Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා
සම්බුද්ධස්ස
ඉධ වස්සං වසිස්සාමි
ඉධ හේමන්ත ගිම්හිසු
ඉති බාලෝ විචිසින්නෙති
අන්තරායං න බුජ්ක්‍ධතී ති

පින්වතුනි!

අද මා මාතෘකාව වශයෙන් මේ ධර්ම දේශනාවට තබා ගන්නේ ධම්මපදයේ විසිවන වග්ගය වන මග්ග වර්ගයේ දාහතරවන ගාථාවයි.

රජගහනුවර ‘මහධන’ නමින් පොහොසත් වෙළෙන්දෙක් වාසය කළා. මොහු සතුව විශාල ධනයක් තිබූ නිසයි ඒ නම යෙදුනේ. මේ වෙළෙන්දා ගැල් (කරත්ත) පන්සියයක නොයෙක් වටිනා බඩු පුරවා ගෙන රටින් රට නගරයෙන් නගරයට යමින් වෙළඳාම් කරනවා. සියලුම භාණ්ඩ අලෙවි කරගෙනයි මොහු ගමට ආපසු යන්නේ. සමහරවිට මේ සඳහා මාස ගණන් ගත වෙනවා. ඔය අතරවාරයේ දී බුදුහාමුදුරුවෝ ද වරින්වර හමුවෙනවා. බණ අසන්නත් යනවා. දන්පැන් පූජා කිරීමත් සිදුවෙනවා. ඒනිසාම මේ වෙළෙන්දා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ කුළුපග දායකයෙක් බවටද පත්වුණා.

එක් දවසක් මේ වෙළෙන්දා කරත්ත පන්සියයේ බඩු පටවාගෙන තම ගෝල පිරිසත් සමඟ රජගහනුවර සිට සැවැත්නුවර හරහා වෙළඳාමේ යාමට ගමන් ආරම්භ කළා. හවස් වනවිට සැවැත්නුවරට ආවා. මේ නුවරින් ගලාගෙන යන ගංගාවේ ජලය තරමක් වැඩි වී තිබූ හෙයින්ද රෑ බෝවීමට ආසන්න වී තිබූ හෙයින් ද ගඟින් එතරවීමට නොහැකිව එතැන කඳවුරක් බඳීන ලෙස තම අතවැසි පිරිසට නියම කොට පසුදින කළයුතු කටයුතු ගැන සිත සිතා සිටිනාතර ඊට තරමක් දුරින් බුදුරදුන් හා අනඳමහ තෙරුන් වැඩම කළා. වෙළෙන්දා කල්පනාවේ නිමග්නව සිටි හෙයින් ඒ දෙනමගේ් වැඩම කරවීම දුටුවේ නැහැ.

මෙදිනම අලුයම මහාකරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරන බුදුරදුන්ට මේ වෙළෙන්දා තව දින කිහිපයකින් මරණයට පත්වන බවත්, ඒ බව නොදැන කරත්තවල බඩු පුරවාගෙන සැවැත්නුවර හරහා වෙළදාමේ යාමට නිවසින් පිටත්වූ බවත් බුදු නුවණට පෙනුනා. මේ කාරණය අර වෙළෙන්දා දුටුවිට සිහියට නැගුණු බුදුරදුන් ‘ආනන්දය මේ මහධන වෙළෙන්දා සැදැහැ ඇත්තෙකි. මොහුට ඇති දිවි අනතුර නොදැන වෙළෙදාමේ ඇවිත් සිටී’ යැයි වදාළා. ආනන්ද තෙරුන්ද ස්වාමීනි! කුමක්ද මොහුට අනතුර යැයි පෙරළා ප්‍රශ්න කළ අතර ‘ආනන්දය මොහු සත් දිනකට වඩා ජීවත්වීමට ආයුෂ නැත්තේ යැයි’ පිළිතුරු දුන්නා. ආනන්ද තෙරුන්ද ‘ස්වාමීනි එසේනම් ඒ බව වෙළෙන්දාට පැවසීම සුදුසු නොවේදැයි’ බුදුරජුන්ගෙන් විමසූවිට එහි වරදක් නොමැති බව බුදුරදුන්ගේ පිළිතුර වුණා.

එයින් සතුටුව ආනන්ද මහ තෙරුන් වෙළෙන්දා සමීපයට ගොස් තොරතුරු විමසුවා. ‘ස්වාමිනී ගෙගහි ජලය වැඩි හෙයින්ද, රෑ බෝ වූ හෙයින්ද, මෙතැන කඳවුරු බැඳගතිමි. දැන් වස් කළ එළඹි ඇති හෙයින් ගංවතුර අඩු නොවන බව දැන වස් හාරමස මෙහි නැවතී වෙළෙදාම් කිරීමට ඉටා ගතිමි’යි වෙළෙන්දා පිළිතුරු දුන්නා.

