Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසමය සම්මත ආගමක් නොවේ

සංස්කෘතියේ ආරම්භයේ සිටම මානව ක්‍රියාකාරකම් සමඟ බැඳී පවතින මූලිකංගයක් ලෙස ආගම හැඳින්විය හැකිය. ආදි මානවයා ආගමික විශ්වාසයන්ට පදනම කරගෙන ඇත්තේ යමක් පිළිබඳ හදවතේ ඇතිවෙන විශ්වාසය තුළින් හටගත් බිය මුසු සංකල්පයකි. කාලයාගේ ඇවෑමෙන් විකාශනය වූ එය අද වන විට විවිධාංගීකරණය වී ඇත. බුදුදහම ආගමක් ද? යන්න විමසා බැලීමට පෙර විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් එය නිර්වචනය කොට ඇති ආකාරය මදක් විමසා බලමු.

පෙඩ්‍රික් ෂෙලියර් මාකර් පවසන්නේ “පෞද්ගලික සියල්ල සමස්තයේ කොටසක් ලෙසත් සීමිත වූ සියල්ල අනන්තයේ කොටසක් ලෙසත් ගැනීම ආගම නම් වන බවයි” ආචාර් කාන්ට් පවසන්නේ “ ආගම යනු ආත්මීය වශයෙන් යුතුකම ප්‍රතිබද්ධ දිව්‍ය නියෝගයක් බවයි “ ලුඩ්විග් නොවැග් පැවසුවේ “ මිනිසා ආගමේ ආරම්භය වන බවත්, මිනිසාම ආගමේ කේන්ද්‍රය වන බවත්, මිනිසාම ආගමේ අවසානය වන බවත්ය. “ මාක්ස්වාදීන් පවසන්නේ “ආගම යනු මිනිසාගේ දෛනික ජීවිතය හා පාලනය කරන බලවේග ඔවුන්ගේ මනස තුළ මනස් පෘෂ්ඨික ලෙස පරාවර්තනය වීමක්, භෞතික බලවේග,අද්භූ®ත බලවේගවල ස්වරූපය ආරූඪ කරගන්නා පරාවර්තනයක් මිස අන් කිසිවක් නොවන “ බවයි . මාක්ස්වාදීන් වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කරයි. “ ආගම යනු පීඩිත මිනිසුන්ගේ සුසුමයි, හදවතක් නැති ලොවේ හදවතයි. ආත්මයක් නැති ස්වභාවයේ ආත්මයයි. එය ජනතාවගේ අබිංය “ යනුවෙනි. “ආගම යනු පැවැත්මේ හැකියාව බවත් හැකියාවේ උල්පත ආගම බවත් “ පැවසුවේ ජෝන් ඩේවිඩ්ය. ආගම පිළිබඳ මාක්ස්වාදීන් දුටුවේ එය ධනවාදීන්ගේ උපකරණයක් ලෙසය.

ආගම පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් (Pseychological Study of Religion) නම් කෘතියේදී මහාචාර්ය ලෞබා නිර්වචන 48 ක් දැක්වීම සදහා පිටු 72 ක් වෙන් කළ ද ඔහු එයිනුදු සෑහීමකට පත් වී නැත. ආගම වූ කලි විවිධ චේෂ්ටාවන්ගෙන් සමන්විත වූවකි. ඒ ඒ ආගම්වල විවිධ සම විසමතා දක්නට ලැබේ. ඒ නිසාම සියලු ආගම්වලට පොදු වූ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීමට කිසිම දාරිශනිකයෙකු සමත් වී නැතැයි කීම සත්‍යයට වඩාත් සමීප වනු ඇත.

