Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ග්‍රන්ථ විවේචන

බුදු හිමි දුටිමි

මෙම කෘතියේ කතුවරයා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වන පන්තියේ අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූවෙකි. තම දීර්ඝවූත්, අත්දැකීම් බහුල වූත් වෘත්තීය ජීවිතයේ පරිණත අවදියේදී කතුවරයා තම කෘතිය රචනා කොට ඇති බව පෙනේ. එක දිගට කියවිය හැකි රසවත් රචනා ශෛලීයක්, අප දන්නා එහෙත් ගැඹුරින් කල්පනා නොකළ කරුණු තම රචනයේ දී ඉදිරිපත් කොට ඇති ආකාරය පැසසුම් කටයුතුය.

බුදුසිරිත ආගමික ආශ්චර්ය සම්පන්න අද්භූත සිදුවීම් වලින් පුරවා ජනතාවගෙන් ඈත්කොට තැබීම තුළ භක්තිය වැඩිවන බවට විශ්වාස කළ යුගයක් තිබිණ. එම යුගයේ රචනා වූ කෘතීන් බුදුන්වහන්සේ දේවත්වයට ඔසවා තැබීමට උත්සාහ කොට ඇත. එම උත්සාහයෙන් බුදුන් වහන්සේ මුදවා ගෙන ශිෂ්‍ය කේන්ද්‍රීය ඇසකින් බුදුන් වහන්සේ දැකීමට කතුවරයා සමත් වී ඇත.

බුදුන්වහන්සේගේ උප්පත්තිය, නෙළුම් මල මත ඇවිදීම, උදාන වැකි, නම් තැබීම, වප් මඟුල, සතර පෙර නිමිති, ගිහිගෙය හැර යෑම තමන්ගේ ආදරණීය දරුවා හා බිරිඳ හුදකලා කිරීම පිළිබඳ විවිධ මත සමාජගතව ඇත. මහා වග්ගපාලියේ සීහනාද සූත්‍රයේ බුදුහු මෙසේ වදාරති. “අඹුදරුවන් දෙමාපියන් වැළපෙද්දී මම ගිහි ගෙයින් නික්ම පැවිදිවීමි” මෙවැනි ප්‍රකාශ දරුවාට දිරවා ගැනීමට අමාරු කරුණු ය. ළමා මනස නිහඬවම මේ ගැන ප්‍රශ්න කරනු ඇත. කතුවරයා මේවා දකින්නේ ඉතා ගැඹුරු නුවණින්ය. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කරා මාරු විය යුතු බවට කතුවරයා නගන තර්කය උස් හඬින් මතු කොට ඇත. ගුරුවරයා සිටිය යුත්තේ දරුවාගේ පැත්තේ ය. “රාහු ජාතො බන්ධනං ජාතො” තමන්ගේත් තම බිරිඳගේත් ආදරයේ සංකේතය වන දරුවා බන්ධනයක් වූයේ කෙසේද? ළමා මනස තුළ නිහඬව පැන නඟින කැරැල්ල කතුවරයා චිත්‍රයට නැඟුවා සේ පෙනේ.

කිසාගෝතමියගේ නිබ්බුත පද, මුතුහර තෑගි කිරීම, නළගන රැඟුම, දෙවියන් වාසල දොර විවෘත කිරීම, කන්තක අසු කොටු පවුර මතින් පැනීම, නේරංජනා ගංගා තරණය වැනි බුදු සිරිතේ ප්‍රකට අවස්ථා කතුවරයාගේ දැඩි අවධානයට ලක් වී මොලොක් සිත් සතන් ඒවා ග්‍රහණය කර ගන්නා ආකාරය මැනවින් ප්‍රකට කොට ඇත.

දරුවාගේ සියුම් මනස තුළ පහළ වන ප්‍රශ්න තේරුම් ගෙන බුදුන්වහන්සේගේ මානුෂික චරිතය ප්‍රකට වන ලෙස ඉදිරිපත් කිරීම ගුරුවරයාගේ වගකීම බව කතුවරයා මනාව පැහැදිලි කර ඇත. බුදුන් වහන්සේගේ අධික පිපාසය සන්සිඳුවා ගැනීමට ජලය ටිකක් සෙවීම සහ අවසානයේ බොර වූ වතුර ටිකක්වත් ඉල්ලා ආයාචනය කිරීම වැනි කරුණු ඉදිරිපත් කොට ඇති ආකාරය ඉතාමත් විශිෂ්ටය. මහා පුරුෂ ලක්‍ෂණ සහ ආශ්චර්යන්ගෙන් පුරවා විකෘති කොට තිබූ බුදුන්වහන්සේ එම මිථ්‍යා බන්ධන වලින් මුදවා ගැනීම කතුවරයාගේ චේතනාව වී ඇත. ඔහු එය සාර්ථකව ජය ගෙන ඇත. මෙම කෘතිය ගුරුවරුන්ට අත්පොතක් මෙන්ම සිසුන් සහ සියලු දෙනා නොවරදවාම කියවිය යුතු කෘතියකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.