Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැරැණි භාරතයේ පුදබිම්

දම් සභා මණ්ඩපය

බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා පිළිබඳව සඳහන් කරන අවස්ථා වලදී ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපය ද සඳහන් වන පුද බිමකි. මූලගන්ධ කුටි විහාරය අසළ පිහිටි මෙම දම්සභා මණ්ඩපය මෙකල කොන්ක්‍රීට් කණු මත ඉදිකළ වහළයකින් යුක්තව දැකිය හැකිය.එම පියස්ස යට පුරාණ ගඩොල් වලින් සාදන ලද වේදිකාවකි. එය ධර්මාසනයක් සේ සැළකේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන යසකුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මුණගැසුණේ ද මෙහිදී ය. 1956 වර්ෂයට යෙදුණු බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ශ්‍රී ජවහර්ලාල්් නේරු තුමා විසින් මෙම ධර්මාසනය සංරක්‍ෂණය කිරීම පිණිස වහලක් ඉදිකරවන ලදී.

සාරානාත් හි පුරාවිද්‍යා කෞතුකාගාරය

සාරානාත් පුදබිමට ගිය පසුව ඔබට ඉතා වැදගත් වූ පුරා වස්තු රැසක්ම (මෙම පුදබිමෙන් හමු වූ) මෙම කෞතුකාගාරයේ දී දැකගත හැකිය. අසෝක ස්තම්භයේ කුලුනු හිසද මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. ඒ පිළිබඳ අපි මීට ඉහත විස්තර කෙළෙමු.

ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුක්ත වූ හිඳි පිළීමය

සාරානාත්හි පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රධාන ශාලාවෙහි ඉහතින් සඳහන් කළ අසෝක ස්තම්භ කුලුනු හිස දක්නට ලැබේ. මෙම බුදු පිළිමය ලොව ඉතා ප්‍රකට බුදු පිළිමයකි. අපේ රටේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සමාධි පිළිමය මෙන්ම ලොව ප්‍රකට වූ සාරානාත්හි හිදි බුදු පිළිමය බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්න සූත්‍රය දේශනා කරන ආකාරය නිරූපණය කරන බුද්ධ ප්‍රතිමාවකි.

බුද්ධ ප්‍රතිමාවන්හි දක්නට ඇති මුද්‍රා අතර ධර්මචක්‍ර නමින් හැඳින්වෙන මුද්‍රාව බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා විලාශය සංකේතවත් කරන්නකි. ආසියාවේ විවිධ රටවල දක්නට ලැබෙන මෙම මුද්‍රාව සහිත ප්‍රතිමාවන්ගේ විකාශනයෙන් පෙනී යන්නේ එය ප්‍රතිමා ශිල්පීන් අතර ජනපි‍්‍රය මුද්‍රාවක්ව පැවති බවයි. ධර්මචක්‍ර මුද්‍රාව හඳුනාගත හැකි ප්‍රධාන ලක්‍ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ හා මාපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීමයි. සුප්‍රසිද්ධ සාරානාත් බුද්ධප්‍රතිමාවේ දක්නට ඇත්තේ මේ ආකාරයටය. (බුදු පිළිමය, මුද්‍රා, හා ආසන – 1999 – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි – පි. 31) මෙම බුදුපිළිමය අයත් වන්නේ භාරත දේශයේ බෞද්ධ කලා ශිල්ප මෙන්ම සාහිත්‍යයේ ද ස්වර්ණමය යුගය වූ ගුප්තරාජ සමයට ය. ඒ අනුව ක්‍රි.ව.5 – 6 සියවස් වලට මෙම බුදුපිළිමය අයත් වේ. මෙම ප්‍රතිමාවේ පහතින් ඇති රූප පහක හිස්මුඩු කොට ඇත. එයින් පස්වග මහනුන් නිරූපණය වෙතැයි ද අනික් රූප දෙකෙන් දැක්වෙන්නේ මෙම මූර්තිය කරවූවන්ගේ යැයි ද සමහර විද්වතුන්ගේ අදහසකි.

මෙම බුදුපිළිමයේ සංයමයකින් යුක්ත බවක් මෙන්ම උපශාන්ත භාවයක් ද මන්දස්මිතයක් (මඳ සිනහව) ද නිරූපිතය. හිස වටා දර්ශනීය ප්‍රභා වලල්ලක්ද කැටයම් කර ඇත. මෙම සාරානාත් කෞතුකාගාරයෙහි බෝධිසත්ව පිළිම හා තවත් බොහෝ මූර්ති දක්නට ලැබේ. මේවා අසෝක කනිෂ්ක හා ගුප්ත රාජ යුගවලට අයත් වේ.

සාරානාත්හි නව මූලගන්ධ කුටි විහාරය

නවමූලගන්ධකුටි විහාරය පිළිබඳ සඳහන් කිරීමට පළමුව එහි නිර්මාතෘවරයාණන් වූ අනගාරික ධර්මපාලතුමා විසින් සාරානාත් පුදබිම බෞද්ධ ජනතාවට ලබාදීම සඳහා ඉටු කළ මෙහෙය මෙහිදී සංක්‍ෂෙපයෙන් හෝ සිහිපත් කිරීම යුතුකමකි.

අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට සාරානාත් පුදබිම පමණක් නොව බුද්ධගයාව ඇතුළු භාරත දේශයේ පුදබිම් සියල්ලම බෞද්ධ ජනතාවට අහිමිවීමට ඉඩ තිබුණි. අසෝක රජතුමාට පසුව මෙම පුද බිම් හඳුනාගැනීමටත් බෞද්ධ ජනතාවගේ උරුමය සුරැකීමටත් දිවිහිමියෙන් ක්‍රියා කළ බෝධිසත්ව ගුණේපේත අනගාරික ධර්මපාලතුමා නිසා අපට අද මෙම පුදබිම් වැඳ පුදා ගැනීමට අවස්ථා සැලසී ඇත.

1891 දී අනගාරික ධර්මපාලතුමා මෙම සාරානාත් පුදබිමට පැමිණෙන විට මේ ප්‍රදේශයම මහා වනාන්තරයෙන් වැසී තිබුණි. එමෙන්ම මෙහි වාසය කළ සාර් නම් ජනකොටසක් විසින් මේ ප්‍රදේශයේ ඌරන් ඇති කිරීම දක්නට ලැබුණි. මෙම පුදබිමෙහි ආරාමය පළමුව අනගාරික ධර්මපාලතුමා විවිධ දුෂ්කරතා මධ්‍යයේ මිලදී ගත්තේ සිය මෑණියන් වූ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනී විසින් දෙන ලද මුදලකිනි.

(BUDDHIST SRINES IN INDIA – 1948 DEVARRIYA VALISINHA P – 81 )
 

ඉන්දියාවේ මහාබෝධි සමාගමේ ආරම්භකයා වූ අනගාරික ධර්මපාලතුමා මෙසේ සාරානාත් සංරක්‍ෂණ කටයුතු සඳහා පදනම දැමුවේ 1891 වර්ෂයේදී ය. මෙම ප්‍රදේශය ඉහත සඳහන් ලෙසින් මිලදී ගැනීමෙන් පසුව 1922 වර්ෂයේ නොවැම්බර් මස සාරානාත්හි නව මූලගන්ධකුටි විහාරය සෑදීමට මුල්ගල තබන ලදී. 1931 වර්ෂයේ දී මෙම නව මූලගන්ධකුටි විහාරය විවෘත කරන අවස්ථාවේ දී අසිරිමත් සිදුවීමක් සිදුවිය. ශ්‍රීමත් ජෝන් මාෂල් මහතා විසින් (1913 – 1914) පංජාබ්හි තක්‍ෂිලා පුදබිමේ කැනීමක් කිරීමේ දී හමු වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා නව මූලගන්ධකුටි විහාරයේ තැන්පත් කිරීම පිණිස ඉන්දියානු රජය විසින් අනගාරික ධර්මපාලතුමාට (මහා බෝධි සමාගමට) පරිත්‍යාග කරන ලදී.

නව මූලගන්ධකුටි විහාරයට එම නාමය තැබීමට හේතු වූ කරුණ ද ඉතාමත් රසවත් කතාවකි. මූලගන්ධකුටි යන විහාර නාමය භාවිතා කළේ බුදුරජාණන් වහන්සේ සාරානාත්හි වැඩවාසය කළ විහාරය සඳහා ය. සාරානාත් පුදබිම පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන ලද අවස්ථාවේ දී එහි තිබී මූලගන්ධකුටි යන නාමය ලියන ලද ශිලා ලේඛනයක් හමු විය. ඒ අනුව මේ නව විහාරයට ද මූලගන්ධකුටි යන නාමය යෙදුවේ අනගාරික ධර්මපාලතුමාගේ අදහසක් අනුව ය. මෙය ගොඩනැඟීම සඳහා ඒකාලයේ හැටියට රුපියල් එක්ලක්‍ෂ විසිදහසක මුදලක් වැය විය. ඒ අරමුදල් සපයාදීමට ආධාර කළේ හෙනලුලුහි මාරි පොස්ටර් මැතිණිය විසිනි. මූලගන්ධකුටි විහාරයෙහි 1921 දී ශ්‍රී මහා බෝධි අංකුර තුනක් ද අනගාරික ධර්මපාලතුමා විසින් රෝපණය කරන ලදී. ඒවා ලබා ගත්තේ අනුරාධපුරේ මහමෙවුනා උයනේ උඩමළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙනි.

නව මූලගන්ධකුටි විහාරයෙහි සාරානාත්හි ප්‍රකට ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුක්ත බුදු පිළිමයේ අනුරුවක් ද මෙහි වඩා හිඳුවා තිබේ. බුද්ධගයාවේ මහාබෝධි විහාරය මෙන් මෙය ද ඉතා විශාල වූවකි. අනාගාරික ධර්මපාලතුමාගේ අවසන් කාලයේ දී සිරිදේවමිත්ත ධර්මපාල නමින් පැවිදිව වැඩ වාසය කළේ ද මෙහි ය. අනගාරික ධර්මපාලතුමා පිළිබඳ වූ පොතපත හා විස්තර දැක ගැනීමට මෙහිදී හැකි ය. අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සමාධිය ද මේ අසළ පිහිටුවා තිබේ.

භාරත දේශයේ බෞද්ධ පුදබිම් බෞද්ධ ජනතාවට නැවත දැකගැනීමේ වරම ලබා දුන් අනගාරික ධර්මපාලතුමා අප නිති සිහිපත් කළයුතු වන්නේ ය.

මතු සම්බන්ධයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.