Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙත් පිරිතක් වන් වීරසූරියකන්ද "සෙත්වෙහෙර" මහා විහාරය

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, පස්යාල, වීරසූරිය කන්ද ග්‍රාමයේ, ‘සෙත් වෙහෙර’ මහා විහාරය සියනෑ කෝරළයේ, උඩුගහ පත්තුවේ ඇති පූජනීය පිංබිමකි. වීරසූරියකන්ද, ගම්පියසේ සොඳුරු බිම්කඩක පිහිටි ‘සෙත් වෙහෙර’ දුටු දුටුවන් ගේ සිත් සතන් නිවා සනහාලයි .


සෑ රදුන්

ක්‍රි.ව. 1917 කාලවකවානුව දක්වා අතීතයට දිවයන ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය මුල් කාලයේ ‘ශ්‍රී බෝධිරුක්ඛාරාමය’ නමින් හැඳින්විය. ඒ මෙම විහාර භූමියේ විහාරයක් ගොඩනැගෙන්නටත් පෙර, ඈත අතීතයේ සිටම මෙහි කුඩා බෝධීන්වහන්සේ නමක් වැඩසිටි නිසා ය. මෙම විහාරස්ථානයේ ආභිධම්මාකාචාර්ය බටේපොල රතනපාල මාහිමිපාණන් වහන්සේ, මේ බෝමැඩ ඇසුරෙහි වරක් වස් කාලය ගතකොට, මෙහි විහාරස්ථානයක් ගොඩනැඟීමට අදිටන් කළහ. ඉනික්බිති කුඩා පොල්අතු පැලකින් ඇරඹි මෙම විහාරස්ථානය, තත් ශිෂ්‍ය තාබුගල ගුණානන්ද, යටවක ශ්‍රී නන්දාරාම යන මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන්, ප්‍රදේශවාසී සුපින්වතුන්ගේ ඉඩම් ආදී පරිත්‍යාගයන්ගෙන්, ශ්‍රම දායකත්වයෙන්, කුඩා විහාර මන්දිරයක්, ධර්ම ශාලාවක්, කුඩා සංඝාවාසයක් ආදී විහාරාංගයන්ගෙන් සමන්විත පුණ්‍ය භූමියක් බවට පත්කිරීමට මඟ පෑදිණි. ගිහි පැවිදි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ වාස්තු විද්‍යාව පිළිබඳ හසල බුද්ධිමතකු වූ යටවක ශ්‍රී නන්දාරාම මාහිමිපාණන් වහන්සේගේ ආගමනයත් සමඟ මෙම විහාරස්ථානයෙන් සුවිසල් ආගමික, සමාජීය මෙහෙවරක් ඇරඹිණි.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව නව ප්‍රබෝධයක් ඇතිවූයේ, උන්වහන්සේගේ ශිෂ්‍ය අමිතිරිගල පාලිතධම්ම හිමිපාණන් වහන්සේ විහාරාධිපතීන් වහන්සේ වීමෙන් පසුවය. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ශිෂ්‍ය පාලකවරයා වශයෙන් ද, වීරසූරියකන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන්ද සුවිසල් මෙහෙයක් සිදුකළ උන්වහන්සේ බුදුදහම, ඡ්‍යොතිෂය, පුරා විද්‍යාව, ගුප්ත විද්‍යාව, අධිමානසිකත්වය ආදී විවිධ විෂයන් ගැඹුරින් අධ්‍යයනය කර ඇති දක්‍ෂ යතිවරයන් වහන්සේ කෙනෙකි.

අමිතිරිගල පාලිත ධම්ම හිමිපාණන් මෙම විහාරස්ථානයට ආලෝකයක් බඳුය. විහාරාධිපති සමිඳුන්ගේ ධෛර්යය හා කැපවීමෙන්, ගම්වාසී දායකයින්ට බරක් නොවන අයුරින් ඔවුන්ගේ සහයෝගය ලබමින්, අද වන විට මෙම විහාරස්ථානය දර්ශනීය චෛත්‍යරාජයාණන් වහන්සේ, අලංකාර බුද්ධ මන්දිරය, ප්‍රකාර සහිත බෝ සමිඳු, අටවිසි බුදු මැදුර, වෛද්‍ය ශාලා, දෙමහල් සංඝාවාස, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාලය, ධර්ම ශාලා, සිරිපතුල් මන්දිරය, දාන ශාලා, විෂ්ණු දෙවොල, මනහර විහාර උද්‍යාන ආදී සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත අංග සම්පූර්ණ, විහාරස්ථානයක් බවට පත්ව ඇත.


විහාරාධිපති අමිතිරිගල පාලිතධම්ම හිමි


පැරැණි බෝධීන් වහන්සේ

විහාර ද්වාරයෙන් ඇතුල්වන්නන්ගේ සන්තානගත ප්‍රශ්න ගැටලු සෝ සුසුම් මොහොතින් අමතක වී සිත් සතන් නිවා සැනහෙන සුළු ය. අමිතිරිගල පාලිත ධම්ම සමිඳුන් වෙත සරණපතා දෛනිකව පැමිණෙන ශතාදික අසරණ රෝගීන්ට, නොයෙක් ප්‍රශ්න ගැටලුවලින් පීඩිත ජනයාට සෙත් වෙහෙරෙන් ලැබෙනුයේ අසීමිත සෙතකි. ‘සෙත් වෙහෙර නම් හැබෑවටම සෙත් වෙහෙරක්’ යනුවෙන් මෙහි පැමිණෙන සැම මුවින්ම කියවෙනුයේ ඒ නිසාම ය.

වීරසූරියකන්ද ‘සෙත්වෙහෙර’ විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසල, විහාරස්ථ දායක සභාව, මිගාර මාතා තරුණ කාන්තා පදනම, එක්සත් තරුණ බෞද්ධ සංගමය ආදී විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයාතන මගින් ද වීරසූරියකන්ද බෝමුණුව ගම්මාන ද්විත්වයට පමණක් නොව මුළු මහත් සමාජයටම අමිල මෙහෙවරක් සිදු කරයි.

වීරසූරියකන්ද සෙත් වෙහෙර සිරිලක සාදුජන සකල බොදුනුවන්ට මෙන්ම දැවෙන සමාජයට සෙත් පිරිතක් වැනි ය.


විහාර මන්දිරය

 

 

 

 

 


දෙමහල් සංඝාවාසය

දාන ශාලාව සහ ධර්ම මන්දිරය

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.