Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාගරික ජීවිතයේ සතර මහා භූතයෝ

අද අප අත්දකින නාගරික පරිසරය තුළ එය අපට අදාළ වන්නේ කෙසේ දැයි සිතන්නට ද අවධානය යොමු කරමි. වසර සිය දහස් ගණනක් කාල පරාසයකින් පසුවත්, කොතෙකුත් තාක්ෂණික නවීකරණ සහ නව භූගෝලීය සීමා පවතිද්දීත්, මානව ශරීරය පිළිබඳ ඍජු අත්දැකීම ඒ හැටියෙන්ම පවතින්නාක් සේ පෙනේ.

මම මගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් නගරයක රැකියාවක නිරතව සිටින අතර දැහැමි පිළිවෙතක් ද අනුගමනය කෙළෙමි. බුදුන් වහන්සේ සිය ජීවිතය ගත කරද්දී අත්දුටු පරිසරයට බෙහෙවින් වෙනස් වටපිටාවකට මම මුහුණ දී සිටිමි.

මෙහි පුළුල් මංමාවත්ය. ඒවාත් තීරු වලට බෙදා ඇත. පදික වේදිකාවන්ය. ඇතැම් විට ඒවායේත් කුඩා පාරවල් වැනි තීරුය. බැලු බැලූ අත ගිනි නිවන ජල නළ, බස්රිය, නොයෙක් මෝටර් වාහන, මාර්ග සංඥා සහ නියොන් ආලෝක ධාරාවන්ගෙන් පිරී ගොසිනි. මම නිතර ම වාගේ එයින් නික්ම, හුදකලාව, සුන්දරවූ ස්වභාවික පරිසරයක් වෙත යමි. මා එයින් බලාපොරොත්තු වන්නේ මගේ එදිනෙදා නාගරික ජීවන රටාවේ වෙනසක් පිළිබඳ පිළිවෙතකි.

බුදුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදී මෙවන් දිරි ගන්වන සුලු ප්‍රකාශයක් කරති. “ සත්ත්වයාගේ පාරිශුද්ධිය ද, දුක් දොම්නස් සහ අ‍ෙඳානෝවෙන් වැළකීම ද,ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රාප්තිය ද, නිර්වාණාවබෝධය ද පිණිස අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය මෙයයි.” උන්වහන්සේ අප ඒ මඟට යොමු කරනු පිණිස එහිලා ප්‍රගුණ කළ යුතු නොයෙක් ක්‍රමෝපාය විවරණය කරමින් මෙසේ වදාරති. සතිපට්ඨාන සූත්‍රයට අනුව එයින් වැදගත් වන එකක් නම්, අපේ භෞතික ශරීරය විෂයයෙහි යථා ස්වභාවයෙන් අවලෝකනය කරමින් සිහිය පිහිටුවාලීම හෙවත් සතිපට්ඨානයයි. මම මෙහිදී විශේෂයෙන්ම ශරීරය වනාහි පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ධාතුන් විසින් නිර්මාණය කළ වස්තුවක් ලෙස මෙනෙහි කරමින් අභ්‍යාස කරන්නට කැමැත්තෙමි. තව දුරටත් ඉදිරියට ගොස් විමර්ශනයෙහි යෙදෙමින්, අද අප අත්දකින නාගරික පරිසරය තුළ එය අපට අදාළ වන්නේ කෙසේ දැයි සිතන්නට ද අවධානය යොමු කරමි. වසර සිය දහස් ගණනක් කාල පරාසයකින් පසුවත්, කොතෙකුත් තාක්ෂණික නවීකරණ සහ නව භූගෝලීය සීමා පවතිද්දීත්, මානව ශරීරය පිළිබඳ ඍජු අත්දැකීම ඒ හැටියෙන්ම පවතින්නාක් සේ පෙනේ.අපි මේ ගැන වැඩිමනත් විමසා බැලීමේ උත්සාහයක යෙදෙමු.