මෙහිදී ආගමේ ප්‍රභවය පිළිබදව ද කෙටියෙන් සලකා බැලීම වැදගත් වෙයි. ආගමේ ප්‍රභවය පිළිබඳ කරුණු දක්වන Hand book of mankind නැමැති ආගමික ග්‍රන්ථය මෙසේ පවසයි. අතීත මිනිසාට ස්වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගත නොහැකි විය. අකුණුගැසීම, සුළං හැමීම, සූර්යෝදය, වැසි වැටීම වැනි ස්වභාව ධර්මයේ සංසිද්ධීන් විශ්ව නියාමයට අනුව සිදුවන බව වටහා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

ඔවුහු එම ස්වාභාවික වස්තූන්ට හා සංසිද්ධීන්ට වන්දනාමාන කිරීමට පටන් ගත්හ. ඒ තුළ ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන ශක්තියක් හෝ පුද්ගලයෙකු ඇති බව ඔවුහු කල්පනා කළහ. එහෙයින් ඒ දේවල් කෙරෙහි භක්ති පූර්වක නම්‍යශීලි දෘෂ්ටියක් හෙළීමට ඔවුහු පුරුදු වුහ. මෙකී ප්‍රාථමික තත්ත්වය ආගමේ ප්‍රභවය ලෙස හඳුනාගත හැකිය.

සෑම ආගමකටම මූලික වශයෙන් පදනම් වූ කරුණු කිහිපයක් පවතින බව පෙනී යයි. ඒවා,
විශ්වයේ ස්වභාවය හා මිනිස් විශ්වාස අතර ඇති සම්බන්ධය
ආගමික විශ්වාස , භය, ආදරය, ගෞරවය, අවනතභාවය ආදිය නිසා පැවතීම.
ඒ ඒ ආගම්වලට ආවේණික හැසිරීම් රටා හා වත්පිළිවෙත් තිබීම

සෑම ආගමක ප්‍රාරම්භයේ තිබූ සංකල්ප සංවර්ධනය වී ක්‍රමයෙන් මානසික අවශ්‍යතා මත සැනසුම් සහගත දිවියකට මග පාදාගනුවස් සකස් කරගෙන ඇත. ආගම යනු මිනිසාගේ මොළය නමැති කම්හලේ සකස්කර ගත්තකැයි භෞතිකවාදීන් කියන්නේ ද එහෙයිනි.

ක්‍රි.පූ. 6 වන සියවසේ දී භාරත වර්ෂයෙහි පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලෝකවාසි සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් වදාරන ලද ශ්‍රී සද්ධර්මය කේන්ද්‍ර කොටගෙන පසුකාලීනව ප්‍රකට දහමක් බවට පත් වූ බුදු සමය ආගමක් දැයි විමසා බලමු. සුප්‍රකට සමාජවිද්‍යාඥයෙකු Emil Durkhaim ලොව සෙසු ආගම් අතරට බුදු සමය ද ඇතුළත් කළ හැකි බව පවසා ඇත. ඔහුගේ මතයට අනුව ආගමික යැයි සලකන සියලුම ධර්මතාවල පොදු ලක්‍ෂණයක් වන්නේ අතිස්වාභාවිකත්වයයි (Super natural) එනම් සොබාදහම ඉක්මවා යාමයි. ආගම මිනිසාගේ උපලබ්ධියට හෙවත් අවබෝධයට හසුනොවේ. නිදසුනක් ලෙස දෙවියන් වහන්සේ නොහොත් මහා බ්‍රහ්මයා යනු කවරෙක්දැයි මිනිසාට අවබෝධ කොටගත නොහැක. ආගම මිනිසාගේ ඉන්ද්‍රිය ඥානයට විෂය නොවන දෙයක් බව මේ අනුව පැහැදිලි වෙයි.

ඉහත අප දැක් වූ Emil Durkhaim ඉදිරිපත් කරන මතය කිසිසේත් පිළිගත නොහැකිය. ඒ මක්නිසාද යත්, පොදුවේ සලකා බැලූ කළ ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් වැනි ආගම්වල උගන්වන ඉගැන්වීම් වලට හාත්පසින්ම වෙනස් ඉගැන්වීම් රැසක් බුදු සමයේ විද්‍යාමාන වන හෙයිනි.

මෑත අතීතයේ විසූ ඒබ්රහම් කබ්ලාන් නම් දාර්ශනිකයා බුදුදහම ආගමක් නොවන බව පවසයි. එය සාධනය කරනු වස් ඔහු, අනෙක් ආගම්වලට සාපේක්‍ෂව බුදුසමයේ දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණ රැසක් ගෙනහැර දක්වා ඇත. ඒවා මෙසේය.

