UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය -
අනුරාධපුර නටබුන් අතර ‘වෙස්සගිරිය’ නමින් පුදබිමක් සටහන් වී තිබේ. වර්තමානයේ ‘වෙස්සගිරිය’ යන නමින් ව්‍යවහාරයේ පැවතුනත් එහි නියම නාමය ‘ඉස්සර සමණ විහාරය, යන්නයි. මෙම ආරාමය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර -
’වෙස්සගිරි විහාරය’ ලක්දිව බුදුසසුන පිහිටුවන ලද අවස්ථාවේ සිටම භික්ෂූන් වහන්සේගේ ආරාම පිහිටි පුදබිමක් බව ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සෙල්ලිපි හමුවීමෙන් පැහැදිලි වෙයි. වෙස්සගිරි ආරාමයෙහි උස් බිමහි දාගැබක් තිබීමද ඒ අවට ආරාමික ගොඩනැගිලි බොහෝමයක් ද පිහිටා ඇත. මෙම විහාරය රමණීය භූමියක් වූ බව අවට ගල්ගුහාත් පව¢ත හා අනෙකුත් ආරාමික ගොඩනැගිලිත් අනුව ආරාම සංකීර්යක පැවැතිය යුතු ශාන්ත බව තිබෙන්නට ඇත.

ප්‍රශ්නය -
නජච්චා වසලො හොති
නජච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණො
(වසල සූත්‍රය - සං. නි)
මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නො වන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ යැයි බුදුරදහු වදාළහ.

මෙම දහම් නියමය පැහැදිලි කරන්න.

පිළිතුර -
මෙම වසල සූත්‍ර දේශනා පාඨයෙහි ‘කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො’ යන තන්හි ‘කම්මනා’ (කර්මයෙන්) යන්න පූර්ව කර්මය වශයෙන් සැලකිය නොහැකිය. එය පූර්ව කර්මය නම් ඒ කර්මය නිසා මිනිසා උපතින්ම වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විය යුතුය. එසේ නොවන බව ‘න ජච්චා වසලෝහොති’ ආදී මුල් ගාථා දෙපදයෙන් දේශනා කරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන ලද්දේ වර්තමාන කර්මයයි. (මෙලොවදී ම කරන) කර්මය හෙවත් ක්‍රියාව යමෙක් මෙලොව මිනිසත් බව ලබා සතුන් මැරීම, රහමෙර පානය වැනි පහත් ක්‍රියාවන්හි යෙදෙයි නම් වසලයෙක් වේ. යමෙක් පස්පවින් වැළකී සුචරිතයෙහි හැසිරේ නම් හෙතෙම උත්තමයෙකි. බ්‍රාහ්මණයෙකි.

මිනිසුන් අතර ගොවිකම් කරන්නා ගොවියෙකි. බ්‍රාහ්මණයෙක් නොවේ. සිල්ප දැන ඉගෙන ක්‍රියාකරන්නා ශිල්පියෙකි. ගනුදෙනු කරන්නා වෙළෙන්දෙකි. අනුන්ට මෙහෙකරන්නා මෙහෙකරුවෙකි. අන්සතු දෙය පැහැරගෙන ජීවත් වන්නා හොරෙකි. පුරෝහිතකම් කරන්නා පුරෝහිතයෙකි.

ගමක් රටක් පාලනය කරන්නා රජෙකි. මේ කටයුතු කරන කිසිවෙකුට බ්‍රාහ්මණයෙකු යැයි කිව නොහැකිය. මෙසේ මිනිස් ක්‍රියාවන් අනුව ප්‍රචලිත වූ මනුෂ්‍ය නිර්මාණයක් බව අවධාරණය කෙරෙන අතර දේව මැදිහත් වීමකින් හෝ නියති මුළාවකින් තොරව සමාජය පැවතිය යුතු බව වදාළහ.

ප්‍රශ්නය -
විඤ්ඤාණප්පච්චයා - නාමරූපං’ විඤ්ඤාණය නිසා නාමරූප හටගනී. මෙම ප්‍රස්තුතය ගැඹුරු ධර්ම කරුණකි. එහෙත් සරලව ධර්මානුකූලවද විවරණය කළ හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර -
නාම හා රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයයි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ හතර නාම ස්කන්ධ වශයෙන් ද රූපස්ඛන්ධය කය හෙවත් භෞතික අංශය වශයෙන් වෙන්කොට දක්වා ඇත. නාම ශබ්දය නොයෙක් අතට නැමීම යන අදහස දෙයි. නාමස්කන්ධ එබඳු නම්‍යශීලි ගතිය නිසා නාම යන නාමයෙන් සංග්‍රහ වී ඇත.

