටපදය, උමංදා ගැටපදය, දෙමළ ජාතක ගැටපදය, ලියැවුණු පවද සඳහන් වෙයි. රාජුචාරි රචනා කළ ජාතක ගාථා සන්නයද සැලකිය යුතුය. මීට අමතරව බෞද්ධ ගද්‍ය පද්‍ය කෘතීන් රාශියක් ලියැවී ඇත. ඒවා වෙනම විමසිය යුතුවේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි 02 වන දා බදාදා පූර්වභාග 06.28ට ලබයි
3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 02 වන දා බදාදා ය.

මී ළඟ පෝය
පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]