Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිලිටි වී නොතැවෙන්න පිවිතුරු වී සැනසෙන්න

නොකිලිටි ජීවිතය වළාකුළුවලින් තොර නිල් අහසෙහි දිලෙන පුර්ණ චන්ද්‍රයා බඳුය. ඒ සඳෙහි ආලෝකය හැම හදකම පහන් හැඟුම් දනවන්නාසේ නොකිලිටි ජීවිතයද සාධු ජනයාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වනු ඇත.

 

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසජ්ක්‍ධාය මලා මන්තා
අනුට්ඨාන මලා ඝරා
මලං චණ්ණස්ස කෝසජ්ජං
පමාදෝ රක්ඛතෝ මලං
(ධම්ම පදය මල වග්ගය)
 

කාරුණික පින්වත්නි,

කාර්ය බහුලත්වය නිසා අවිවේකී ජීවිත ගත කරන අප හැමට මොහොතක් හෝ බණ පදයක් අහන්නට, කියවන්නට ලැබෙනවා නම් එය අපේ ජීවිත වලට කොයිතරම් නම් සතුටක් ද?

නොයෙක් දුක් දොම්නස් වලට මුහුණ දෙමින් ඉපදෙමින්, මැරෙමින් සැරිසරන මේ සසර ගමන ඉතා ඉක්මනින් නවත්වා ගැනීම බෞද්ධ අප හැමගේ එකම අරමුණ නොවේද? එය ප්‍රාර්ථනා කළ පමණින්ම ඉටු නොවේ. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා ක්‍රියාත්මක විය යුතුය. “ බෞද්ධ සාහිත්‍යය තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකුට උපමා කර ඇත්තේය. පෘථග්ජනයන් රෝගාතුර ගිලනුන්ට උපමා කරයි. අවිද්‍යාදී සකල විධ කෙලෙස් විවිධ රෝගයන්ට උපමා කර තිබේ. ශ්‍රී සද්ධර්මය ඖෂධයන්ට උපමා කර ඇත. රෝගයක් වැළඳුන විට ඖෂධයන් ගැන මෙනෙහි කර කර සිටීමෙන් හෝ වෛද්‍යවරයාගේ හැකියාවන් ගැන කථා කිරීමෙන් හෝ බෙහෙත් රැගෙන විත් මේසය මත නැත්නම් රාක්කය මත තබා තිබීමෙන් පමණක් කිසිදා ලෙඩ සුව නොවේ. දහමද එසේමය.

පින්වත්නි,

ධර්ම දේශනය සඳහා මාතෘකා කර ගනු ලැබුවේ ධම්ම පදයේ මල වග්ගයට අයත් ගාථාවකි.

එහි අන්තර්ගත දහම් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට මත්තෙන් ගාථාවට අදාළ නිධාන කථාව කෙටියෙන් හෝ දැන සිටීම ධර්ම ඥානය වැඩි දියුණු කර ගැනීමට උපකාරී වේ.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා සැදැහැතියෝ සවස් කාලයේ දෙව්රම් වෙහෙරට පැමිණෙති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සතුටු සිත් ඇති ඔවුහු දේශකයාණන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරති. දිනක් එහිම වැඩ සිටින ලාලුදායි භික්ෂුව උපාසකවරුන් අමතා පවසනුයේ ඔබලා අගසව් දෙනමගෙන් පමණක් බණ අසා ගුණ වර්ණනා කරන්නාහු ද?

එවිට උපාසකවරු ලාලුදායි තෙරුන්ටද ධර්ම දේශනයක් පවත්වන ලෙස ආරාධනා කළහ. ආරාධනාව පිළිගත් ඒ හිමියෝද දවල් කල දහම් දෙසීමට විජිනිපතද රැගෙන ධර්මාසනයට වැඩම කොට ටික වේලාවක් එහි සිට ධර්ම දේශනාව නොපත්වා රාත්‍රියට එය පවත්වන බව දන්වා ආපසු වැඩම කරති. නැවත රාත්‍රියේදීද පෙර පරිදිම පසුවදාට කල් දමති. උපාසක උපාසිකාවෝද මුන්වහන්සේගේ ධර්මය පිළිබඳ නොදන්නාකම දැන දොස් නඟා ආරාමයෙන් පලවා හැරියෝය. ලාලුදායි තෙරුන්ගේ මේ අසංවර ගති දැනගත් බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාවෙන් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක.

