UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මම ඇතිවීමේ සහ නැතිවීමේ බිය

(අමාතාපුත්ත භය සූත්‍රය – ති.නි.අ.නි.)

එක් සමයක භික්ෂූන් වහන්සේලා ඇමතූ බුදුරජාණන් වහන්සේ, බිය තුනක් පිළිබඳව දම්දෙසුමක් දේශනා කළහ. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා බිය විය යුතු නොවූ බිය තුනක් බිය වශයෙන් දකින බවත් ආර්යන් වහන්සේලා ඒවා බිය වශයෙන් නොදකින බවත් මෙහි දේශිතය. එපමණක් නොව බිය විය යුතු සැබෑ බිය කුමක්ද යන්නත් මෙහි දේශිතය. මෙම දම්දෙසුම ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයෙහිය. එය නම්කොට ඇත්තේ අමාතපුත්ත භය සූත්‍රය ලෙසය. එහි අන්තර්ගත පෙළ දහම ඇසුරින් විස්තරාත්මකව විමසා බලමු.

පළමු අමාතාපුත්ත බිය

මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද, භය තුනක් අශ්‍රැතවත් පෘථග්ජන තෙම ප්‍රකාශ කරයි. ඒවා අතර පළමු භය මෙසේය. මහ ගින්නක් හටගන්නාවූ කාලයක් වෙයි. මහණෙනි, ඒ මහ ගින්නක් හටගත් කල්හි එයින් ගම්ද දැවෙයි.

නියම් ගම්ද දැවෙයි. නගරද දැවෙයි. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරද දැවෙන කල්හි (ඒ ගින්නට මැදිවීම නිසා) එහිදී මවද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තා වූ පුතාට මව නැත්තාවූ පළමුවැනි භයයි. මෙසේ ප්‍රකාශ කරන්නේ අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයාය.

දෙවන අමාතාපුත්ත බිය

මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මහා වර්ෂා වසින්නා වූ කාලයක් වෙයි. මහණෙනි, මහා වර්ෂාවක් වට කල්හි මහත් ජල ගැල්මක් ඇතිවෙයි. මහණෙනි මහා ජලගැල්මක් වූ කල එයින් ගම්ද යටවෙයි.

නියම් ගම්ද යට වෙයි. නගරද යට වෙයි.ගම්ද යටවූ කල්හි, නියම් ගම්ද යට වූ කල්හි, නගරද යටවූ කල්හි, (ඒ මහා ගංවතුරට හසුවීමෙන්) මවද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ දෙවැනි වූ මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භයයි. මෙසේ ප්‍රකාශ කරන්නේ අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයාය.

තෙවන අමාතාපුත්ත බිය

මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, යම් හේතුවක් භයක් හටගනීද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් ජනපද වාසීහු යාන වාහනාදියෙහි නැගී ඔබ මොබ යද්ද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් යාන වාහනාදියෙහි නැගී ජනපදවාසීන් ඔබ මොබ යන කල්හි (මේ ව්‍යසනයට හසුවූ කල්හි) මව පුතා නොලබයි. පුතා මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තා වූ, පුතාට මව නැත්තා වූ තුන් වැනි භයයි. මෙසේ ප්‍රකාශ කරන්නේ අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයාය.

මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ පුතාට මව නැත්තා වූ භය තුනයයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියයි. මහණෙනි, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද ඒ භය තුන , මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය තුනයයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියයි. ඒවා මෙසේය.

පළමු සමාතාපුත්ත බිය

මහා ගින්නක් හටගන්නා කැලයක් වන්නේය. මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම් ද දැවෙන්නේය. නියම් ගම්ද දැවෙති. නගරද දැවෙති. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරයන්ද දැවෙන කල්හි, කිසිවිටෙක, මවට පුතා ලැබෙන්නාවූද, පුතාට මව ලැබෙන්නා වූ කාලයක්ද වන්නේය. මහණෙනි මේ පළමුවැනි මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්‍රැතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තා වූ පුතාට මව නැත්තාවූද භය ලෙස කියයි.

දෙවන සමාතාපුත්ත බිය

මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි මහා වැස්සක් වසින්නා වූ කාලයක් වන්නේය. මහා වැස්සක් වට කල්හි, මහ ගංවතුරක් වන්නේය. මහ ගංවතුරක් වූකල්හි, ගම් ද යටවෙත්, නියම් ගම්ද යටවෙයි. නගරද යට වෙයි.ගම් ද යට වූ කල්හි, නියම් ගම්ද යටවූ කල්හි, නගරයන්ද යටවූ කල්හි යම් හෙයකින් කිසි කලෙක මව පුතා ලබන්නේය. පුතා මව ලබන්නේය. මහණෙනි, මේ දෙවැනිවූ , මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්‍රැතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූ භය ලෙස කියයි.

