Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සංඝමිත්තා අනුලා පෙරහර පෝදා අනුරපුර දී

අනුරාධපුර විහාරමහා දේවී ආරාමය වාර්ෂිකව සිදුකරගෙන එනු ලබන ‘ශ්‍රී සංඝමිත්තා අනුලා’ ගුණසමරු මහපෙරහර 47 වන වරටත් අනුරාධපුරයේදී ඉතා උසස් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි, රාජ්‍ය අනුග්‍රහයද ඇතිව උඳුවප් පුන් පොහෝදා පැවැත්වෙන මෙම ගුණසමරු පෙරහරට මෙරට විවිධ ප්‍රදේශවල වැඩවාසය කරන සිල්මාතාවන් අටසියයක් පමණ සහභාගි කර වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

20 වනදා පස්වරු 2.30 පෙරහැරේ සමාරම්භක උත්සවයෙන් පසු පස්වරු 3.30 ට පෙරහර වීථි සංචාරය කිරීම ඇරඹෙනු ඇත. විහාරමහාදේවී ආරාමයෙන් පටන්ගෙන බණ්ඩාරනායක මාවත, මෛත්‍රීපාල සේනානායක මාවත, සිංහ කණුව හරහා ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ ගමන්ගන්නා පෙරහැර ශ්‍රීමහා බෝ මළුවෙන් නිමාවට පත් වේ.

අනතුරුව ජය ශ්‍රී මහාබෝ සමිඳුන් අබියස අෂ්ඨපරිස්කාර සහිත බුද්ධ පූජාවක් පැවැත්වේ. මෙහිදී අටමස්ථානාධිපති නාහිමියන් වෙනුවෙන් අනුශාසනාව පවත්වනු ලබන්නේ අනුරාධපුර ලංකාරාමාධිකාරී, උතුරුමැද පළාතේ් ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් විසිනි.

පස්වරු 4.00 ට අනුරාධපුර ථූපාරාම චෛත්‍ය ඉදිරිපිට මහමෙවුනාවේ පිහිටි සංඝමිත්තා චේතියට පූජෝපහාර දැක්වීම සිදුකෙරේ. මෙහිදී අනුරාධපුර පූර්වාරාමාධිපති, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පොතානේ ධම්මානන්ද නාහිමියන් විසින් ධර්මානුශාසනාවක් පැවැත්වීමට නියමිතය. සංඝමිත්තා චේතිය අබියස සිදුකෙරෙන පින්කම් මාලාව සංවිධානය කරනු ලබන්නේ අනුරාධපුර අභයවැව සිරි ගෝතමී ආරාමාධිපතිනි විශ්වා සංඛමාලී සිල්මාතාව ප්‍රධාන අනුරාධපුරයේ සිල්මාතාවන් විසිනි. සිල්මාතා ජාතික සමුළුව 21 වනදා පෙරවරු 8.30 ට අනුරාධපුර ශ්‍රී මහා බෝධිස්ථානය අබියස ධර්ම ශාලාවේදී පැවැත්වේ.

උඩරට, පහතරට, නැටුම් කණ්ඩායම් 20 ක් පෙරහරට සහභාගි වේ. පෙරහරේ වෙස් කණ්ඩායම් සැපයීම උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා විසින් සිදුකෙරේ. පෙරහර අලංකාරවත් කිරීම සඳහා හස්තිරාජයෙකු සැපයීමට අනුරාධපුර සෙනරත් පුෂ්පකුමාර මහතා එකඟත්වය පළකර ඇත. පෙරහැරට සහභාගිවන සිල් මාතාවන් සඳහා සංග්‍රහ කිරීම අනුරාධපුර හෙද විදුහලේ විදුහල්පතිනි චන්ද්‍රලතා මානවඩු මහත්මිය, ආචාර්ය මණ්ඩලය හා හෙද සිසු සිසුවියන් විසින් සිදුකරනු ලැබේ.

මෙවර පෙරහරේ සියලු කටයුතු මෙහෙයවනු ලබන්නේ අනුරාධපුර විහාරමහාදේවී ආරාම කාර්ය සාධක සමිතිය විහාරමහාදේවී පාසල් සංවර්ධන සමිතිය හා සිල්මාතා ජාතික මණ්ඩලය විසිනි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.