බුදුසමය සර්වබලධාරි දෙවියෙකු විශ්වාස නොකරයි,
එහි එන දර්ශනය ස්වභාව ධර්මයට අනුකූලය,
බුදුසමය අමරණීය ආත්මයක් ගැන උගන්වන්නේ නැත
බුදුසමයෙහි දේව නිර්මාණ නැත.
බුදුසමයෙහි අවසාන දේව විනිශ්චයක් නැත
බුදුසමයට අනුව මිනිස් දිවියෙහි ගැලවුම්කාරයෙක්ද නැත.
බුදුරදුන් දෙවියෙකු හෝ දේව දූතයෙකු නොවේ,
බුදුරදුන්ගේ ජීවිතය සාමාන්‍ය මිනිස් දිවියට, ස්වභාව ධර්මයට අනුකූලය,
බුදුසමයෙහි යාඥා විධියක් නැත,

බුදුසමයෙහි උගන්වන පරම සැපත මෙලොවදීම ලැබිය යුතුය. එය පරලොවදී ලැබිය යුත්තක් නොවේ.

ලෝකය ද මිනිසා ද ඇතුළු විශ්වය නිර්මාණය කළ, මිනිස් ජිවිතය කෙරෙහි බලපාන සර්වබලධාරි, සර්වව්‍යාප්ත , සර්වඥ , අදෘශ්‍යමාන,බලවේගයක් හෝ ශක්තියක් ඇතිබව ක්‍රිස්තියානි, ඉස්ලාම් හින්දු වැනි ආගම්වල ඉගැන්වෙයි. මිනිසා මවා, ආත්මය ලබාදී, ඔහුට ආහාරපාන ආදි සියල්ල සැපයීම දේව කැමැත්තට අනුව සිදුවන බව එම ආගම්වල ඉගැන්වෙයි.

එහෙයින් ලොව ඇති ආගම් සියල්ලම පාහේ දේවවාදී, දේවකේන්ද්‍රීය බව පැහැදිලි වෙයි.

නමුත් බුදුසමය මානව කේන්ද්‍රීය චින්තනයකි. තමාට තමා මිස අන් පිහිටක් නැති බව (අන්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා ) බුදුසමයේ ඉගැන්වෙයි.

බුදුසමය ද ආගමක් බව පෙන්වා දීමට උත්සාහ දැරූ චූර්කයිම් මිනිසාගේ සිතිවිලිවලට ගෝචර වන සියලුම ධර්මතා කොටස් දෙකකට බෙදා දක්වයි.

01. ලෝකායතික හෙවත් ලෞකික ධර්ම
02. අලෝකායතික හෙවත් පාරිශුද්ධ ධර්ම

බුදුසමයේ සර්වබලධාරි දෙවියෙකු පිළිබඳ විශ්වාසයක් නැති නමුත් එහි පාරිශුද්ධ ධර්මය ඇති බව ඔහු පවසයි. යම්කිසි ධර්මතාවයක් ආගමික වශයෙන් පාරිශූ®ද්ධ යැයි කිවහැක්කේ එයට දේව සම්බන්ධයක් ඇත්නම් පමණි.

ඒ අනුව බයිබලයේ එන ඉගැන්වීම් හා කුරාණයේ එන ඉගැන්වීම් පාරිශුද්ධය. නමුත් බුදුසමයේ එන චතුරාර්ය සත්‍යය හෝ වෙනත් ඉගැන්වීමක් මෙම අර්ථයෙන් පාරිශුද්ධයැයි කිව නොහැක. එහෙයින් ඩූර්කයිම්ගේ මතය නිශේධනය වෙයි.

