UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධි පූජාව

බෝධි පූජාවෙන් ග්‍රහ අපල දුරුකළ හැකි ද? විභාගවලින් ජය ලැබිය හැකි ද? රැකී රක්ෂා තනතුරු ලබාගන්න පිළිවන් ද? දිනන්න පුළුවන් ද? නඩු හබවලින් ජයගත හැකි ද? මේ සියල්ල ලෞකික තෘෂ්ණාවෙන් කරන දේවල් මිස වෙන කුමක් ද?

සුපින්වතුනි,

අද අප ජීවත්වන සමාජය කොයිතරම් දුරට අවුලෙන් අවුලට හා දූෂණයට හා පිරිහීමට ලක්වෙලාද කියන එක ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. අද මේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් ජීවත්වන්නේ කලකිරීමෙන්. දුක් වේදනාවෙන් හා අපේක්ෂා භංගත්වයෙන්.

මේ අයුරින් මානසිකව කඩාවැටුණු ව්‍යාකූ®ල සෝදා පාළුවට ලක් වූ සමාජයක ජීවත්වන ඔබ ලබන අස්වැසිල්ලක සැනසිල්ල කුමක්ද? අද වත්මන් සමාජය මෙබඳු ගරා වැටීමකට, මෙබඳු පිරිහීමකට ලක්වීමට ප්‍රධාන වශයෙන් ආර්ථික, දේශපාලනික, හා සාමාජික හේතු සාධක පමණක් බලපා තිබෙනවා යැයි හිතන්න එපා. එම හේතු බලපා නැතැයි මෙයින් අදහස් කරන්නේ් නැහැ. මේ තත්ත්වයට ඔබේ මනස ද බලපා තිබෙන බවයි මා මෙහිදී පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ.

අපි මේ ලෞකික ජීවිතයේදී මොනතරම් දේවල් අපේක්ෂා කරනවා ද? යාන වාහන, ඉඩකඩම්, තානාත්තර, සැප සම්පත් බලය, මේවා ලබාගන්න නේද අපි වැඩි දෙනෙක් උත්සාහ දරන්නේ? මේවා පසුපස නේද අපි ලුහුබැඳ යන්නේ? මේ දිවයාම දුකක් නොවේ ද? පොඩ්ඩක් නුවණැසින් සිතා බලන්න. එවිට ඔබට මා කියන දෙයෙහි සත්‍යයක් ඇති බව වැටහේවි. මේ අයුරින් දුවලා දුවලා හති වැටුණාම මොකද හිතට දැනෙන්නේ? දුකක්, කනස්සල්ලක් නොවෙයි ද? මේ නොනවතින දිවිල්ලෙන් අපට ජය ගත හැකි ද? බැහැ නේද?

මේ කාරණය බුදුන් වහන්සේ අපට පහදා දුන්නේ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං යනුවෙන්. ඒත් අපි ඒ දුකින් පිරුණ ලෝකයට ඇලුම් කරනවා නොවේ ද? ඒ නිසයි අපි ඒ අපේක්ෂාවන් පසුපස ලුහු බැඳ යන්නේ. එම ආශාවන් ඉෂ්ඨ වුණාම අපි නතර වෙනව ද? ඉන් සෑහීමකට පත් වෙනවා ද? නැහැ. ඊළඟට තව ආශාවක් පසුපස දුවනවා. මේ දිවිල්ලේ කෙළවරක් තිබෙනවාද? නැහැ.

මෙම පසුබිම තුළ ක්‍රියාකාරී වෙන කොටසකුත් සමාජය තුළ ඇති බව තේරුම් ගන්න. ඔබ සිතැඟි ඉටුකර දෙන බවට පොරොන්දු වෙන බලවේග කොපමණ අප සමාජය තුළ තිබෙනවාද? මේ විදියෙ හාස්කම් ඇතැයි කියන බලවේගවලට ඔබ ඇදී යන්නෙ නැද්ද? ඇදී යනවා. ඒ ඇයි? එකක් මෝඩකම. ඒ කියන්නෙ යථාර්ථය හා සත්‍යය වටහා ගැනීමට ශක්තියක් නැතිකම. අනෙක තම ආශාවන් හා ප්‍රාර්ථනාවන් කෙසේ හෝ ඉටුකරවා ගැනීමට තියෙන තදබල තෘෂ්ණාව. අසහනයට පත් සමාජය තමයි මිස දිටු අදහස වැඩෙන්න තියෙන කදිම තෝතැන්න. මැවුම්කරුවන්, දෙවියන්, ඉන්ද්‍රජාලිකයින් පසුපස හඹා යමින් කන්නලව් කරන, යාඥා කරන බෞද්ධයින් මේ රටේ අති බහුතරයක් ඉන්නවා නොවේ ද? මේ තමා වැරදි වැටහීම. මේක වර්ධනය වන්නේ විෂබීජයක් පරිද්දෙන්. තමන්ගේ සිතැඟි ඉටුකර ගැනීමට ගුප්ත බලවේග පසුපස ලුහුබැඳ යන පුද්ගලයාට වෙහෙසක් කනස්සල්ලක් විනා ශාන්තියක් නම් අත්වෙන්නේ නැහැ. දේවාල, කෝවිල් ගානේ ගොස් පොල් ගහන, පහන් දල්වන පුද්ගලයා තුළ ඇත්තේ අන්ධ භක්තිය පමණයි. ප්‍රඥාවන්තයා නම් මේ අවිඳු මාර්ගයෙහි ගමන් කරන්නේ නැහැ.