වායෝ ධාතුව

දැන් අපි වායෝ ධාතුවෙන් ම පටන් ගනිමු. වායෝ ධාතුව ගැන අවධානය යොමු කරන විට වැඩි දෙනා පුරුදුව සිටින්නේ, ඔවුන්ගේ පදනම් අරමුණ සති සම්පඡඤ්ඤය හෙවත් සිහිය විමසන නුවණ ලබා ගන්නට භාවනාත්මක ඉරියවුවෙන් පිහිටීමයි. ආශ්වාස ප්‍රශ්වාසය යනු වායෝ ධාතුව සිරුරට ඇතුළුවීම සහ ඉන් පිටවීමයි. ශ්වසනයේ සරල ක්‍රියාකාරිත්වය යනු අප උපත ලද මොහොතේ සිට මරණ මොහොත තෙක් ජීවිතය පිළිබඳ අඛණ්ඩ සංසිද්ධියකි. වායෝ ධාතුව අපේ පණ රඳවා ගෙන දරා සිටී.

පණ ඇති තාක් ශ්වසනයේ නිරත වන අපි සියලු දෙනා අන්‍යෝන්‍ය වශයෙන් වායෝ ධාතුව බෙදා හදා ගනිමු. එයට අප එක එකාගේ වයස, ජාතිකත්වය, වෘත්තිය, බැංකු ගිණුම හෝ පරපුර කුමක් වුවත් කාරියක් නැත. අපි නාගරික ජීවිතයේ සියුලු පංගුකාරයන් වන බල්ලන්, බළලුන්, පරෙවියන්, මීයන් සහ අපමණක්වු ක්ෂුද්‍ර ප්‍රාණීන් සමඟ වායෝ ධාතුව ශ්වසනයේලා හවුල් වෙමු. එසේම ශාක ජීවින් සමඟ ද ගනුදෙනු කරමු.කෙසේ ද යත්, ශ්වසනයේදී ශාක ජීවින්පිට කරන ඔක්සිජන් අප ආශ්වාස කරන අතර, අප ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් ශාක ජීවින් ආශ්වාස කිරීමෙනි.

බට ඕනෑම මොහොතක වායෝ ධාතුව පිළිබඳ අත්දැකීමක් සමඟ කෙළින්ම සම්බන්ධ වන්නට පුළුවන. ඔබ ආශ්වාස ප්‍රශ්වාස කරන විට ඔබේ පෙණහලු ප්‍රසාරණය සහ සංකෝචනය වන ආකාරය දැක ගන්නට ඔබේ උර පෙදෙස වෙත අවධානය යොමු කරන්න. ඔබ සමග බස් නැවතුම් පොළේ සිටින්නන්, මඟ අද්දර ලැග සිටින බල්ලන් , බකල ගසමින් ඇවිදින කුඩා දරුවන් දෙස විමසිල්ලෙන් බලන්න.

පටු මංපෙත් එකතුවන වටරවුම් වල මඳ සුළඟට ලෙළ දෙන කොඩි ද, පුම්බන ලද ප්ලාස්ටික් උර ද නිරීක්ෂණය කරන්න. වාහනයක් වලා රොද වැනි දුම්ගුලි නිකුත් කරමින් වායෝ ධාතුව අපේ සිරුරෙහි ගැටෙන්නට මඟ සලසන ආකාරය කෙරෙහි සැලකිලිමත් වන්න. වායෝ ධාතුව අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිදුවන සෙලවීමක් සේ තේරුම් ගන්නට උත්සාහ කරන්න.

