UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධර්මයට මුළා නොවන්න

“ නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
ධම්මෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
සංඝෝ මේ සරණං වරං “

බෞද්ධයාට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන හැර වෙන සරණක් නැත. බුදුදහම ලොව පවතින වෙනත් ආගම් සමඟ සැසඳිය නොහැකි පිවිතුරු දර්ශනයකි. ශ්‍රී සම්බුද්ධ දර්ශනය යමෙකුගෙන් ඇසීමෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි දෙයක් නොවෙයි. “පච්චත්තබ්බං වේදිතබ්බෝ’ යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී සද්ධර්මය පුද්ගලයාට තම තම නැණ පමණින් අවබෝධ කරගත හැකි නිසයි. මෙකී දර්ශනයේ සත්‍යවාදී බව දැකිය හැක්කේ තමා තුළින්මය. ඇතැම් මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයින්ගේ මවාපෑම් නිසා සත්‍යවාදී ශ්‍රී සද්ධර්මයට වර්තමානයේදී වැරැදි අර්ථකථන එක් වන්නේ බෞද්ධයන් මුලා වී කටයුතු කරන හෙයින් විය හැකිය.

වර්තමාන සමාජය තුළ ධර්මය අධර්මයෙන් වෙන්කර හඳුනාගැනීම සංකීර්ණ කටයුත්තක් බවට පත්ව ඇතිව තිබෙන බවක් විටෙක පෙනේ. ඒ අනුව ධර්මයේ වේශයෙන් අධර්මය සමාජය තුළ බලවත් කිරීමට උත්සාහ දරන මිථ්‍යා දෘෂ්ඨික පිරිස් බිහි වී ඇත. බුද්ධ වචනය පිළිබඳව නිරවුල් දැනුමක් නැති ඇතැම් පුද්ගලයින් ඕනෑම මොහොතක යමෙකු මේ තමයි ධර්මය යැයි කියු කල එය පිළිගනියි. මිථ්‍යා දෘෂ්ඨිකයනයින් බිහිකරමින් යන මිත්‍යා දෘෂ්ටික සාන්තුවරු සම්බුදු දහමේ මුවාවෙන් සිදුකරන සමාජීය විනාශය හෙළාදැකිය යුතුය.

බුදුරදුන් දේශනා කර ඇත්තේ ධර්මයේ වේශයෙන් අධර්මය ලොව මතු නොවන තාක්කල් නිර්මල ධර්මය අතුරුදන් නොවන බවයි. යම්කලෙක ධර්මයේ වේශයෙන් අධර්මය ලොව මතුවෙත්ද, එදිනට ධර්මය අධර්මය වෙන්කර හඳුනාගත නොහැකිවීම නිසා ධර්මය අතුරුදන් වී යයි. බුදුරජාණන් වහන්සේ එය සරල උදාහරණයකින් පැහැදිලි කර ඇත්තේ පිරිසුදු රත්තරන් වැනිම පෙනුමෙන් යුතු ව්‍යාජ ද්‍රව්‍යයන් ලොව මතු නොවන තාක් රත්තරන් අතුරුදන් නොවන නමුත් යම් කලෙක රත්තරන් වේශයෙන් ව්‍යාජ ද්‍රව්‍යයන් ලොව මතු වෙත්ද එදිනට පිරිසුදු රත්රන් අතුරුදන්වී යන බවයි. වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ පිරිසුදු රත්රන් වලින් අර්ථ ගැන්වූ නිර්මල බුද්ධ දර්ශනයට රත්රන් පෙනුමින් යුත් ව්‍යාජ ද්‍රව්‍ය නම් අධර්මවාදී කරුණූ මුසුවීමකි.