බෝධි පූජාවෙන් සැනසුම, ශාන්තිය හා පිහිට උදාකරගත හැකි යහපත් මාර්ගයක් ලෙසටයි අපි වැඩිදෙනෙක් සලකනු ලබන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැනත් විමසා බලමු. බුද්ධ ධර්මයට අනුව බෝධි පූජාව ප්‍රතික්ෂේප වන කි‍්‍රයා පිළිවෙලත් නොවෙයි. ලෞකික සුවය පමණක් නොව ලෝකෝත්තර සුවය දක්වා විහිදෙන විශිෂ්ඨ පූජාවක් ලෙසට එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. කාලිංග රජු බෝධි පූජාව සිදු කළ ආකාරය කාලිංග බෝධි ජාතිකයේ අපූරුවට විස්තර කර තිබෙනවා. ආපදාන පාලියෙහි අතීත බුදුවරුන්ගේ කාලවලදී බෝධි පූජාවේ අනුහසින් දෙව් මිනිස් සැප පමණක් නොව නිර්වාණ සුවය ද ලද අයුරු දැක්වෙනවා.

බෝධි පිංචක ස්ථවිර පුවත ද බෝධි පූජාවේ අගය හා ආශ්චර්යය තහවුරු කරන්නක්.

දැන් අපි මේ බෝධි පූජා යන වචනය පොඩ්ඩක් විමර්ශනය කර බලමු. බෝධි යනු සර්වඥතා ඥානයයි. පූජා කියන්නෙ උපහාරයයි. මෙය තේරුම් ගන්නට ඒ තරම් ලොකු දැන උගත්කමක් අවශ්‍ය නැහැ. පාසල් ශිෂ්‍යයෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඉහත කී අරුතින් ගත් කළ බෝධි පූජා යනු බුදුන් වහන්සේටද, බුද්ධ ඥානයටද කරනු ලබන උපහාරයක්. එසේත් නැත්නම් පූජාවක්. මෙබඳු උතුම් පුණ්‍ය ක්‍රියාවකට අද සිදුවෙලා ඇත්තේ කුමක්ද? මෙන්න මේ කාරණා අපි තවත් ටිකක් ගැඹුරින් සෝදිසි කර බලන්න ඕනෑ.

බෝධි පූජාව පිරිසුදු භාවනා ක්‍රමයක් වුවත් ඒ පිළිබඳව ඇති මතිමතාන්තරවල සත්‍යයක් තිබෙනවාද? සමහරු කියනවා බෝධියට තිබෙනවාලු බුදු රැස් පිටවෙන විශේෂ කිරණක්. එම රැස්වල බලයෙන් දරුණු ලෙඩ රෝග පවා සුව වෙනවාලු. මෙය සම්පූර්ණයෙන්ම බෝධි පූජා සංකල්පයට පටහැනි අදහසක්. අද අපි බෝ ගස සේ වැඳුම් පිදුම් කරන ඇසටු වෘක්ෂයට එබඳු කිරණ ධාරාවක් තිබේ නම් පෙර බුදුවරුන්ට බෝධින් වූ පළොල්, ඛ්ණහිර, නා, නුග ආදි වෘක්ෂ මූලික කොට ගෙනත් අපි බෝධි පූජා කළොතින් ඉන්ද අර මා කී සෙත් ශාන්තය උදාවිය යුතුයි නේද? මේක තමා මුළාව.

බුදුන් මේ ගැන කළ දේශනාව බලන්න

බහුං චෙ සරණං යන්ති
සබ්බතානි වනාහි ච
ආරාම රුක්ඛ චේතයානි
මනුස්සා භය තජ්ජිනා

මේ ගාථාවේ තේරුම මෙසේ දක්වන්න පිළිවන්.

මනුෂ්‍යයා භය නිසා පර්වත, වනාන්තර, ආරාම, වෘක්ෂ හා පුදසත්කාර පිණිස සකස් කර ගන්නා ස්ථාන ද බොහෝ කොට සරණ යන්නාවුය. ඒත් මේ කිසිදු සරණක් නිර්භය සාමය සඳහා නොවේ. එසේම මේ සරණ උතුම් සරණක් ද නොවේ. එය කවරදා දුකකින් මිදීම සඳහා අදාළද නොවන්නේ ම ය.

බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශයට වඩා ඉහළින් තවත් දෙයක් තිබේද? නැහැ නොවේද පින්වත්නි. එහෙත් අපට මේ බෝධි පූජාව ආදි පූජා බෙහෙවින් හුරුපුරුදු දේවල්. ඒවා ලෙහෙසියෙන් අත් හරින්න බැරි බවත් ඇත්ත. සැබෑවටම ඔබ බෝධි පූජාව කරනවා නම් එය බුදුගුණ සිහිකිරීමෙන් කළ යුතුයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය ලබාගත්තේ ඇසටු ගස සෙවනෙහි බව අපි දන්නවා.