ආපෝ ධාතුව

ඊළඟට අපි ආපෝ ධාතුව හෙවත් ජලය ගැන සිතා බලමු. ආපෝ ධාතුවෙන් තොරව අපට වැඩි කලක් ජීවත් වන්නට නොහැකිය. මිහිතලය මතුපිට සේම මිනිස් සිරුර ද නිර්මාණය වී ඇත්තේ සියයට හැත්තෑවක් පමණ ජලයෙනි. අපි අපේ හම විසින් ජලය රඳවා ගනුු ලැබ තිබෙන ජංගම බඳුන් වැනිය. අපි අපේ ශරීර තුළට යළි යළිත් නොයෙක් දියර පුරවමින්ද, පිට කරමින්ද සිටිමු. කෙසේ ද යත්, යෝධ ජල ටැංකි වලට ජලය පුරවමින් බෙදා හරින්නාක් මෙන් ඩහදිය මුත්‍ර සහ කඳුළු මගින් පිට කර හරින්නා සේය. ශිරා, ධමනි සහ වෙනත් ප්‍රණාල පද්ධති මගින් අපේ සිරුර තුළ ජලය ප්‍රවාහණය කරනු ලැබේ.

ඒ කෙසේද යත්, පදික වේදිකාවේ අපේ දෙපතුල් යටින් දිවෙන සංකීර්ණ ජලනළ ජාලය මගින් අපට බොන්නට, සෝදන්නට සහ වෙනත් කුදු මහත් කටයුතු සදහා ජලය සැපයෙන අතර, තවත් කොටසක් සියලු කුණු කන්දල් සෝදා ගෙන අපතේ ගලා යන්නාක් සේය. අපේ සිරුර එවන් සංකීර්ණ කාර්ය පදධතියක මෙහෙයවීම තුළ කල් මරමින් සිටිනු පෙනේ.

අපේ කය තුළ නළියන දියාරු ස්වභාවය ගැන මඳකට සිතා බලමු. අපේ කටේ කෙළ, අක්ෂි ගෝලයන්හි තෙතමනය, ඇතැම් විට අපේ උදර කුහරයෙහි ගුරුගුරුව ගැන සිතමු.ඔබේ අත්දඬු , පාදඬු සහ කඳ කොටස අතගා බලන්න. එය කෙතරම් සුමුදුවත්, සුමටවත් විඳ ගත හැකිද? ඒ කවර හෙයින්ද? ඒ අපේ සිරුර පුරා ඇති දියර ගතියට අදාළය. එය අපේ සිරුරේ පැතිරී ඇති ආපෝ ධාතුවේ සමානුපාතික ගැළපීමයි. ඔබ දිය උගුරක් බොන්නට ජලකරාමය කරකවන විට, නාන කාමරය සෝදා හරින විට හෝ වේගයෙන් විදින ගිනි නිවන ජල නළයක් පසු කර යන විට බාහිර හා අභ්‍යන්තරවත් ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය ගැන සිතන්න.

තේජෝ ධාතුව

තේජෝ ධාතුව අපේ සිරුරෙහි අපට දැනෙන උණුසුම හෝ සිසිල නියෝජනය කරයි. මට සිලුටු ජීවින් ලෙස අපට පැවතිය හැකි වන්නේ එක්තරා සීමිත උෂ්ණත්ව පරාසයක් තුළ පමණි. තේජෝ ධාතුව අප ගත් ආහාරය දවා දිරවයි. එමඟින් කෙමෙන් වියපත් බවට ද අප පත් කරනු ලබයි. අපේ ශරීරයක් සමඟ බද්ධ වූ ජීවිතය ගිනි මැළයක් වැනිය. එය, අප එතුළට දමන සියලු ඉන්ධන කාදමයි. ඉතින් ඒ ගිනිමැලය කෙතරම් කලක් ඇවිළෙමින් තිබේ දැයි අපි නොදනිමු. ළදරුවන්ගේ මෙන් සුමුදුවට හා රැලි වැටීමෙන් තොරව සුමටව තිබුණු අපේ සම අප වියපත් වන විට වියළී, රැළිගැසී යනු දකිනු හැකිය. කෙසේ ද යත්, ගොඩනැගිල්ලක බිත්තියෙහි ආලේප කරන ලද තීන්ත හිරු රැසින් වියළී, ඉරිතළා, පතුර ගැලවී යන්නාක් මෙනි.තේජෝ ධාතුව අප උණුසුම් වීමට යොදා ගන්නා ගිනි උදුන් සහ අවකාශ තාපක සේම නියොන් ආලෝක සංඥාවලින් නිකුත් වන තාපය හා බල ශක්තියෙහි හා මාර්ග ආලෝක සංඥාවන්හි ද අත්දකින්නට ලැබේ.