සම්බුද්ධ දර්ශනය හෙළා දකිමින් එයට නිග්‍රහ කරමින් මිථ්‍යා දෘෂ්ඨිකයින් සිදුකරන අනර්ථකාරී ක්‍රියා විමසිලිමත්ව සොයාබැලිය යුතු වෙයි. සෝවාන්, සකෘදාගාමී, අර්හත් යන උතුම් මාර්ගඵල පවා හෑල්ලුවට ලක් කරමින් රහත් වුවන් ලෙස පිරිසක් සමාජයේ පෙනීසිටීමට උත්සාහ කරන බවක් පෙනේ. එවන් පුද්ගලයින්ට මුලා නොවීම සඳහා බෞද්ධ ජනතාව දැනුම්වත් වීම වැදගත්ය. බුදුරදුන් පුද්ගල නිදහස , චින්තනය අගය කළ උත්තමයන් වහන්සේ නමකි. උන්වහන්සේ කිසිම විටෙක ආගමික දර්ශනයක් හෙළා දකිමින් දේශනා පවත්වා නොමැත. ආගමික සහනශීලි ප්‍රතිපදාව අගය කළ උන්වහන්සේ උතුම් ශ්‍රී‍්‍රසද්ධර්මයට වැරැදි අර්ථ කථන යම් පිරිස් මුසු කළ විට එය විනාශ වන බව පැහැදිලිව අවධාරණය කර ඇත. මහා සුපින ජාතකයෙහි එන කෝසල රජු දුටු 11 වන සිහිනය අවධානයට ලක්කරගැනීම මෙහිදී සුදුසුයි. එම සිහිනය නම් අධික වටිනාකමින් යුක්ත සඳුන් ගස් ඉතා සුළු මුදලට විකුණා දැමීමයි.

ඒ තුළින් අනාගතයේ නිර්මල බුදුදහමේ පිරීහීයාම එසේ පෙන්නුම් කළ නමුත් බෞද්ධ අප හැකි පමණින් සම්බුදු දහම සුරක්‍ෂිත කරගැනීමට ක්‍රියා කළ යුතුය. බුද්ධ දේශනාවන්ගේ අර්ථ විකෘති කරමින් දහම් දෙසනා ගිහි පැවිදි දේශකයන් නිසාද ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් මිනිසුන් බැහැරකරවමින් මහායානික මතවාද ඇතුළත්කොට ලියන ලද පොත්පත් හේතුවෙන්ද යම් යම් මූලධර්මවාදින් ධර්මය විකෘති කරමින් අධර්මය පැතිරවීමට සැලසුම් සහගත ලෙස සිදුකරන ක්‍රියා නිසාද බුදු දහම තුළ ක්‍රමයෙන් පරිහානිකර ලක්‍ෂණ පෙන්නුම් කරයි.

ගාල්ල ප්‍රදේශයේ ජිවත්වන එක් පුද්ගලයෙක් තමා ජීවමාන මෛත්‍රී බුදුන් බව ලොවට හඟවමින් ක්‍රියා කරන බවක් කියයි. සම්බුදුන් තුළ හෝ උන්වහන්සේගේ අනුගාමික පිරිස තුළ හෝ නොවු මාන්නයෙන් යුක්ත මෙවන් පුද්ගලයින් අනුව ගමන් කරන්නන් අන්ධ භක්තිකයින් නොවේද?

තමා මෛත්‍රී බුදුන් ලෙසින් හඳුනාදෙන මොහු මිනිසුන්ගෙන් වැදුම් පිදුම් ලබන බව අසන්නට ලැබේ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේද ඔහුගේ දේශනා ප්‍රචාරය වූ බවද සඳහන්ය. මෑතක සිට මොහු ක්‍රියාත්මක කරමින් යන අධර්මවාදී එම ක්‍රියාපටිපාටිය අන්තර්ජාලය තුළින්ද ලොවට හඳුන්වාදී ඇතැයි ද කියයි. මොහුගෙන් දහම් අසා රහත් වූ බව පවසන පිරිසක් ද වෙති. බෞද්ධ ජනතාව නොමග යවන කූට ව්‍යාපාරයක් මොවුන් දියත් කරන බව නම් මේවායින් මැනවින් පැහැදිලි වෙයි. 2012 දී ඇතිවෙතැයි කියති. එන ලෝක විනාශය සම්බන්ධයෙන් ඔහු විසින් සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරයි. බුද්ධ ප්‍රතිමාව පවා විකෘති කරමින් තම වංචනික ව්‍යාපාරය ඉදිරියට ගෙනයන මෙම මිථ්‍යාදෘෂ්ඨිකයාට එරෙහිව බෞද්ධ ජනතාව පෙළ ගැසිය යුතුවෙයි.

