Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රන් වැටෙන් යළි සුරැකෙන වන්දනීය නාගදීපය

සම්බුදු පහසින් පිවිතුරු වූ සොළොස්මස්ථාන වැඳ පුදා ගැනීමට ලක් වැසියෝ විශේෂ උනන්දුවක් දක්වති.

‘මහියංගනං නාගදීපං....’ යනුවෙන් පටන් ගන්නා සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාව නොදන්නා කිසිදු බැතිමතෙකු නොමැති තරම්ය.

ඒ සොළොස්මස්ථාන අතුරින් සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් නාගදීපය වන්දනා කිරීම තම ජීවිත කාලය තුළ දී එක්වරක් හෝ සපුරා ගැනීමට සැදැහැවතුන් තුළ පවතින්නේ මහත් බලාපොරොත්තුවකි. රුදුරු ත්‍රස්තවාදය නිසා අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් පුරා ඒ ලක්වාසින් අපේක්ෂා කළ මහඟු පින්කම සිත් සේ ඉටු කරගන්නට ජනතාවට නොහැකිවිය.

නාගදීපය නෙතින් බලා සතුටු සිතින් වන්දනා කර ගැනීමේ ආගමික නිදහස එකල ත්‍රස්තවාදය විසින් ජනතාවට අහිමි කර තිබුණි.

නාගදීපය ගැන පොතපතින් හෝ වැඩිහිටියන්ගෙන් දැනගෙන සිටි තරුණයෙකුට උපන් බිමෙහි ම පිහිටි ඒ සිද්ධස්ථානය නෙතින් දැක වැඳ පුදාගැනීමට හැකිවූයේ වයසින් 30 අවුරුද්දක් ගත පසුවයි.

යාපනය අර්ධද්වීපයට මදක් ඔබ්බෙන් නයිනතිව් දූපතේ පිහිටි මේ නාගදීප වන්දනාව ගමනේ ඇති චමත්කාරය නිසාම විශේෂවූවකි. බාල වැඩිහිටි ලොකු කුඩා සැවොම ඊට මහත් රුචියක් දක්වති.

තථාගත බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්වැනි වසරේ දී මේ භූ®මියට වැඩිය බව ඉතිහාසයේ සඳහන් වේ.

චූලෝදර – මහෝදර නාග ග්‍රෝතික නායකයන් අතර මැණික් පුටුවක් අරබයා වූ ගැටුම බුදුපියාණන්ගේ මහා කරුණාවෙන් සංසිඳවූයේ මේ පුණ්‍ය භූමියේදී ය.

බුදුන්වහන්සේගේ ලංකා ගමනට හේතු වූ - සම්බුද්ධ ස්පර්ශය ලද ඒ මැණික් පුටුව නිදන් කොට මේ භූ®මියේ වෙහෙරක් තනා ඇත.

වර්තමානයේ නාගදීප විහාරස්ථානයේ වන්දනා කරන දාගැබ ඒ පුරාණ කථාවට සාක්ෂි වන්නේ ය.

එකිනෙකා ඇන කොටා ගන්නා සමාජයක් වෙනුවට වෛරයෙන් තොරව සාමකාමීව ජීවත්වීමේ මනුෂ්‍යත්වයේ මහඟු පණිවිඩය පතුරුවා ලූ මේ පුණ්‍ය භූ®මිය සැමට නිදහසේ වන්දනා කිරීමේ වාතාවරණය දැන් උදා වී ඇත. දීර්ඝ කාලයක් සංවර්ධනය නොවූ මේ ඓතිහාසික බෞද්ධ උරුමය සුරැකීම, ආරක්ෂා කිරීම කළ යුතු ජාතික මෙහෙවරකි.

එම ජාතික යුතුකම වෙනුවෙන් නාගදීප විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ රන්වැට ලබන නොවැම්බර් මස 14 දා විවෘත කරනු ලැබුවේ නිදහසේත්, සමානාත්මතාවයෙත් අර්ථය කැටි කොට ගනිමින්ය.

එසේම ඕනෑම වන්දනාකරුවකුට ලක්දිව පුරාම කරදරයකින් තොරව වැඳපුදා ගැනීමට හැකි සාමකාමී වාතාවරණය රට තුළ උදා වී ඇතැයි යන සුබ පණිවිඩය ලොවට ම පසක් කරවමින්ය.

නොවැම්බර් 14 දින ශ්‍රී නාගදීප විහාරස්ථානයේ දී නිරාවරණය කළ මේ රන්වැට ශ්‍රී ලංකාද්වීපයෙහි ශ්‍රී සම්බුද්ධ ධර්මයේ චිර පැවත්මටත්, නිදහසින් පිරිපුන් යහපත් සාමකාමී සමාජයක් උදාකිරීමටත් රන් වැටක් ම වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.