Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇම් සාර්ලිස් ශිල්පියාගේ බිතු සිතුවම් කලාව


මාලිගාකන්ද විහාරයේ බිතු සිතුවම්

ශ්‍රී ලාංකික චිත්‍ර කලාවේ මහා යුග පුරුෂයෙකු වූ එම්. සාර්ලිස් මහතා මෙරට විහාර චිත්‍ර කලාවට බෙහෙවින් සේවයක් කළ අයෙකි. වර්තමාන චිත්‍ර කලා විචාරකයින්ගේ අවධානයට සාර්ලිස් ශූරීන්ගේ චිත්‍ර භාජනය වන අයුරු දැකිය හැකි ය.

කෙසේ වෙතත් සාර්ලිස් මහතා අතින් මුලින්ම ඇඳි බිතුසිතුවම් දැකිය හැකි ස්ථානයක් ලෙස කොළඹ මාලිගාකන්ද විහාරයේ බිතුසිතුවම් අපට හැඳින්විය හැකිය. රිචඩ් හෙන්රික්ස් යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කළ සාර්ලිස් මහතා කඩොල ගල්ලේ මහා සිත්තර ඇදුරුතුමාගේ උපදෙස් මත මෙම මාලිගාකන්ද විහාරයේ බිතුසිතුවම් ඇඳ ඇත. වර්ෂ 1873 දී දොන් කරෝලිස් හේවාවිතාරණ ධර්ම ගුණවර්ධන ශූරීන්ගේ ප්‍රධාන දායකත්වය මාලිගාකන්ද විහාරයට ලැබී තිබූ අතර එයට මූලික හේතුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ය. මෙහි සාර්ලිස් මහතා විසින් චිත්‍ර ඇඳීම ආරම්භ කෙළේ 1887 දී පමණ ය.

කෙසේ හෝ සාර්ලිස් මහතාගේ සිතුවම් ගැන පැහැදුනු එවකට සිටි විහාරාධිපති හිමිපාණන් වහන්සේ සියලුම චිත්‍ර ඇඳ අවසන් කිරීමට අවස්ථාව එම් සාර්ලිස් මහතාට ලබා දුන්නේ ය.

මෙම මාලිගාකන්ද විහාරයේ ඔහු අතින් සූවිසි විවරණය හා සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සුජාතා සිටු දියණියගේ කිරිපිඬු දානය දක්වා බුදු සිරිතේ විවිධ සිදුවීම් එකල තිබූ සියලු සම්ප්‍රදායන් බිඳගෙන ස්වාධීන ශෛලියකට නිර්මාණය කර ඇත. එම නිසා එම්. සාර්ලිස් මහතාගේ මුල්ම ස්වාධීන බිතුසිතුවම් ඇතුළත් විහාරය වන්නේ කොළඹ මාලිගාකන්ද විහාරයයි.

මෙකල පැවති යටත් විජිතවාදී පාලකයන් සමඟ ඇති වූ විදේශීය යුරෝපා කලා ලක්‍ෂණ වලින් හෙබි ක්‍රිස්ත්‍රියානි රූප චිත්‍ර කලාවක් ආරම්භ වී තිබිණි. සාර්ලිස් සිත්තරාද තම සිතුවම් ශෛලිය ගොඩ නඟා ගත්තේ මේවායේ ආභාෂයෙනි. රිචඩ් හෙන්රික්ස් මහතාගෙන් ලැබුණු උපදෙස් නිසා මෙම චිත්‍ර කලා ශෛලියට සාර්ලිස් මහතා යොමුවන්න ඇතැයි සිතමි.


එම්. සාර්ලිස්

මාලිගාකන්ද බිතුසිතුවම් වල කිසිදු දේශීය ලක්‍ෂණයක් ගැබ් කර යුරෝපීය කලා ලක්‍ෂණ වලට අනුව සියලුම චිත්‍ර නිර්මාණය කර ඇත. මෙම චිත්‍ර ත්‍රිමාණ සහගතය. අඳුර ආලෝකය නොනැසෙන පරිදි ඇඳ ඇත. වර්ණ වලට ද සැබෑ ජීවිතයේ අපට දක්නට ලැබෙන වර්ණම භාවිතා කර ඇත.

එම් සාර්ලිස් මහතා විසින් ඇඳි කොළඹ මාලිගාකන්ද විහාරය අද භික්‍ෂූන් 275 ට වැඩි පිරිසක් ඉගෙන ගන්නා අතර එය වර්තමානයේ විද්‍යෝදය පිරිවෙන නමින් හඳුන්වනු ලබයි. නේවාසික භික්‍ෂූන් 50 ක් පමණ වැඩ සිටින මෙහි විහාරාධිපති වශයෙන් බලංගොඩ සෝභිත හිමි වැඩ සිටි බව සතුටින් සටහන් කරමි.

 



 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.