Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බද්දේගම, කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමාධිපති ශ්‍රී අමරවංස මහ පිරිවෙනේ අධ්‍යක්‍ෂ කර්මාචාර්ය බද්දේගම සිරිරතන නාහිමියන්ට “විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර” යන ගෞරව නාමය සහිත මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය දි.මූ. ජයරත්න මහතා විසින් සිදු කැරුණු අවස්ථාව.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් වල 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සාමූහික භික්‍ෂු පෙරමුණේ සභාපති සූරියවැව ජාතික පාසලේ බෞද්ධ සංගමයේ අනුශාසක විතාරන්දෙණියේ වජිරවංස හිමියන් සැකසූ 2600 සම්බුද්ධත්ව ජයන්ති පාසල් වැඩසටහන එළිදැක්වීම සහ එහි සමාරම්භක උළෙල පසුගියදා සූරියවැව නගර සභා ශාලාවේ දී උත්සවකාරයෙන් පැවැත්විණි. එහිදී විතාරන්දෙණියේ වජිරවංස හිමියන් 2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන ඇතුළත් ප්‍රස්තකය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාට පිළිගැන්වූ අවස්ථාව. හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ වී.කේ. පියසිරි මහතාද මෙහි වෙති.

සෙංකඩගල පුරවරයේ අස්ගිරි මහා විහාර පිරිවෙනේ ඉදිකිරීමට යෝජිත සිව් මහල් ගොඩනැගිල්ල සහිත චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා මුල්ගල තැබීම පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
චෛත්‍යරාජයාණන් වහන්සේ සහිත සම්පූර්ණ ගොඩනැගිල්ලේ උස අඩි 92 කි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම භාවනා කිරීම සඳහා විශේෂ ධර්ම ශාලාවක් ද, ධාතු මන්දිරයක්, බෞද්ධ පුස්තකාලයක් හා කෞතුකාගාරයකින් එම ගොඩනැගිල්ල සමන්විතය. චෛත්‍යරාජයාණන් වහන්සේ සහිත සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැයවෙතැයි අපේක්ෂිත බව අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද හිමියෝ පවසති. චෛත්‍යරාජයාණන් සහිත සම්පූර්ණ ගොඩනැගිල්ල වර්ග අඩි 6250 කින් සමන්විත අතර එක් වර්ග අඩියක් සඳහා වියදම රුපියල් 6500/= ලෙස ගණන් බලා ඇත. සිව් මහල් ගොඩනැගිල්ල සහිත චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් මුල්ගල් තැබූ අවස්ථාව.
ඡායාරූපය: ගාමිණී රාමනායක සටහන: අසේල කුරුළුවංශ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ් දෙවන පදවිප්‍රාප්තිය සමරමින් සාරධර්ම පිරි යහපත් දරු පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය ආගමික පසුබිම පාසල් තුළ ඇතිකිරීමේ අරමුණින් මධ්‍යම පළාතේ සියලු පාසල්වලට බුද්ධ ප්‍රතිමා සහ ග්‍රන්ථ බෙදාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ක්‍රියාත්මක කොට ඇත. එම වැඩපිළිවෙල ආරම්භ කරමින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පැවැති උත්සවයකදී අස්ගිරිය චන්ද්‍රානන්ද ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුලාවල ධම්ම සිද්ධි හිමියන්ට ආණ්ඩුකාරවරයා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වූ අවස්ථාව.
ඡායාරූපය :- උදේනි රාජපක්‍ෂ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.