එ නිසයි එම ඇසටු ගස සම්මා සම්බෝධි වන්නේ. බුද්ධත්වය සංකේතවත් කරනු ලබන්නේ එම බෝධියයි. බුදුන්ගේ අනන්තවත් ඥාන සම්භාරයද අනන්තවත් බුදුගුණය ද සංකේතවත් කරන බෝධියට අප පූජා සත්කාර කළ යුතුයි. එහෙත් එය කළ යුත්තේ අන්ධ විශ්වාසයකින්, අන්ධ භක්තියකින් නොවේ.

ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සදහම් මග පෙන්වා වදාළ මාගේ බුදුරජාණන් වහන්සේට උපහාර වේවා යැයි යම් පූජාවක් බෝ සෙවණෙහි සිට මෙනෙහි කරන්නේ නම් එය කරනු ලබන්නේ බෝ ගසට නොව තිලෝගුරු බුදුරජාණන් වහන්සේට බව තේරුම් ගන්න. මේ බුදු මහිමය නුවණැසින් සිහිකිරීම තමා බුද්ධානුස්මෘති භාවනාවය කියන්නේ. තුන් සිත පිරිසුදුව කරනු ලබන එම භාවනාවේදී ඔබට කිරි කළගෙඩි අවශ්‍ය වන්නේ නැහැ පින්වත්නි. බෝධිය කිරෙන් නෑවීම බෞද්ධ සංකල්පයක් නොවෙයි. එය හින්දු සංකල්පයක්.

හින්දු බැතිමත්හු ශිව ලිංගය පවා කිරෙන් නහවන බව අපි දන්නවා. ඔබ කිසියම් විහාරයක ඇති බෝධියක් ළඟට ගොස් ඒ වටා එල්ලා ඇති කොඩිවැල් දෙස බලන්න. මොනවද එහි ලියැවී ඇත්තේ? ‘ ග්‍රහ අපල දුරුවේවා’ ‘සෙත ශාන්තිය අත්වේවා’ ‘විභාග ප්‍රතිඵල ලැබේවා’ ‘අදාළ තානාත්තර හිමිවේවා’ මේවා මේ නම් ගම් සහිතව ඒවායෙහි ලියා නැද්ද? ලියා තිබෙනව. ඇත්තටම මේ ප්‍රාතිහාර්ය බෝ රුකට කළ හැකිද? ඔබේ බෞද්ධ හදවත වැසී තිබෙන්නේ කුමකින්ද? මිථ්‍යාව නමැති කොඩියෙන් නොවෙයිද? එක කොඩියක කපුටෙකුගේ රුව මසා සෙනසුරු ඒරාෂ්ඨකය දුරුවේවා කියා එහි ලියා තිබෙනු මා දැක තිබෙනවා. මෙබඳු කොඩි වෙළෙඳ ලකුණු සහිත පාඨ බෝධියේ එල්ලීම හොඳයි ද? එය බුදුන් වහන්සේ පිට දුන් බෝධිරාජයාට කරන අගෞරවයක් නොවෙයි ද? විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාද මේවා දැක දැක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හරි ද? පොඩ්ඩක් හිතා බලන්න පින්වත්නි.

බෝධි පූජාවෙන් ග්‍රහ අපල දුරුකළ හැකිද? විභාගවලින් ජය ලැබිය හැකි ද? රැකී රක්ෂා තනතුරු ලබාගන්න පිළිවන් ද? දිනන්න පුළුවන්ද? නඩු හබවලින් ජයගත හැකි ද? මේ සියල්ල ලෞකික තෘෂ්ණාවෙන් කරන දේවල් මිස වෙන කුමක් ද?

ඔබ බෝධින් වහන්සේ ළඟට ගොස් බුද්ධානුස්මෘතිය වඩන්න. එවිට සිත තුළ ඇතිවන සැහැල්ලුව හා ප්‍රසන්න බව ඔබේ සිතට මෙන්ම ගතට ද බලපාන බව සැබෑය.

එයින් ලේ ධාතුව පිරිසුදුවන බව සැබෑය. ඒ නිසා එය රෝග සුවවීමට ද බලපාන බව අපට තේරුම් ගත හැකිය. එය සිදුවූයේ බෝධියේ ප්‍රාතිහාර්යකින් ද? අරහාදි බුදුගුණ සිහිකරමින් ඉතිපිසො භගවා ගාථාව කියමින් බෝධිය වන්දනා මාන කරන්න. කුසල සිත පිබිදීමෙන් ඔබගේ හිතට ශාන්තියක් දැනේවි. එසේ බලවත් වන කුසල ශක්තිය සමඟ ඔබේ හිතේ විශාල පරිවර්තනයක් සිදුවෙනු ඒකාන්තයි. බෝ සමිඳුගේ සිසිල ඔබ තුළ රැදේවි. එසේ නම් ඔබ වෙනත් මිථ්‍යා බලවේග පසුපස යා යුතු නැහැ.

 

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]