ධර්මයේ මුවාවෙන්ම අධර්මය නැගී සිටින වර්තමාන සමාජය තුළ ‍ෙබෟද්ධයා පිරිසුදු ධර්මය පමණක් අනුගමනය කළ යුතුය. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නේ යම් සේද බොදු බැතිමතුන් නිර්මල ධර්මය, විනය අධර්මය, අවිනය තුළින් තෝරාබේරා ගත යුතුවෙයි. බෞද්ධයාට අන්ධානුකරණයෙන් මිදී බුද්ධිමත්ව අයහපත් දෙයින් යහපත, අධර්මයෙන් ධර්මය වෙන් කර ගැනීම, සඳහා අදාළ වන කාරණා දහයක් කාලාම සූත්‍රයේදී බුදුහිමියන් දේශනා කර ඇත.එම කාරණා නම්

01. මා අනුස්සවෙන

ඇසු පමණින් යමක් පිළිනොගත යුතුය. එනම් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි බුද්ධ ශාසනය යනුවෙන් යම් පුද්ගලයකුගෙන් හෝ යම් පිරිසකගෙන් යමක් ඇසු පමණින් එය පිළනොගත යුතුය. තමා ඇසූදෙය බුදුරදුන් දේශනාකළ ධර්මයට විනයට ගැළැපේදැයි සොයාබලා ඊට ගැළැපේ නම් පමණක් පිළිගෙන නොගැළපේ නම් බැහැර කළ යුතුය.

02. මා පරම්පරාය

පරම්පරාවෙන් ආ පමණින් යමක් පිළිනොගත යුතුය. පාරම්පරික ක්‍රියාවක් යැයි කියමින් යමකු වැරැදි ක්‍රියාදාමයක නිරත වන්නේ නම් එය මෝඩකමකි. පරම්පරාවෙන් පැමිණි දෙයක් වුවද විමර්ශනශීලි ලෙස සොයා බැලීම වැදගත්ය. පරම්පරාවෙන් ආ පමණින් පිළිනොගෙන එය එකවිටම ප්‍රතික්ෂේප ද නොකොට ධර්මය හා විනය සමග ගළපා බලා හරි දේ පමණක් අනුගමනය කළ යුතුය.

03. මා ඉතිකිරාය

යමක් අනුමාන කිරීම තුළින් පිළනොගත යුතුය. එනම් ධර්මය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී තම පරිකල්පනයට අනුව තීරණ නොගත යුතුය.අනුමානය බුද්ධ භාෂිතයට එකඟදැයි බුද්ධිමත්ව සොයා බලා ධර්ම විනයානුකූල නම් පමණක් පිළිගෙන එසේ නොවන්නේනම් එනම් බුද්ධ භාෂිතයට නොගැලපේ නම් එය බැහැර කළ යුතුය.

04. මා පිටක සම්ප්‍රදානේන

පොත්පත් වල සඳහන්ව තිබූ පමණින් යමක් පිළිනොගත යුතුය. ධර්මයේ නාමයෙන් ලිය වී ඇති මිථ්‍යා දෘෂ්ඨික පොත්පත් බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ සංසරණය වෙයි. බුද්ධ දේශනා විකෘති කරමින් ලියන ලද ඇතැම් පොත්පත් කියවා එම අධර්ම මතවාද පිළිගත හොත් පුද්ගලයා මං මුළාවෙයි. එනිසා පොත්පත් වල සඳහන්ව තිබූ පමණින් යමක් පිළිනොගෙන එකවිටම ප්‍රතික්ෂේප ද නොකොට ධර්මය විනය සමඟ ගළපා සත්‍යදේ පමණක් අනුගමනය කළ යුතුය.