විවේචනාත්මක දෘෂ්ටියකින් ආගම දෙස බැලූ චින්තකයෙකු ලෙස කාල්මාක්ස් හඳුනාගත හැකිය. පුරාතන ලෝකයේ මිනිස් දිවිය පාලනය කරනු ලැබුවේ ආගමික සංකල්පය මුල් කොටගෙනය. එබැවින් ආගම විවේචනය කළ යුතු බව කාල්මාක්ස් පවසයි. කාල්මාක්ස්ට අනුව මිනිසා ආගම නිර්මාණය කරයි .ආගම මිනිසා නිර්මාණය නොකරයි. විපරීත කරන ලද ලෝකය පිළිබඳ විඥානයක් ලෙස ආගම හැඳින්විය යුතු බව ඔහු පවසයි. ආගම නිර්දය ලෙස විවේචනය කළ යුතු බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ආගම යනු භ්‍රමයක් හෙවත් රැවටිල්ලක් බවයි.

කාල්මාක්ස්ගේ පූර්වෝක්ත අදහස් සැබවින්ම සත්‍ය බව කිව යුතුය. ස්වාභාවික ලෝකය අතිස්වාභාවිකත්වයෙන් යුතුව ආගම්වල ඉගැන්වෙන හෙයින් ඔහු මෙලෙස විවේචනයට එළඹෙන්නට ඇත. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව වැනි විද්‍යාවන් පදනම් කොටගෙන ස්වාභාවික ලෝකය තේරුම්ගත හැකිය. නමුත් දෙවියන් වහන්සේ වැනි අදෘශ්‍යාමාන අය තුළ ස්වාභාවික ලෝකය පැවරිය නොහැක. ආගම යනු මායාකාරී සූර්යයා බව කාල්මාක්ස් පැවසුවේ එහෙයිනි.

ඉහත අප කතා කළ කාල්මාක්ස්ගේ ඉගැන්වීම් බුදුසමයට කිසිසේත්ම අදාළ නොවේ. ඒ මන්ද යත් බුදුසමය ආගමක් නොවන නිසාවෙනි. බුදුසමය ලෝකය පිළිබඳ විඥානය විපරීත නොකරයි. එමෙන්ම බුදුසමයෙහි අති ස්වාභාවිකත්වයක්ද නැත. අදෘශ්‍යමාන ඊශ්වරයෙකු නොමැති හෙයින් බුදුසමය මායාවක් ද නොවේ.මේ අනුව පැහැදිලි වන්නේ කාල්මාක්ස්ගේ විවේචනවලට බුදුසමය කිසිසේත්ම හසු නොවන බවයි. සෑම ආගමකම පාහේ උගන්වන ආත්මවාදය කිසිසේත්ම පිළිගැනීමට බුදුසමය සුදානම් නැත. ආත්මවාදයට පූර්වාන්තකල්පනයට හා අපරාන්තකල්පනයට අනුව බැසගන්නා උච්ඡේදවාදය හා ශාස්වතවාදය ඇතුළත් වේ. ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල මෙන් අමරණීය ආත්මයක් ගැන බුදුසමය නොපිළිගනියි. සත්වයා රැස් කරන කර්මානුරූපව පුනර්භවය සිදුවන බවත්, ඒ අනුව දුක හෝ සැප ලැබෙන බවත් පවසන බුදුසමය පුද්ගල ස්වාමිත්වය තමාටම පවරයි.

එමෙන්ම බුදුසමයෙහි අවසන්දේව විනිශ්චයක්ද නැත. දෙවියන් වහන්සේගේ නියමයට අනුව ජීවත් වූවන් මරණින් මතු ස්වර්ගයට පැමිණවීමත්, දේව නියමයට අනුව ජීවත් නොවුවන් අපායට පැමිණවීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවන බව ආගම් පිළිගනියි.අපායගාමි සත්වයන් හා ස්වර්ගගාමි සත්වයන් සදාකාලිකවම එහි වාසය කරන බවද එකී ආගම්වලට පිළිගනියි. සදාකාලික , ස්ථීර, අවිනිශ්චර කිසිවක් පවතින බව බුදුසමය නොපිළිගන්නා අතර සදාකාලික ස්වර්ගය හා අපාය ද බුදුසමයේ දී ප්‍රතික්‍ෂේප වෙයි. නමුත් සත්වයන් කර්මානුරූපව සැප හෝ දුක් විඳින දෙව්ලොවක් හා අපායක් පවතින බව බුදුසමය පිළිගනියි. නමුත් ඒවා සදාකාලික නැත.