පින්වත්නි ,

“ අසජ්ක්‍ධාය මලා මන්තා “ මින් අදහස් කරන්නේ ඉගෙන ගත් මන්ත්‍රයට කිලුඨ නම් එය නැවත නැවත නොකිරීමයි. අපි අපගේ අවබෝධය සඳහාත් දැහැමි පැවැත්මටත් දහම් කරුණු උගනිමු. රාජනීති, ධර්ම නීති, තර්ක ශාස්ත්‍රය, ඡන්දස් අලංකාරය,, තාරක විද්‍යාව ආදී විවිධ ශාස්ත්‍ර හදාරමු. හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප, රන් වැඩ, ලී වැඩ, කැටයම් වැඩ ආදී නොයෙක් ශිල්ප පුරුදු පුහුණු කරමු. තමා මැනවින් උගත් ශාස්ත්‍ර ශිල්පියෝ අසේවන, භාවන, සජ්ඣායන, අනුයෝග , විසජ්ජන වශයෙන් නැවත නැවත අධ්‍යනය නොකිරීමෙන් , නොවිමසීමෙන් වැඩකට ගත නොහැකි ලෙසින් මල බැඳි යන්නාහ. එබැවින් උගත් ශාස්ත්‍ර ශිල්පයෝ දිනෙන් දින දීප්තිමත්ව තබා ගැනීමටනම් සතතාභ්‍යාසය අත්‍යවශ්‍යමය.

“ අනුට්ඨාන මලා ඝරා “

ආහාර, නිවාස, සෞඛ්‍යය, ඇඳුම් පැළඳුම්, ආදිය මිනිසාගේ මුලික අවශ්‍යතා වේ. සෑම මනුෂ්‍යයෙකුටම ජීවත් වීමට නිවසක් අවශ්‍යමය. කෙනෙක් තම නිවස සෞන්දර්යෙන් හා පවිත්‍රාතාවයෙන් අනූන තැනක් කර ගනිති. තවකෙනෙක් තම නිවස පේ‍්‍රත පිසාචාදින් වාසය කරන දුඟඳ හමන අප්‍රසන්නම තැනක් බවට පත් කර ගනිති.අතු පතු නොගෑම හේතුවෙන් මිදුල පුරා කුණු කොළ රොඩු පිරී තිබේ.

ගේ තුළ මකුලු දැල් බැඳී දූවිලි වලින් පිරී ඇත. උයන්න පිහන්න ගත් භාජන දින ගණනක් පුරා පිරිසුදු නොකිරීම හේතුවෙන් හාත්පස දුර්ගන්ධයෙන් යුක්තය. වැසිකිලි, කැසිකිලි, ආදිය ඌරන්, කුකුළන්, වෙසෙන ඌරු කොටු, කුකුළු කොටු වැනිය. එම නිවෙස් ඒ තත්වයට පත් වුයේ ඇයි? “අනුට්ඨානය” හෙවත් නැගි සිටි වෙර වීර්යයෙන් තොර වීමයි. උත්සාහවන්ත ගේ හිමියෝ තම නිවස මනාව පිරිසුදු කර පි‍්‍රය උපදවන පරිදි තබා ගනිති.

”මලං වණ්ණස්ස කොසජ්ජං”

කුසීතකම හෙවත් කම්මැලිකම කෙනෙකුගේ ශරීර සෝභාව නසා ලනු ලබයි. අලසයා නිසි පරිදි නිසි වේලාවට සිරුර නෑවීම, පිරිසුදු කිරීම් නොකරයි. දත් නොමදියි. හිසකේ නිය ආදිය කපා ඉවත් නොකරයි. ඇඳුම් පැළඳුම් පිරිසුදුව තබා නොගනියි. අපිරිසුදුකම බොහෝ ලෙඩ දුක්වලට තෝතැන්නකි. එමගින් ශරීර වර්ණය නැති වී සිරුර අවපැහැ ගැන්වේ. එපමණක් නොව සමාජය තුළින්ද පිරිහුණු පුද්ගලයෙකු බවට පත්වේ.

” පමාදෝ රක්ඛතෝ මලං” යන ගාථාවෙන් කිලිටි වන සිවුවන කාරණාව ලෙස දක්වා තිබෙන්නේ ප්‍රමාදයයි. සමාජයේ ඇතැමෙක් ප්‍රමාදවීම ජීවිතයේ පුරුද්දක් කරගෙන සිටිති. හීන මානසිකත්වයෙන් පෙලෙන ඒ පිරිස එය වීරක්‍රියාවක් ලෙස සැලකුවත් කිසියම් දිනක එම හේතුවෙන්ම ඔවුහු ජීවිතයේ ලොකුම පරාජය අත් විඳීති. තම රැකියාව ව්‍යාපාරික කටයුතු පවුල් ජීවිතය , ධනය, වතුපිටි, ඉඩකඩම්, ආදිය නිසා පසුතැවීමට ලක් නොවී ඉන් තෘප්තිමත් වී සිටිමට නම් අප්‍රමාදිව ඒවා රැක ගත යුතුය.

නොකිලිටි ජීවිතය වළාකුළුවලින් තොර නිල් අහසෙහි දිලෙන පුර්ණ චන්ද්‍රයා බඳුය. ඒ සඳෙහි ආලෝකය හැම හදකම පහන් හැඟුම් දනවන්නාසේ නොකිලිටි ජීවිතයද සාධු ජනයාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.