ප්‍රශ්නය -
පියුමතුරා බුදුරදුන් සමීපයෙහි මම මතු බුදු සසුනක ධර්ම කථික භික්ෂුණීන් අතර අග තනතුරු පතමි. යනුවෙන් කළ ප්‍රාර්ථනාව ඉටුකරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසුකලෙක ධර්ම කථික භික්ෂුණීන් අතර අගතනතුර ලැබූ රහත් මෙහෙණිය කවුද?

පිළිතුර -
ධම්මදින්නා රහත් තෙරණිය වේ.

ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ ලිච්ඡචීන් සඳහා අපරිහානීය ධර්ම සතක් දේශනා කළ සේක. ලිච්ඡවීන් උදෙසා දේශනා කොට වදාළ එම සප්ත අපරිහානීය ධර්ම මොනවාද?

පිළිතුර -
සප්ත අපරිහානීය ධර්ම

1. නිතර සාකච්ඡා කිරීම
2. ඔවුනොවුන් අතර පි‍්‍රය මනාප බව එක්වීම හා විසිරයාමද සතුට සිතැතිවම සිදුවීම
3. පැරණි දැහැමි පිළිවෙත් නොකඩවා පවත්වා ගෙන යාම
4. වැඩිහිටි අවවාද අනුශාසනාවලට සවන්දීම හා පිළිවෙත් ඔවුන් හා එක්වීම - ගරු කිරීම
5 කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
6. ඉපැරණි ආගමික පූජ්‍ය ස්ථානවලට පුද සිරිත් නොකඩවා පවත්වාගෙන යාම
7. ලිච්ඡවී රාජ්‍යය යට ඇතුළුවන රහතුන් වහන්සේලාගේ පැවැත්මට බාධා නොවන පරිදි කටයුතු කිරිමයි.

ප්‍රශ්නය-
‘පරපටිබද්ධ වූ’ ගිහියාගේ සිව්පසයෙන් යැපෙන භික්ෂු ජීවිතය සිව්පසය ලැබීම සඳහා සත්ත ආහුනෙය්‍යෙ’ කරුණ සතකින් තම පිළිවෙත සකස්කරගත යුතුය. සැදැහැවතෙකුගෙන් ලැබෙන පුද දත්කාර පිළිගැනීමට සුදුසුකම් හතක් ධර්මග්‍රන්ථවල සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර -
සත්ත ආහුනෙය්‍යට්ඨානානි’ - පූජා ලැබීමෙහි සුදුසු සාධක.

1. ධම්මඤ්ඤතා - ධර්ම ඥානය
2. අත්ථඤ්ඤතා – අර්ථය දැනීම
3. අත්තඤ්ඤතා - තමා හඳුනා ගැනීම (ආත්මාවබෝධය)
4. මත්තඤ්ඤතා - පමණ දැනීම
5. කාලඤ්ඤතා - කාලය දැනීම
6. පරිසඤ්ඤතා - ශ්‍රාවක පිරිස හඳුනා ගැනීම
7. පුග්ගල පරෝපරඤ්ඤතා - පුද්ගල ගති ලකුණු හඳුනා ගැනීම වේ.

ප්‍රශ්නය -
බුදු දහමට අනුව ධනය හෝ කායික වැනි භෞතික ශක්තීන්ට වඩා පුද්ගල අධ්‍යාත්මික ශක්තියම නිරතුරුවම අගය කරයි. මෙම අධ්‍යාත්මික සුවිශේෂ ශක්තීන් මොනවාද?

පිළිතුර -
ශ්‍රද්ධාව - සද්ධා බලං
වීර්ය - විරිය
ලජ්ජාව - හිරි
බිය - ඔත්තප්ප
සිහිය - සති
සමාධිය - සමාධි
ප්‍රඥා - පඤ්ඤා

බාහිර ශක්තීන්ට වඩා අධ්‍යාත්මිකව මේ ගුණ ධර්ම පුරා ඇත්නම් ඒ තැනැත්තා දැහැමි සත්පුරුෂයෙකු මෙන් ආත්මීය ශක්තියක්ද ඔහුට ලැබෙයි.

ප්‍රශ්නය -
සක්විති රජෙකු සතු ‘සත් රුවන්’ සත්ත රතන යනුවෙන් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙයි. සක්විති රාජ පදවියට පත්වීමෙන් ඔහුට පින් පල වශයෙන් සප්ත රත්නයන් පහළවන බව සඳහන් වෙයි. මෙම සප්ත රත්න මොනවාද?

පිළිතුර -
චක්‍ර රත්නය - ඇතුන් - අජානීය අශ්වයා, මැණික් - අග්‍රමහේෂිතාව - රාජ පාක්ෂිත ජනතාව (ගහපති) සේනාව - පරිණායක යනු මේ සප්ත රත්නයන්ය.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]