‘හොඳයි වස් කාලය නිමවූවත් බඩු විකුණා නිම නොවුණහොත්’ යැයි වෙළෙන්දාගෙන් යළිදු ප්‍රශ්න කළ විට ‘ස්වාමීනි මේ කරත්තවල හේමන්ත, ගිම්හාන වස්සාන යන ඕනෑම සෘතුවකට වුවමනා බඩුමුට්ටු ඇත. මා ඉතිරි කාලයේත් හැකිනම් මෙහිම වසන්නෙමියි’ කීවා. වෙළෙන්දාගේ මේ කථාව අසා ‘වෙළෙඳාණෙනි ජීවත්වීමේ නියමය නොදන්නෙහි ද ඔබේ දිවියට අනතුරක් ඇත. ඔබ සත්දිනකට වඩා ජීවත් නොවන්නේ’ යැයි ආනන්ද තෙරුන් ප්‍රකාශ කළෙන් වෙළෙන්දා ආනන්ද තෙරුන් සමඟ එවෙලේම මෙතෙරට ගොස් බුදුරදුන් හමුවී තමනට අනුකම්පා පිණිස සතියක් මුළුල්ලේ මහසඟ පිරිස සමඟ වෙහෙරේ වැඩ වසන ලෙස ආරාධනා කළා. ඉන්පසු සතියක් ම දන් පැන් පුදා බණ අසා, ගිලන් උපස්ථානාදිය කර සෝවාන් ඵලයෙහිද පිිහිටියා හ.

පින්වතුනි! මේ වෙළෙන්දාගේ කථාවෙන් අපේ ජීවිතයට ඉතා වැදගත් පණිවිඩ කිහිපයක්ම ලබා දෙනවා. එක් කරුණක් නම් අපි ජීවත්වීමට නොයෙක් කර්මාන්ත කරනවා. සමහරු වෙළෙඳාම ඇතැමෙක් ගොවිතැන, කුලීවැඩ, රාජ්‍ය සේවය, ආදියයි. මේ කුමන කාර්යයක නිරත වී සිටියද මරණින් මතු සසර සැප ලබන දාන සීලාදී පින්කම් කරගත යුතුª බවයි. මේ මහධන වෙළෙන්දා තම වෙළදාම් කරද්දී අතරමඟ දී හමුවන බුදුරදු න් ඇතුළු මහා සංඝයා විෂයෙහි දන් පිරිනැමීම ද සිදුකළා. බණ ඇසුවා. අද අපේ සමහර දෙනාට පංසල් ඒමට වේලාවක් නැහැ. වැඩ කටයුතු සමඟ අවිවේකී බව. පොහෝ දවසටත් වැඩ. නමුත් ඒ සියල්ල අතහැර මරණය ආ කළ ඊට මුහුණ දිය යුතුය. වැඩ ඇතැයි එය කල් දැමිය නොහැක. තවත් කරුණක් නම් අපේ ජීවිතයට ඇති ලොකුම අනතුර වන මරණය කවදා කොතැනකදී කොයි මොහොතේදී ළඟා වේදැයි කිව නොහැකි බවයි. එදිනෙදා ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වන ප්‍රවෘත්ති දෙස විමසිල්ලෙන් සිටින අපට අනතුරු මඟින් සිදුවන ඛේදනීය මරණ දිනකට කිහිපයක්ම අසන්නට දකින්නට ලැබේ. ඒ කිසිවෙකුත් මරණය දැන දැනම ගිය අය නොවේ. එසේ දැන සිටියා නම් ඇතැම්විට තමා යාමට සූදානම් වූ ගමන නො යනු නොඅනුමානය.මරණය පිළිබඳව බුදුරජාණන්වහන්සේ ඉතා පැහැදිලි ලෙස විග්‍රහයක් කොට තිබේ. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛ්‍ය, උපච්ඡේදක, වශයෙන් එය සතරාකර වේ. ලොව හැම ජීවියෙකුටම මුහුණදීමට සිදුවෙන මරණය මේ සතරින් එකකට යටත්ව සිදුවේ. මීට අමතරව අකාල මරණ නමින් තවත් සොළොස් ආකාරයකින් සත්ත්වයාට මරණය ළඟා වේ.

ජිගච්ඡාය පිපාසාය
අහිදට්ඨා විසේන ච
අග්ගී උදක සත්ථේහි
අකාලේ තත්‍ථ මීයති

වාතේන පිත්තේන සෙම්හේන
සන්නිපාතේ උතූනි ච
විසමෝපක්කම කම්මේහි
අකාලේ තත්‍ථ මීයති

බඩගින්නෙන්, පිපාසයෙන්, සර්ප විසෙන්, වසවිස වලින්, ගින්නෙන්, ජලයෙන්, අවි ආයුධවලින්, වාතයෙන්, පිතෙන්, සෙමෙන්, තුන්දොස් කිපීමෙන්, සෘතු විපර්යාසයෙන් විෂම උපක්‍රම මඟින්, කර්මයෙන් ආදී වශයෙන් ඒ සොළොස් ආකාරයයි. එහෙත් අප ජීවත්විය යුතුය. ජීවත්වෙමින් ජීවිතය පිළිබඳව යථාවබෝධයෙන් සසර ගමනට අවශ්‍ය පුණ්‍ය ශක්තීන් රැස්කර ගත යුතුය. එබඳු සත්පුරුෂයා මහධන වෙළෙන්දා මෙන් මරණය හමුවේ බිය නොවේ. තැති නොගනී. සිහිමුලා නොවේ. නොබියව ඊට සතුටින් මුහුණ දෙයි. සියලු දෙනාම මරණ නමැති අනතුර හඳුනාගෙන ජීවත්වීමට අදිටන් කර ගනිමු.

සැමට තෙරුවන් සරණයි!

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.