Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ

“මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ” නමකී පමණින් මෙරට බොහෝ දෙනා දන්නා හඳුනන ගුණවත් සිල්වත් උගත් මහ තෙරනමක් වූහ. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ දැයට හිමි වී තිබූ අතිශය දුර්ලභ ගණයේ සම්පතකි. නිතරම සිනහ පිරි මුවකින් තමන් හමුවට එන සියල්ලන්ටම කාරුණික වදනින් අමතන්නට මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ ක්‍රියා කළහ.

චාම් සරල දිවිපෙවෙතකින් යතිවර දිවිය සරසා ගනිමින් සසුන් කෙත සැරසූ උදාර සංඝ පීතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේටම ආවේණික වූ සුලලිත සුමධුර වාග් විලාශයකින් සදහම් දෙසූ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ අව්‍යාජ චරිතයකින් ජනතා සිත් සතන්හි ගෞරවාන්විතව ලැගුම් ගත්හ.

මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ මෙරට සුවහසත් දනන්ගේ මන ඇද බැඳ ගත්තේ විචිත්‍ර ගණයේ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසිනි.

පන්සිල් දීමේ සිට ගාථා සජ්ඣායනය දක්වා සම්ප්‍රදායික යති ස්වරූපය විදහා දක්වමින් ළගන්නා සුළු ඉමිහිරි වදනින් පැයක් පුරා දෙසූ දහම් කඳ සති මාස ගණන් සිතීමට ගැඹුරු අයුරින් සරලව දේශනා කිරීමෙහි වාසනා ගුණයකින් යුක්තව මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ වැඩ සිටියහ.

කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාමයේ ඥානේශ්වර පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සිවු වසරක් ද අනතුරුව හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ දෙවසරක්ද සේවය කළහ.

අනතුරුව පාසල් ධර්මාචාර්යවරයකු ලෙස සේවයට එක්වූ මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ මොණරාගල බඩල්කුඹුර කනිටු විදුහලේ වසරක පමණ කාලයක් ද අනතුරුව කොළඹ දකුණ කළුබෝවිල බුද්ධඝෝෂ විදුහලේද කොළඹ මහාබෝධි විද්‍යාලයේ ද අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයේ ද ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේද සේවය කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස 1988 දී සේවය කළ මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ එහි තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස ද අනතුරුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙසද සේවය කළහ.

පුරා විසිපස් වසරකට අධික කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කළ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ මෙරට ජනතාව අතර උන්වහන්සේ වඩාත් කීර්තියට පත් වූයේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙසිනි.

ශාස්ත්‍රීය පර්යේෂණයන්හිද නිරත වූ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ ගත් කතුවරයකු ද වූහ.

දශකයකට ආසන්න කාලයක් සිය උපන් දිනයේ දී ග්‍රන්ථයක් මුද්‍රණය කර එය දයාබර මෑණියන්ට පිළිගන්වා එදින සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනමා ස්වකීය පියාණන්ට පින්දීමට ද අමතක නොකළහ.

ග්‍රන්ථ 30 ක් පමණ සම්පාදනය කර ඇති මහාචාර්ය මිගොඩ පඤ්ඤාලෝක හාමුදුරු වන් විසින් රචිත බුදුසමය හා ජන ජීවිතය, ‘වස්සානයේ සිවුරේ කතාව හා කඨිනානිශංසය’, රහතන් වහන්සේ හා නිවන්සුව යන ග්‍රන්ථ ඉතා ප්‍රකටය.

කෙතරම් කාර්ය බහුල අවිවේකී ජීවිතයක් ගත කළ ද උන්වහන්සේ බොදු දනන්ගේ ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කර දුන්හ.

මෙසේ සම්බුදු සසුන් කෙත ශෝභාවත් කළ රට, දැය සමයට අපමණ මෙහෙයක් ඉටු කරමින් දෙහිවල පාමංකඩ ගංගාරාමාධිපතිව වැඩ විසූ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ 2004 දෙසැම්බර් 26 වන දා ගොඩගැලූ මහ මුහුදු රළ හමුවේ යළිත් නෙත නොගැටෙන සේ සාගර පතුලේ සැඟව ගියහ.

‘බුදුසරණ ලේඛක හිමිනමක් ද වූ මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව සැලසේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.