05. මා තක්ක හේතු

යමක් තර්කයට ගැළපී ගිය පමණින් පිළිනොගත යුතුය. ධර්මය තර්ක විතර්ක නගමින් අවබෝධ කළ හැකි දෙයක් නොවෙයි. බුදුරදුන් ජීවමාන සමයේ සච්චක වැනි පණ්ඩිතයන් හට ධර්මය අවබෝධ කරගත නොහැකි වූයේ අප්‍රමාණ තර්ක වලින් මනස පුරවාගෙන සිටි නිසාය. ධර්මය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී තර්කයට ගැළපී ගිය පමණින් පිළිනොගෙන බුද්ධ දේශනා හා සසදා බලමින් පිළිගත යුතුය.

06. මා ණයහේතු

න්‍යායට ගැලපී ගිය පමණින් යමක් පිළනොගත යුතුය. මෙය මෙසේ විය යුතු යැයි විද්‍යාත්මකව තර්කානුකුලව ගොඩනඟන ලද යම් යම් න්‍යායන්ට ගලපා ධර්මය සම්බන්ධ තීරණවලට එකඟ නොවිය යුතුය. තම න්‍යායන් ධර්ම විනය සමඟ ගලපා බලා සත්‍ය දේ පමණක් පිළිගත යුතුය.

07. මා ආකාර පරිචේතක්කේන

කරුණු හොඳ යැයි පෙනෙන්නට තිබූ පමණින් යමක් පිළනොගත යුතුය. එනම් ධර්මය ලෙස යමෙක් පවසන දෙය අසා සිටින විට හොඳයයි පෙනී යා හැකිය. එමෙන්ම තවත් අයෙක් එයට ප්‍රතිවිරුද්ධ මතයක් ධර්මය ලෙස විස්තර කරමින් කියාදෙන විට එය අසා සිටින පිරිසට නිවැරැදි දෙයක් ලෙස පෙනී යා හැකිය. නමුත් බුදුරදුන් දේශනා කොට ඇති විසඳුම දෙදෙනාගේම අදහස්වලට වඩා වෙනස් වීමට පුළුවන. ඒ නිසා ධර්මය සම්බන්ධ තීරණ ගැනීමේදී යමක් අසා සිට තමාට හොඳ යැයි සිතුන පමණින් පිළනොගෙන සම්බුද්ධ දර්ශනය හා සසඳා බලා පිළිගත යුතුය.

08. මා දිට්ඨි නිජ්ජානක්ඛත්තියා

තමා දෘෂ්ටිය හා ගැලපී ගිය පමණින් යමක් පිළිනොගත යුතුය. එනම් මෙය මෙසේ විය යුතුය. මෙසේ නොවිය යුතුය යනුවෙන් යම් දෘෂ්ටීන්ට අනුව නිගමනවලට එළඹීම සිදු නොකළ යුත්තකි. දෘෂ්ටියට ගැලපී ගිය පමණින් පිළිනොගෙන ප්‍රතික්ෂේප ද නොකොට පිරිසුදු බුද්ධ දේශනා හා ගලපා බලමින් ධර්ම විනය හා ගැලපේ නම් පමණක් පිළිගත යුතුය. එවිට ධර්මය අධර්මයෙන් වෙන්කර හඳුනාගත හැකිය.

09. මා භබ්බරූපතාය

පුද්ගල ගෞරවය මත යමක් පිළිනොගත යුතුය. එනම් ධර්මය ලෙස ඔබ යමෙකුගෙන් අසා දැනගත් දෙය එය පැවසු පුද්ගලයා කෙරෙහි ඔබ තුළ තිබෙන ගෞරවය හා භක්තිය නිසා පිළිනොගත යුතුය. පුද්ගල භක්තිය හෝ ගෞරවය නිසා ඔහු පවසන දෙය පිළිගැනීමට ගියහොත් පැවසු දෙය අධර්මයක් වුවද පැවසු පුද්ගලයා කෙරෙහි තිබෙන ගෞරවය නිසා එය පිළිගෙන නොමඟ යා හැකිය. එම නිසා සිහි බුද්ධිමත්ව බුදුදහමට අනුකූලව ධර්මය, විනය හා ගැලපෙන දෙය පමණක් පිළිගත යුතුය.