ඔබ ඔබේ සිරුරට දැනෙන උෂ්ණත්වය කෙරෙහි සාවධානගත වුවහොත්, සිරුරේ එක් එක් කොටසට දැනෙන උණුසුම සහ සිසිලෙහි අනුපාතය වෙනස් බව දැන ගත හැකිය. පෘථිවි පරිභ්‍රමණයේදී ඒ වටා පිටත ඇති වායෝ ධාතුවේ උෂ්ණත්වය වෙනස් වන්නාක් මෙන් ඒවායේ මට්ටම නිතර වෙනස් වන්නේත්, අවුරුද්ද අතරතුර ඍතුවලදී පෘථිවිය ඇළව ගමන් කරන්නේත් කෙසේ දැයි සලකා බලන්න. අපේ ගේදොර සහ කාර්යාල වලට සම්බන්ධ කර ඇති අප නිතර දෙවේලේ යන එන මංමාවත් වලට ඉහළින් දිවෙන, දිගට හරහට ඇද තිබෙන විදුලි රැහැන් පද්ධතිය තුළ අදිසිව ක්‍රියාත්මක වන තේජෝ ධාතුව කෙරෙහි අවධානය යොමු කරනු මැනවි. ඔබේ දෙනෙත් දිදුලන පරිගණක තීරයේ දීප්තිය සහ පරිගණකයේ යතුරු මත ඇඟිලි තුඩු නළියන විට අතට දැනෙන උණුසුමත්, අපේ සිරුරට අභ්‍යන්තර සහ බාහිර වශයෙන් බලපාන තේජෝ ධාතුව ම බවට ඔබේ අවධානය ඔබට අඟවනු ඇත.

පඨවි ධාතුව

පඨවි ධාතුව තද බව, දැඩිබව, සිලිටිබව, ගොරෝසුබව හෝ සුමටබව නියෝජනය කරයි. මහ පොළොව හැම විටම අප කළේ කුමක් ද, අප ගත කළ දවස කෙතරම් කරදර සහිත වී දැයි ආදි කිසිවක් නොසලකා අප දරා සිටී.අපේ සිරුරේ ඇටකටු හා දත්වල දැඩි බව සහ අප පොළොව මත ඉඳගෙන හෝ හිටගෙන සිටින විට අපේ සිරුරින් පොළොවට ඇති වන පීඩනය අපට දැනේ. නගරය පුරා ඇති මාවත් වලට දමා තිබෙන කොන්ක්‍රිට්, ගොඩනැගිලි තනා ඇති ගඩොල්, වාහනවල ලෝහ ආදියෙන් පඨවි ධාතුව පැහැදිලිව දැක ගත හැකිය. හරියටම අපේ ඇටසැකිල්ලේ රාමුවක් වැන්නක් තුළ නිමවන ලද ගෘහනිර්මාණ ශිල්පීය ව්‍යයුහයක් සහිත ගොඩනැගිලිවල දකින්නට ලැබෙන පඨවි ධාතුවේ ඝනත්වය ගැන සිතා බලන්න. ඒ අනුව බාහිර සහ අභ්‍යන්තර වශයෙන් පඨවි ධාතුව තේරුම් ගන්නට හැකි වනු ඇත.

