Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්‍ර ශ්‍රාවක ධාතු පින්කම

බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමටත් සියැසින් දැක බලා ගැනීමටත් සැදැහැවත් බෞද්ධයන් දක්වනුයේද අසීමිත භක්තියකි. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලා දෙනම වූ සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ පූජනීයත්වයෙන් වන්දනාමාන කිරීමේ භාග්‍යය ද ලක්වාසි බෞද්ධයන්ට මීට වසර පනස් පහකට පමණ පෙර සිටම උදාවී ඇත. බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේ මහත් භක්තියෙන් හා ගෞරවයෙන් වැඳුම් පිදුුම් කොට පින් රැස් කර ගැනීමේ දුර්ලභ පුණ්‍ය කටයුත්තට දායක වීමේ භාග්‍යය ද දැන් ලක්වාසීන්ට උදාවී ඇත.

සසම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට බෞද්ධයන් දක්වනුයේ අසීමිත ගෞරවයකි. සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර පහන් සංවේගය ඇතිකර ගැනීම තරම් උත්තම සතුටක් ලෝකවාසි බෞද්ධයන්ට වෙනත් නැති තරම්ය. මේ නිසාම සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමට නොහැකි වුවද එම ධාතුන්වහන්සේ නිධන්කොට ඇති ස්ථානය වෙත වැදුම් පිදුම් කිරීමට සැදැහැවත්හු උත්සුක වනුයේ අසීමිත ශ්‍රද්ධාවකිනි.

ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු අතිපූජනීයත්වයට පත් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමටත් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන අවස්ථාවකදී දන්ත ධාතුන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට බැතිමතුන් දක්වන අසීමිත උත්සාහය සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට තිබෙන අසීමිත භක්තිය සහ ගෞරවය ප්‍රකට කරයි.

බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමටත් සියැසින් දැක බලා ගැනීමටත් සැදැහැවත් බෞද්ධයන් දක්වනුයේද අසීමිත භක්තියකි. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලා දෙනම වූ සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ පූජනීයත්වයෙන් වන්දනාමාන කිරීමේ භාග්‍යයද ලක්වාසි බෞද්ධයන්ට මීට වසර පනස් පහකට පමණ පෙර සිටම උදාවී ඇත. බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේ මහත් භක්තියෙන් හා ගෞරවයෙන් වැදුම් පිදුුම් කොට පින් රැස් කර ගැනීමේ දුර්ලභ පුණ්‍ය කටයුත්තට දායක වීමේ භාග්‍යයද දැන් ලක්වාසීන්ට උදාවී ඇත.

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් කල්‍යාණ මිත්‍රත්වයෙන් පාරමී දම් පුරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව රහත් ඵලයට පත්වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන් සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු වූ අතර ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ධර්ම සේනාධිපති වූහ.

මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත් සවු වූ අතර ඍද්ධි බලයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ධර්ම පුරෝහිත වූහ. මෙම රහතන් වහන්සේ දෙනමගේ ශාරිරික ධාතුන් වහන්සේ 1851 දී ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කිනිංහැම් පුරා විද්‍යාඥයා විසින් ඉන්දියාවේ සාංචි ස්තුපයේ සිදුකරන ලද කැණීම් වලදී සොයාගනු ලැබීය. ඉන් කොටසක් ලංකා ආණ්ඩුවේ සහ මහාබෝධි සංගමයේ ඉල්ලීමකට අනුව 1955 මාර්තු 19 වැනිදා ලංකාවට වැඩම කරවා කොළඹ 10 මහාබෝධි අග්‍රශ්‍රාවක විහාර මන්දිරයේ තැන්පත් කැරිණි.

ඉන්දියාවේ සාංචි ස්තූපයෙන් සොයා ගන්නා ලද සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ශ්‍රී ලංකාවේද තවත් කොටසක් මියන්මාරයේ ස්වේතගෝන් විහාරයේද අනෙක් කොටස ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේද තැන්පත් කොට ඇත. වසරකට වරක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ තැන්පත් කොට ඇති මෙම ධාතුන් වහන්සේ වැඩ සිටින කුටියෙන් එළියට වඩමවා සැදැහැවතුන්ට සියැසින් දැක වන්දනාමාන කිරීමේ භාග්‍යයද උදාකර දී ඇත. ඒ අනුව සාංචි විහාරයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ සෑම වසරකම නොවැම්බර් මාසයේ අන්තිම සතියේ වැඩ සිටින කුටියෙන් එළියට වඩම්මවා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ.

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්ද පැවැත්වෙන එම ධාතු ප්‍රදර්ශනය සඳහා සෑම වසරකම විශාල පිරිසක් මේ සඳහා එක්රැස් වේ.

කොළඹ මරදානේ පිහිටි අග්‍රශ්‍රාවක විහාරයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ සෑම වසරකම වෙසක් පුන් පොහෝ දිනයේ වැඩ සිටින කුටියෙන් එළියට වඩමවා මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කෙරෙන අතර එහිදී අතිවිශාල ජනතාවක් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ සියැ සින් දැක වන්දනා කිරීම සෑම වසරකම සිදු කෙරේ.