බුදුරජාණන් වහන්සේ දෙවියෙකු හෝ දේව දූතයෙකු ලෙස නොපිළිගැනෙයි. උන්වහන්සේ ආකස්මිකව පහළ වූවෙකු නොව, සුවිශේෂී ලක්‍ෂණවලින් හෙබි මනුෂ්‍යයෙකි. මැවීම, ආත්මය ලබාදීම, භෞතික සම්පත් වලින් මිනිසා පෝෂණය කිරීම උන්වහන්සේට අයත් කාර්යයන් නොවේ. නමුත් ආගම්වල උගන්වන පරිදි ඔවුන්ගේ ශාස්තෘවරයාට අයත් ප්‍රධාන කාර්යය ඒවායි.

යාඥා විධියක් හෝ පව් සමා කිරීමක් පිළිබඳ බුදුසමයේ ඉගැන්වෙන්නේ නැත. “දෙවියන්ට කන්නලව් කිරීමෙන් හෝ ආයාචනා කිරීමෙන් පුද්ගලාභිවෘද්ධිය සාක්‍ෂාත් කරගත නොහැක. එලෙස දෙවියන් යැදීමෙන් පව් සමාකර ගැනීමටද මිනිසාට ඉඩ ප්‍රස්තාව නැත “ යනු බුදුසමයේ ඉගැන්වීමයි.

ලොව පවතින ආගම්වල එන කරුණු කාලානුරූපව විවිධ වෙනස්කම්වලට බඳුන් වුවද බුදුදහම එසේ වෙනස් නොවන ස්ථිර වූ දහමක් බවට පත් වී ඇත.ඇතැම් ආගම්වල එන ඉගැන්වීම් විද්‍යාවේ දියුණුවත් සමඟම අවලංගු වී යයි. විශ්ව නිර්මාණවාදය එවැන්නකි. නමුත් බුදුසමයේ එන ඉගැන්වීම් විද්‍යාවේ දියුණුවත් සමඟම වඩ වඩාත් වලංගු බවට පත් වෙයි. සෑම ආගමකම පාහේ විමුක්තියක් පිළිබඳව කථා කරයි. විමුක්තිය හෙවත් පරම උත්කෘෂ්ටත්වයට පත්වීම දේවසහව්‍යතාවයම බව ආගම්වල ඉගැන්වෙයි. නමුත් බුදුසමයේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වන නිවන මෙයට හාත්පසින්ම වෙනස් වූවකි. ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් වලින් යුක්ත බුදුදහම ඉගෙන, නිර්වානාවබෝධය පිණිස තමන්ම වෙහෙසිය යුතු බව බුදුසමය පෙන්වාදෙයි. ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දීම ද බුදුසමයේ ප්‍රධාන ලක්‍ෂණයකි. බොහෝ ආගම් වලින් සිදුකරන ලබන්නේ මිනිසාගේ සිතිවිලි මිනිසා කෙරෙන් ඉවත්කර නොපෙනෙන බලවේගයක් පිළිබද ඔවුන් තුළ විශ්වාසයක් රෝපණය කිරීමයි.

නමුත් බුදුසමය මිනිසා මෙහෙයවන්නේ මිනිස් අභ්‍යන්තරයෙහි ඇති සාමය අධිමානසික බලවේග මතුකර ගැනීමටයි. ධර්මය යනු පුද්ගලයාගෙන් පරිබාහිර ගවේෂණයක් නොවේ. ධර්මය ඇත්තේ මිනිසා තුළමය. ප්‍රඥා, කරුණා ආදිය පුද්ගලයාම වර්ධනය කරගත යුතුය. මේ අනුව අපට පැහැදිලි වන්නේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියල්ලන්ටම පොදුවේ භාවිතයට ගත හැකි යහපත් ජීවන දර්ශනයක් බුදුදහමින් ඉගැන්වෙන බවයි. ඒ අනුව සලකා බැලූ කල ලොව පවත්නා විවිධ ඇදහිලි විශේෂයන්ට ආගම යැයි කියන තේරුමෙන් බුදුසමය ආගමක් ලෙස සැලකිය නොහැක.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.