අප නඩත්තු කරන ආහාර හැම අතින්ම නිර්මාණය වී ඇත්තේ සතර මහා ධාතුන්ගෙනි. එළවළු සහ ධාන්‍ය වැවෙන්නේ පඨවි ධාතුව හෙවත් මිහිතලයේය. වැසි ජලයෙන් හෙවත් ආපෝ ධාතුවන් ඒවා තෙමා පණ ගන්වනු ලැබේ. හිරු එළිය හෙවත් තේජෝ ධාතුව ඒවා පෝෂණය කරයි. වායෝ ධාතුව හෙවත් වාතය ඒවා උණුසුම් හෝ සිසිල් කරයි. නගරයේදී නිතරම වාගේ ඒ ආහාර ද්‍රව්‍ය රාක්ක, විකුණුම් යන්ත්‍ර සහ ලෝහ හෝ ප්ලාස්ටික් බඳුන් මඟින් පොදි හෝ මිටි ලෙස ලබා ගත හැකිය. එහෙත් ඔබ වඩාත් ගැඹුරින් මොහොතක් සිතා බලන කල්හි ඒ ආහාර ද්‍රව්‍ය වන්නේ ඒවා පුරවා ඇති බඳුන් වලින් වුවත්, අප ආහාර ගන්නා වේලක් පාසා අපේ ජීවිතය පෝෂණය කරන්නේ සතර මහා ධාතු විසින් බව ඔබට මතක් විය හැකිය.

සතර මහාධාතු පිළිබඳ අවලෝකනය “ මම “ සහ “නොමම “ අතර සැක ඇති කරන සීමාවක් බවට පත්වනු පෙනේ. මෙය වනාහි සැලකිය යුතු කඩඉමකි. “ මම” සහ මා ආශ්වාස කරන වායෝ ධාතුව අතර කඩඉම හෙවත් මායිම කුමක්ද? එසේම මා පානය කරන ජලය (ආපෝ) සහ මා ගිල දමන ප්‍රතිජීව (විටමින්) තුළ ඇති ඛනිජ ද්‍රව්‍යයන්හිත්,, මාත් අතර අති වෙනස් කුමක්ද? මා කාදමන පාන් පෙත්තක අවසානය සහ මගේ ශරීරය පටන් ගන්නා ලක්ෂය කුමක්ද? මේ අනුව සිතන විට යම් කිසිවක කඩඉම් ලක්ෂ්‍යය බැලූ බැල්මට පෙනෙන්නාක් බඳු පැහැදිලි එකක් නොවේ.

සතර මහා ධාතුන් පිළිබද මේ සත්‍යය එපමණකට ලිහිල් කිරීමෙන් අසීමිත නිදහසක්, විශ්වාසයක් සහ සතුටක්ද ලැබෙන්නට පුළුවන. අපි අපේ පරිසරයේ අංශු මාත්‍රයක් වෙමු. විටෙක අප ලඳු කැලෑවක හෝ මහ කැලෑවක සැරිසරනු විය හැකිය. නැතහොත් කාර්ය බහුල වීදියක් දිගේ ලැසි ගමනින් ඉදිරියට ඇදෙනු ඇති බව අපට තේරුම් ගන්නට හැකි විය යුතුය.අපි එකී මූලධාතුන්ගේ ජීව ශක්තිය හා සෞඛ්‍ය සම්පන්න ස්වභාවයේ බලපෑමට නතුව සිටිමු. අපි පඨවි, වායෝ, තේජෝ, ආපෝ ආදි ධාතුහු වෙමු. එබැවින් අපි කොන්ක්‍රීට් ද, විදුලිය ද කුණාටු ද, ජලනළ ද වන්නෙමු. එද පඨවි, වායෝ, තේජෝ සහ ආපෝ ද වන හෙයිනි.

බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. “සත්ත්වයාගේ විමුක්තිය පිණිස වන්නාවුත්, ශෝකය හා විලාපය දුරු කරන්නාවුත් සන්තාපය හා වේදනාව පලවා හැරීමත්, සත්‍යවූ මාර්ගය සාක්ෂාත්කරණයත්, ස්වාධීන්තවය අවබෝධ කර ගැනීමත් සඳහා වූ ඍජු සහ ඒකායන මාර්ගය මෙයයි. “ ඔබේ නාගරික වටපිටාව සිහිපත් කරන්න. එය විඳිමින් සතුටු වන්න.

(2010.09.22 වැනිදා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද අනුෂ්කා ප්‍රනාන්දු පුල්ලේගේ The Urban Elements ලිපියේ පරිවර්තනයකි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.