UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයට සිය වසක් සපිරේ

සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන්ගේ නම්බපාන තොටුපලේ දී කළ ප්‍රථම උපසම්පදාවට සම්බන්ධ වූ ඉද්දමල්ගොඩ මහ තෙරපාණන්ගෙන් බිහි වූ සඟ පරපුර ඉද්දමල්ගොඩ නමින් ව්‍යවහාර වේ. නමුත් මුලින් කලක් භාවිත කළ පැල්මඩුල්ල නාමය ද තාමත් අනියමින් ව්‍යවහාර වේ. ප්‍රථම මහා නායක පදවිය පැල්මඩුල්ලේ සුදර්ශන ධර්මශාලාවේ දී පත්කළ නිසා එසේ භාවිත වන්නට ඇතැයි සිතිය හැකි ය.

1910 – 2010
ශ්‍රී ලංකා අමරපුර නිකාය ආරම්භ වී ඇත්තේ 1803 දීය. එය පුරෝගාමී මහ තෙරවරුන් පස් නමකි.

වැලිතර ඥානවිමලතිස්ස මාහිමි බු.ව. 2346 – 2378

බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමි බු.ව. 2349 – 2412

අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමි බු.ව. 2351 – 2377

කතළුවේ සිරි ගුණරතන මාහිමි බු.ව. 2354 – 2376

කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමි බු.ව. 2354 – 2378

යන මහ තෙරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එක් අමරපුර නිකායක් ලෙස ඇරැඹුණ මේ අභිනව නිකාය පාර්ශ්වය නොබෝ කලකින් බෙදීම් කීපයකට ලක් වී තිබේ. යට සඳහන් බෝගහපිටියේ ධම්මජෝති මාහිමිපාණන් උඩරට, ඌව හා සබරගමු පළාත්වල අභිනව අමරපුර නිකාය පාර්ශ්වය ව්‍යාප්ත කිරීමෙහි පුරෝගාමී වී තිබේ.

මේ අතර සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ පැවිදි උපසම්පදා ලැබ සිටි කොරහගොඩ අත්ථදස්සි හා තෝලංගමුවේ අභයතිස්ස යන දෙනම අභිනව අමරපුර නිකායට එක්වී සපරගමුවට පැමිණ පෙරකී බෝගහපිටියේ ධම්මජෝති මහ තෙරුන්වහන්සේගේ අමරපුර නිකාය පිහිටුවීමේ කාර්යයට සහයෝගය ලබා දුන් බව වාර්තා වී ඇත.

සපරගමුවේ අමරපුර නිකායේ ස්ථාවරත්වයට මහත් රුකුලක් වී ඇත්තේ කළුගගේ නම්බපාන තොටේදී පහතරට අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ බෝගහපිටියේ සිරි ධම්මජෝති මහ තෙරපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ප්‍රථම උපසම්පදා විනය කර්මයයි. සපරගමුවේ පැරැණි විහාරස්ථාන රාශියක විසූ සාමණේර හිමිවරුන් මෙම උපසම්පදා විනය කර්මයේ දී අධිශීලයට පත්වී තිබේ.

පසුකාලීනව සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන් කොටස් කීපයකට බෙදී ගියත් ඒ සියලු දෙනාම පහතරට සිරි සද්ධම්මවංශික භික්‍ෂූන්ගේ ප්‍රමුඛත්වයෙන් නම්බපාන තොටේ දී සිදු කළ උපසම්පදාවේ දී අධි ශීලයට පත් තෙරවරුන්ගේ සංඝ පරම්පරාවලට අයත් වූවන්ය.

මුල් වකවානුවෙහි සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන් පාර්ශ්ව භේදයකින් තොරව සමඟියෙන් විනය කර්මාදිය සිදු කර ඇත. ඒ වකවානුවේ උපසම්පදා විනය කර්ම කර ඇත්තේ කුරුවිට එක්නැලිගොඩ වික්‍රමසිංහ අභය තිලකරත්නාරාම විහාරාසන්න කුරු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී ය. මේ ක්‍රමය අනුව 1914 වර්ෂයේ දී පැල්මඩුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරාධිපතිව වැඩ විසූ ගබ්බෙල සිරිනිවාසාභිධාන මහා නායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මයක් සිදු කළ බව සඳහන් වාර්තා තිබේ.

සපරගමුවේ අභිනවයෙන් පිහිටුවන ලද අමරපුර නිකායේ ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වුනේ එකල ප්‍රාදේශීය පාලකයන් ලෙස ක්‍රියා කළ ප්‍රභූ වරුන්ගේ නොඅඩු දායකත්වයක් ලැබීම ය. ඒ වකවානුවේ ප්‍රභූත්වය ඉසුලූ එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, මහවලතැන්න, මොලමුරේ, මුත්තෙට්ටුවේගම ආදී පරම්පරාවල ප්‍රභූහු අමරපුර නිකායේ උන්නතියට ක්‍රියා කළෝ ය.

එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ දියුණුවට එක්නැලිගොඩ ප්‍රභූවරුන් ඉද්දමල්ගොඩ හා මුත්තෙට්ටුවේගම ප්‍රභූවරු මඩලගම, පැල්මඩුල්ල පාර්ශ්වයේ දියුණුවටත් රාස්සගල පාර්ශ්වයේ දියුණුව සඳහා මහවලතැන්න අධිකාරම්තුමා ප්‍රමුඛ රදලවරු ක්‍රියා කළහ. මොලමුරේ ප්‍රභූවරු එක්නැලිගොඩ, පැල්මඩුල්ල පාර්ශ්වවල දියුණූවටත් පොදුවේ ක්‍රියා කළෝ ය. ඉද්දමල්ගොඩ බස්නායක තුමාගේ දායකත්වයෙන් සිදු කළ ඓතිහාසික පැල්මඩුල්ල සංගායනාව නිම වූ පසු එම සංඝායනාව කළ සුදර්ශන ධර්මශාලා විහාරස්ථානය ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් සහිතව අමරපුර නිකායික භික්‍ෂූන් වහන්සේට පුජා කිරීමෙන් ද පෙනී යන්නේ එදා සපරගමු ගිහි නායකත්වය අමරපුර නිකායට නැඹුරුව සිටි බවයි.

යථොක්ත සුදර්ශන ධර්මශාලා විහාරස්ථානයේ වැඩසිටි සිරි ජිනවර ශාසනවංශාලංකාර ගබ්බෙල සිරිනිවාසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවකට සබරගමුවේ සිටි පැවිදි ගිහි දෙපාර්ශවයේ ම මහත් සම්භාවනාවට ලක්ව වැඩ සිටීම උන්වහන්සේට ස්ව නිකායික මහා නායක පදවිය ලැබීමට ප්‍රබල හේතුවක් වූවා විය හැකි ය.

ශතවර්ෂ භාගයක් පමණ කාලයක් අමරපුර නිකාය ආරම්භයේ සිට සපරගමුවේ ස්වනිකායික සංඝරත්නය සමඟියෙන් ක්‍රියා කළත් 1931 වර්ෂයේ දී අභිනව විහාර දේවාලගම් පනත සම්මත කර ඒ අනුව සාමණේර උපසම්පදා භික්‍ෂූන් රජයේ ලියාපදිංචි කිරීමේ ක්‍රමය ඇති වූ පසු එම ආකෘති පත්‍රවලට අත්සන් තැබීමේ අවශ්‍යතාව මත එතෙක් එක් පාර්ශ්වයක් සේ පැවැති සපරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකාය කොටස් තුනකට බෙදී ගොස් ඇත. එම බෙදීමෙන් පසු පාර්ශ්ව හඳුන්වා ඇත්තේ සපරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ ඉද්දමල්ගොඩ (පැල්මඩුල්ල) පාර්ශ්වය.

සපරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වය, සපරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ රාස්සගල පාර්ශ්වය යන නම් වලිනි. ඉද්දමල්ගොඩ නම් වූ පාර්ශවය පැල්මඩුල්ල, ඉද්දමල්ගොඩ පාර්ශ්වය යන නම් දෙකෙන්ම බොහෝ කාලයක් හැඳින්වූවෙත් මෑතකදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ සියලුම පාර්ශ්ව එක්ව මහා සංඝ සභාව පිහිටුවාගෙන පාර්ශ්ව නම් කිරීමේ දී ඇති කරගත් සම්මුතිය අනුව දැන් මෙම පාර්ශ්වය හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වය යන නමිනි.

සපරගමුවේ අමරපුර නිකායික භික්‍ෂූන්ගේ නම්බපාන තොටුපලේ දී කළ ප්‍රථම උපසම්පදාවට සම්බන්ධ වූ ඉද්දමල්ගොඩ මහ තෙරපාණන්ගෙන් බිහි වූ සඟ පරපුර ඉද්දමල්ගොඩ නමින් ව්‍යවහාර වේ. නමුත් මුලින් කලක් භාවිත කළ පැල්මඩුල්ල නාමය ද තාමත් අනියමින් ව්‍යවහාර වේ. ප්‍රථම මහා නායක පදවිය පැල්මඩුල්ලේ සුදර්ශන ධර්මශාලාවේ දී පත්කළ නිසා එසේ භාවිත වන්නට ඇතැයි සිතිය හැකි ය.

1910 වර්ෂයේ දී මේ සඟ පරපුර ආරම්භ කරන අවස්ථාවට ද සම්බන්ධ වූ තවත් සංඝ පරම්පරා තුනක් ඇත. ඒවා අංගම්මන පුරාණ විහාර, කරවිට සිරි නිවාසාරාම, කලවාන තිලකරත්නාරාම යන නාමයන්ගෙන් හැඳින්වේ. 1950 දී පමණ දෙමුවාවත ශාන්ති නිකේතන නමින් තවත් සඟ පරපුරක් මේ පාර්ශ්වය සමඟ එක් වී ඇත. මඩලගම ශ්‍රී විජයින්දාරාමය මුල් කරගෙන ඇරඹුණු විහාර පරපුර මඩලගම ශ්‍රී විජයින්දාරාම සඟ පරපුර නාමයෙන් භාවිත වේ. මේ විහාර පරම්පරා පහේ සංයුක්තිය ඉද්දමල්ගොඩ විහාරපාර්ශ්වය බවට පත් වී ඇත.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]