තෙවන සමාතාපුත්ත බිය

නැවත අනිකක්ද කියමි. මහණෙනි, පල්හොරු ගම් පැහැරීමෙන් ජනපද වාසීහු යාන වාහනාදියෙන් ඔබ මොබ යන්නාවූ,භය උපදින්නාවූ කාලයක් වෙයි. පල්හොරු ගම් පැහැරීම් භයින් ජනපද වාසී යාන වාහනාදියෙන් ඔබ මොබ යන කල්හි යම් හෙයකින් කිසි විටෙක මවද පුතා ලබන්නේය. පුතාද මව ලබන්නේය. මහණෙනි, මේ වනාහි, තුන්වැනිවූ, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය අශ්‍රැතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද, භය ලෙස කියයි.

මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද ශ්‍රැතවත් ආර්යයන් වහන්සේලා දකින භය තුන මෙසේය.

නියම බිය

ජරා, භය, ව්‍යාධී භය, මරණ භය මේ තුනයි

මහණෙනි, මව දිරන්නාවූ (ජරාවට පත්වාන්නාවූ - වයසට යන්නාවූ ) පුතා පිළිබඳව, “ මම දිරමි, මගේ පුතා නොදිරත්වා “ යනුවෙන් පැතුවද එය එසේ සිදුනොවේ.

පුතා හෝ දිරන්නාවූ (ජරාවට පත්වන්නාවූ - වයසට යන්නාවූ )මව පිළිබඳව , “ මම දිරමි, මගේ මවු නොදිරාවා” ආදී වශයෙන් සිතුවද එයද සිදුනොවේ.

එමෙන්ම මව් ලෙඩ වන්නාවූ පුතා පිළිබඳව, “ මම ලෙඩ වෙමි, මගේ පුතා ලෙඩ නොවේවා” යනුවෙන් පැතුවද එය එසේ සිදු නොවේ.

පුතා හෝ ලෙඩ වන්නා වූ මව පිළිබඳව , මම ලෙඩ වෙමි.මගේ මව් ලෙඩ නොවේවා “ ආදී වශයෙන් සිතුවද එයද සිදුනොවේ.

එමෙන්ම මව මැරෙන්නාවු පුතා පිළිබඳව, “ මම මැරෙමි, මගේ පුතා නොමැරේවා” ආදී වශයෙන් සිතුවද එයද සිදුනොවේ.

පුතා හෝ මැරෙන්නාවූ මව පිළිබදව, “ මම මැරෙමි. මගේ මවු නොමැරේවා “ ආදි වශයෙන් සිතුවද එයද සිදුනොවේ. මහණෙනි, මේ වනාහි මවට පුතා නොලැබෙන්නාවුද, පුතාට මව නොලැබෙන්නා වූද භය තුනයි. මේවා ශ්‍රැතවත් ආර්යයන් වහන්සේලා පවසන ඒවායි.

බිය නැති කිරීමේ මඟ

මහණෙනි, මේ මවට පුතා ලැබෙන්නාවූත්, පුතාට මව ලැබෙන්නාවූත් භය තුනද, මවට පුතා නොලැබෙන්නාවූත්, පුතාට මව නොලැබෙන්නාවූත් භය තුනද පහ කිරීම පිණිස, ඉක්මවීම පිණිස, මාර්ගයක්, ප්‍රතිපදාවක් ඇත්තේය. මහණෙනි,මේ සමාතා පුත්තික හා අමාතා පුත්තික භය පහ කරණු පිණිස, ඉක්මවීව පිණිස පවත්නාවූ ඒ මාර්ගය , ප්‍රතිපදාව කවරේදයත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වෙයි. ඒ කවරේදයත් සම්‍යක් දෘෂ්ටිය, , සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්ත, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව , මේ සමාතා පුත්තික භය තුනද, අමාතාපුත්තික භය තුනද පහ කරණු පිණිස, ඉක්මවනු පිණිස පවත්නේ වෙයි. මෙසේ වදාරා භාග්‍යවතුන් වහන්සේ දම්දෙසුම නිම කළ සේක. භික්ෂූන් වහන්සේලා එය සතුටින් පිළිගත්හ.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]