පූජනීයත්වයට පත් අග්‍රශ්‍රාවක විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් දෛනිකව සිදු කෙරෙන තේවා පින්කමට දායක වීමේ භාග්‍යයද ලක්වාසි ජනතාවට උදාවී ඇත.

අග්‍රශ්‍රාවක විහාරාධිපති මහා බෝධී සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ උපදෙස් පරිදි දෛනිකව සිදු කෙරෙන එම තේවාව භාර කෘත්‍යාධිකාරි ලෙස මොණරාගල පඤ්ඤාලංකාර හිමියෝ කටයුතු කරති.

අග්‍රශ්‍රාවක ධාතු පින්කම පිළිබඳ මොණරාගල පඤ්ඤාලංකාර හිමියන් විසින් කරුණු පැහැදිලි කළේ මෙසේය.

මේ පින්කම මහානුභාව සම්පන්න පින්කමක්. පින්කම කරන ආකාරය දකින ඕනෑම කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම භාරගන්න කැමැතියි. වසර පුරාවට තේවා පින්කම නිසි ලෙස කවුරුත් තවම බාරගෙන නොමැති වුවත් ඉදිරි සති දෙකෙන් දෙකට අද වන තුරුත් කිසියම් හෝ පින්වතෙක් ඇවිත් තේවා පින්කම භාරගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. පින්කම දකින අයගේ සිතේ පැහැදීමෙන් ඔවුන් පින්රැස්කර ගන්නවා. මේ පූජාවට සම්බන්ධ කරගන්න හැම පූජා භාණ්ඩයක්ම හේතුවක් ඇතුවයි පූජාවට සම්බන්ධ කරගත්තේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අනෝමදස්සී බුදුරදුන් සමයේ සතියක් මල් පූජා කරමින් තථාගතයන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබේවායි කළ ප්‍රාර්ථනය සිහිපත් කිරීම එක් කරුණක් කර ගනිමින් තමයි රතු නෙළුම් මල් මේ පූජාවට යොදා ගනු ලබන්නෙ. දෛනිකව සිදුකරන මෙම පූජාවට ගතවන කාලය විනාඩි හතළිහයයි. උදේට දවල්ට සවසට ධාතුන් වහන්සේලා උදෙසා තේවාව සිදු කරනවා උදේ පෙරවරු 7.00 ට දවල් පෙරවරු 10.30 ට හා සවස 7.00 ට පුජාව පැවැත්වෙනවා. රතු නෙළුම් මල් මුලික කරගත් පුජාව දැනට සිදු කරන්නෙ සවස තේවා මුරයේදීයි. මල් මූලික කරගනිමින් පවත්වන පූජාව තුළින් කිසිම මුදලක් පන්සලට අපේක්‍ෂා කරන්නේ නෑ.

පින්කම් සඳහා පොල්තෙල් බෝතල් තුනක් හඳුන්කූරු පැකට් එකක්. ඉටිපන්දමක්, රතු නෙළුම් , මල් දෙසියක් පිච්චමල් වට්ටියක්, පස්පංගුව තම්බා ගත් ගිලන්පස ලීටරයක්, බෙහෙත් වර්ග 108 ක් හත්වරක් පෙරාගත් පිරිත් කිරීමට වතුර බෝතලයක් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිරූ වලට පැළැදවීමට සිවුරු දෙකක් අටපිරිකරක්, පස්තෙල් කාලක් පමණ අවශ්‍ය වෙනවා.

නෙළුම් මල් දෙසිය අපි යොදා ගත්තේ ධාතුන් වහන්සේ ලා වැඩසිටින කුටිය අලංකාර ලෙස සකසාලන්නයි. එපමණ ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍යය වෙනවා.

බෙහෙත් වර්ග 108 ක් අඩංගු කළ පූජාව තුළින් අපි අපේක්ෂා කරන්නේ සසර වසන තුරු ලෙඩ රෝග නොසෑදී නිරෝගි භාවයට පත්වේවා යන්නත් ජීවත්වන කාලය පුරාවට ලෙඩදුක් නොසෑදී නිරෝගී සම්පත්තිය උදාවේවා යන්නත් තමයි අප ප්‍රාර්ථනය කරන්නේ.

සූවිසි බුදු ගුණ සජ්ක්‍ධායනා කරමින් විශ්වයේ සිටින සියලු පින්කැමැති දෙවිවරුන්ට ආරාධනා කරමින් පවත්වන මේ තේවා පින්කම සඳහා ඉතාම සීමිත පිරිසක් එකවර සහභාගිවෙනවා නම් වඩාත් හොඳයි. පවුලේම අය වූවොත් වඩාත් හොඳයි. ආගමික ස්ථානයකට සුදුසු ඇඳුමකින් සැරසී පින්කමට පැමිණෙන විට මස් මාංශ අනුභව නොකර තමන්ගේම නිවසේ සිට මේ සඳහා සහභාගි වෙනවා නම් පින්කමෙන් ලැබෙන ආනිසංස බොහොමයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.