10. මා සමනෝ නො ගරුහි

ගුරුවරයා කියු පමණින් යමක් පිළනොගත යුතුය. ගුරුවරයා පවසන දෙය ධර්මයට අනුකූල වීමටද නොවීමටද පුළුවන. ගුරුවරයා පවසන දෙය වුවද ධර්මයට එකඟද විනය හා සැසදේද යන්න විමසා බලා පිළිගත යුතුය. එවිට ධර්මය අධර්මය නිවැරදි ලෙස වෙන්කර හඳුනාගත හැකිය.

ධර්මයේ නාමයෙන් අධර්මය බලවත් වන විට ශ්‍රද්ධාවන්ත බොදු ජනතාවට අධර්මයෙන් ධර්මය වෙන්කර හඳුනාගැනීමට කාලාම සූත්‍රයේදි බුදුරදුන් දේශනා කළ ඉහත කරුණු දහය මනා පිටුවහලක් වෙයි.

නඛෝ ගහපති, අරහති අරිය සාවකෝ
සුඛං ආයාච්තිවා අභිනං දිකුවො පිහේතුං “

යනුවෙන් බුදුරදුන් දේශනා කළේ පිහිට ඉල්ලා යැදීමෙන් හෝ වන්දනා කිරීමෙන් , ආශා කිරීමෙන් කිසි ප්‍රයෝජනයක් නොවන බවයි. ධර්මය වේශයෙන් නැඟී සිටින අධර්ම පිළවෙත යමෙක් අනුගමනය කිරීම තුළින් එම පුද්ගලයා දෙලොවටම අනර්ථයක් සිදුකරගනී. බෞද්ධ ජනතාව අන්ධ විශ්වාසයන්ට නතු නොවී ක්‍රියාකළ යුතුය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රාගය, ද්වේශය, මෝහය යන අකුසල් නැතිකිරීමෙන් සසර ගමන නවතාලිය හැකි බවයි.

මිත්‍යාදෘෂ්ටික පිරිස් බුද්ධ ශාසනය විකෘති කිරීමට බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මයට ඔවුන්ගේ අදහස් මතවාද මුසු කරති. බෞද්ධ ජනතාවද නිහඬව බලා සිටින විට මෙම පිරිස් බලවත් වී ශාසනයට තව තවත් විනාශකාරි දෙය ඇතුළත් කරනු ඇත. ඊට එරෙහිව හඬනැගිය යුතු කාලය දැන් එළඹ ඇත.

’අන්තාහි අත්ත නෝ නාථෝ
කෝහි නාථෝ පරෝසියා “

තමාට පිහිට තමාමය. අන් කෙනෙකුන් නොවන බව දේශනා කළ බුදුරදුන්ගේ නිර්මල දර්ශනය අනුව ජීවිතය පවත්වාගෙන යා යුතුය.

අන්ධ භක්තියෙන් තොරව බෞද්ධයෝ කටයුතු කළ යුතුය . සසර දුක් නැසීමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේගේ ගුණසමුදාය පිළිපදිමින් නිවන අරමුණු කර ජීවිතය හැඩගස්වා ගැනීමට නැණවත් සැදැහැවත් පෘථග්ජන ගිහියා ක්‍රියාකරමින් මිථ්‍යා මත තුළින් බුද්ධ දර්ශනය විකෘතිකරන පිරිස් පසු පස හඹායෑම නවතා දැමිය යුතුය.

මජ්ඣිම නිකායේ ධම්ම දායාද සූත්‍රයේදී බුදුරදුන් පැහැදිලිව සඳහන් කර ඇත්තේ ධර්මයට ගරු නොකරන පුද්ගලයින්ට ගැරහිය යුතු බවයි. ධර්මය තම ආත්මාර්ථය ශක්තිමත් කිරීම උදෙසා යොදාගනිමින් බෞද්ධ ජනතාව නොමඟ හරින මූලධර්මවාදීන්ගෙන් නිර්මල බුදුදහම සුරක්‍ෂිත කරගැනීමට නම් බෞද්ධයෝ බුද්ධිමත්ව විමසිලිමත්ව ක්‍රියාකාරි විය යුතුය. අවිනයවාදින්ට, අධර්මවාදීන්ට බලවත්වීමට ඉඩප්‍රස්ථා ලබානොදිය යුතුය.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]