Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියෙන් පින්කම් රැසක් කතරගම දී

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය මඟින් කතරගම කිරිවෙහෙර අබියස දී මෙම මස 31 සහ ජනවාරි 1 වන දා යන දිනවලදී පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එහිදී පැවැත්වෙන වැඩසටහන මෙසේය.

මෙම මස 31 වන දා දවල් 12 ට කතරගම දේවාලය අසළ ඉදි කර ඇති පිරිත් මණ්ඩපය ඉදිරිපිටදී, පුද බිමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ආහාර පාර්සල් බෙදා දීමද, පස්වරු 3 ට ධාවනයෙන් ඉවත් කොට තිබූ ලංගම බස්රථ එකසිය පහක් නැවත ධාවනයට සුදුසු පරිදි සේවක ශ්‍රමයෙන් අලුත්වැඩියා කරන ලද බස්රථ කතරගම ඩිපෝව අසල ක්‍රීඩාංගණයට රැගෙන ඒමද, ප.ව. 5 ට කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී, ගලුකොලුවේ විජිතවංශ හිමි හා කාව්‍ය ශ්‍රී කඩිගමුවේ වජිරඥාණ යන ස්වාමීන් වහන්සේලා දෙනම විසින් පවත්වනු ලබන යුගාසන කවි බණ දේශනාව ආරම්භ කිරීමද, ප.ව. 06.00 ට කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ගිලන් පස බුද්ධ පූජාව පැවැත්වීමද, රාත්‍රී 07.00 ට අතිගරු ජනාධිපතිතුමාට, රජයට හා ලක්වාසි ජනතාවට සෙත් පතා පහන් 84000 අධිෂ්ඨාන පහන් පූජාව ආරම්භ කිරීමද, රාත්‍රී 07.30 ට කතරගම දේවාල භූමියේ පිහිටා අඇති බෝධිරාජයාණන් වහන්සේ වෙත බෝධි පූජාව පැවැත්වීමද රාත්‍රී 08.00 ට කතරගම දෙවියන් වෙනුවෙන් දේව පූජාව පැවැත්වීමද රාත්‍රී 09.00 ට පසුදා පහන් වන තුරු පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශණය ආරම්භ කිරීම ද සිදු කැරේ.

2011 ජනවාරි 01 දින උදේ 7 ට මහා සංඝරත්නය විෂයෙහි පවත්වනු ලබන සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම. පුණ්‍යානුමෝදනාව, ද සිදු කැරෙන බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිමල් අබේසිරි මහතා දන්වා සිටියි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.