Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උභතෝකෝටික ප්‍රශ්න මෙණ්ඩකයා

(බැටළුවා) අං දෙකින් එකකට ප්‍රතිමල්ලවයා අසු කරන්නාක් මෙන් වාදියා ද කොන් දෙකක් ඇති තර්කයකින් ප්‍රතිවාදියා හසු කරන ප්‍රශ්න යන අර්ථයෙන් උභතෝකෝටික ප්‍රශ්න සඳහා මෙණ්ඩක පඤ්හ යන නමද භාවිත කරයි.

බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර ඇති උභතෝකෝටික ප්‍රශ්න -

පෙර කර්ම නිසාම සත්වයෝ සුවදුක් විඳිත් නම් නිගණ්ඨයෝ පෙර කර්ම කළ තැනත්තෝ ය. ඒ නිසා ඔවුහු ගැරහිය යුත්තෝ ය. එය එසේ නොවේනම් ඒත් නිගණ්ඨයෝ ගැරහිය යුත්තෝ ය. ඔවුන් කරන දුෂ්කර තපස නිෂ්ඵල ව්‍යයාමයක් හෙයිනි.

නිගණ්ඨනාථපුත්තගේ උභතෝකෝටික ප්‍රශ්න -

දිනක් මොහු අභය රාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසන ලෙස කියා තිබේ. තථාගතයන් වහන්සේ අනුන්ට අපි‍්‍රය වචන කතා කරන්නෙහිද? “එසේය” යැයි පිළිතුර දුනහොත් එවිට පෘථග්ජනයා හා තථාගතයන් වහන්සේගේ ඇති වෙනස කිමෙක්දැයි අසන්න.” අනුන්ට අපි‍්‍රය වචන කතා නොකරන බව කීවොත් දෙව්දතුන් ගැන ‘අපායි කො දේවදත්තො, නෙරෙයිකො, කප්පට්ඨො, අතෙ කිච්ඡො’ යැයි ප්‍රකාශ කර ඇති බැවින් දෙව්දතුන් කුපිත විය. එය අපි‍්‍රය වචන නොවේදැයි අසන්න.

බුදුරජාණන් වහන්සේගේ පිළිතුර -

මෙහිලා ඒකාන්ත නැත.

බුදුරජාණන් වහන්සේ - “ඔබගේ ඇකයේ සිටින දරුවාගේ මුඛයේ කැට කැබැල්ලක් හිර වුවහොත් ඔබ කුමක් කරන්නේද?”

අභයරාජ කුමාරයා - “එය ලේ ගලද්දී වුව ඇද දමන්නෙමි”

එසේ නම් සත්වයන් කෙරේ අනුකම්පාව ඇති බැවින් යම් වචනයක් අනුන්ට අපි‍්‍රය වූවත් එය සත්‍ය නම් අර්ථ සංගිනි නම් තථාගත තෙමේ සුදුසු කල එය ප්‍රකාශ කරන්නේ්ය, යනුවෙන් නිගණ්ඨයන්ගේ උභතෝකෝටික ප්‍රශ්නය විසර්ජනය කර ඇත.

මිලිදු රජුගේ උභතෝකෝටික ප්‍රශ්නය -

බුදුරජාණන් වහන්සේ පෙර සර්වඥ වූයේ නම් දෙව්දතුන්ගේ ස්වාභාවය කල්තියාම දැනගත යුතුය. දෙව්දතුන් මහණ කිරීම නිසා ඔහුටත් බුදු සසුනටත් විනාශයක් විය. එම නිසා එය බුදුන් කල්තියා දැන නැත. එබැවින් බුදුරජාණන් වහන්සේ අසර්වඥය.

කල්තියා දැන ගත්තේ නම් දෙව්දත් වරදට වැටුණු බැවින් බුදුරජාණන් වහන්සේ අකාරුණික විය. මේ නිසා කාරුණිකෝ බුද්ධො යන්න වැරදිය. බුදුරජාණන් වහන්සේ අසර්වඥය.

නාගසේන හිමියන් දුන් පිළිතුර -

දෙව්දතුන් මහණ නොවුණි නම් ඔහුටත් ලෝකයාටත් විශාල විනාශයක් වන්නට ඉඩ තිබුණි. ඒ බව දැන ඔහු මහණ කළ බැවින් බුදුරජාණන් වහන්සේ සර්වඥ වේ. ඔහු කලක් ගුණ දහම් පිරීය. අවසානයේ දී තම වරද පෙනී ගියේ ය. ඒ නිසා කලකට පසුව හෝ ගොඩඒමක් වේ. මහණ නූනා නම් එසේ නොවන්නේ ය. පාපවේෂ අඩුකිරීමට මහණ කළ බැවින් බුදුරජාණන් වහන්සේ කාරුණික වූහ. එබැවින් සර්වඥය.

අපරදිග උභතෝකෝටික ප්‍රශ්න -

කාලිෆප්ඕමර් ඊජීප්තුව දිනාගත් පසු ඇලෙක්සැණ්ඩියානු පුස්තකාලයට ගොස් මෙසේ ප්‍රකාශ කර තිබේ.

මෙහි තිබෙන පොත්වල ඇතුළත් වන්නේ කුරානයට සමාන ධර්මයක් නම් මේ පොත් වැඩිය. නැතහොත් ඒවායෙහි තිබෙන්නේ කුරානයට අසමාන ධර්මයක් නම් ඒවා අන්තරාදායකය.

පුස්තකාලයාධිපතිතුමන්ගේ පිළිතුර -

මේ පොත්වල ඇත්තේ කුරානයට සමාන ධර්මයක් නම් ඒවා අනතුරුදායක නොවේ. නැතහොත් එහි තිබෙන්නේ කුරානයට අසමාන ධර්මයක් නම් ඒවා වැඩිද නොවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.