Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් පෙන්වාදුන් මාර්ගය නුවණින් විමසා බලා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ කරගෙන ඒ අනුව පිළිවෙත් පුරන්නට කාලාම සූත්‍රය මඟ පෙන්වා දෙයි. එබැවින් සියලු දෙනාගේ වගකීම වන්නේ නිවැරැදි දැක්මක් ඇතිව තම ලෞකික හා ලොකොත්තර අරමුණු කරා ළඟාවීමට උත්සාහ දැරීමය

ලෝකෝත්තර හෝ නිවැරැදි ලෞකික අරමුණක් සාධනය කර ගැනීමට යම් තැනැත්තකු තුළ බලාපොරොත්තුවක් හා අවශ්‍යතාවක් ඇත්නම් එහි පිවිසුම් දොරටුව වන්නේ නිවැරැදි දර්ශනයක් මත පිහිටා ක්‍රියා කිරීමයි. දැක්ම නිවැරැදි නම් තම අරමුණ කරා යන ගමනේදී එළැඹෙන පීඩාකාරී බාධක පමණක් නොව හිතකර ව්‍යාජයෙන් එන බාධක ද ජයගෙන ඉදිරියට යා හැකිවනු ඇත. සාධනය කර ගැනීමට අපේක්ෂා කරන අභිමතාර්ථයන් හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපදාවන් පිළිබඳ දැක්ම වැරැදි සහගත නම් ස්වකීය පරමාර්ථය කරා පැමිණීම කෙසේවත් සිදුවන්නේ නැත.

බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ නෛය¸ාණික ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය බව අපි දනිමු. ශීල සමාධි ප්‍රඥා යන අනුපූර්ව ප්‍රතිපදාවක් ලෙස ත්‍රිශික්ෂාව ක්‍රමානුගත කළත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ව්‍යුහගත කොට ඇත්තේ ප්‍රඥා, ශීල, සමාධි වශයෙන් බව ඉතා පැහැදිලිය. එනම්

සම්මා දිට්ඨි - ප්‍රඥා
සම්මා සංකප්ප - ප්‍රඥා
සම්මා වාචා - ශීල
සම්මා කම්මන්ත - ශීල
සම්මා ආජීව - ශීල
සම්මා වායාම - සමාධි
සම්මා සති - සමාධි
සම්මා සමාධි - සමාධි

යන පිළිවෙළටය.

සත්‍යාවබෝධය පරම නිෂ්ටාව කරගත් බෞද්ධ ප්‍රතිපදාව ශීලයෙන් ආරම්භ වී සමාධියෙන් පරිනතියට පැමිණ ප්‍රඥාවෙන් පරම නිෂ්ටාවට පත්වන බව සත්‍යයකි. එහෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ව්‍යුහගත වන්නේ ප්‍රඥාවට අන්තර්ගත වන මාර්ගාංගවලින් ආරම්භ වීමෙනි. එසේ වන්නේ මක් නිසාදැයි සොයා බැලීම ඉතා වැදගත් ය.

ආර්ය මාර්ගයට පිවිසෙන තැනැත්තා තුළ පළමුවෙන්ම තිබිය යුත්තේ නිවැරැදි දර්ශනයයි. හෙවත් සම්‍යග් දෘෂ්ටිය යි. ඕනෑම ව්‍යාපාරයක යෙදෙන්නෙකුට ඉදිරි දැක්මක් තිබිය හැකිය. එහෙත් තමන්ටත් අනුන්ටත් අවැඩදායක වූ හොඳ නරක ඉක්මවා ගිය ඉදිරි දැක්මක් නම් එය මිථ්‍යාදෘෂ්ටියක් බව කිව යුතුය. සම්මා දිට්ඨිය යනු තමන්ටත් අනුන්ටත්, මෙලොවටත් පරලොවටත් සේම ලෞකික තත්ත්වයටත් ලොකොත්තරභාවයටත් එකසේ වැඩ දායක වන ඉදිරි දැක්මකින් යුතුව නිවැරැදිව කි‍්‍රයා කිරීමයි. මේ සම්‍යග් දර්ශනය ඊට අනතුරුව එන සෑම මාර්ගාංගයක් පිළිබඳවම අදාල වන්නකි. ඉඳීන් දර්ශනය වැරැදී ගියේ නම් එම දර්ශනය පදනම් කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබන සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සාවද්‍ය වීම නියත ලෙසම සිදුවිය හැක්කකි.

සම්මා දිට්ඨිය යනු කුමක්දැයි සච්ච විභංග සූත්‍රයේදී පහදා දෙති. ‘දුකෙඛ ඤාණං - දුක්ඛ සමුදෙය ඤාණං දුක්ඛ නිරෝධෙ ඤාණං දුක්ඛ නිරෝධගාමිණි පටිපදාය ඤාණං ඉදං වුච්චතාවුසො සම්මා දිට්ඨි’.

සසරින් මිදීම හෙවත් නිවන අරමුණු කරගත් භික්ෂුව දකින නිවැරැදි දර්ශනය නම් දුක, දුක හටගැනීමේ හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය යි. මින් පැහැදිලිවන්නේ සංසාර ජීවිතය හා බද්ධ වුණු ජාති ආදි දුක්ඛස්ඛන්ධයකින් තමන් ඇතුළු සත්ත්ව ප්‍රජාව වෙලී සිටින බව නුවණින් දැක නිශ්චය කරගත යුතු බවයි. ලෝකයේ යථාර්ථය වන දුක ගැන හැම ආගමික දර්ශනයකම ඉගැන්වෙන්නේ නැත. බුද්ධ කාලයේ සිටි ෂට් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල පමණක් නොව පසුකාලීන නිර්මාණවාදි ආගම්වල ද මනුෂ්‍ය ජීවිතය දෙස බැලීමට උගන්වන්නේ ආස්වාදනීය ප්‍රපංචයක් ලෙස බව රහසක් නොවේ. යථාර්ථයෙන් බැහැරව ජීවිතය සුඛාස්වාදයක් ලෙස බලන්නේ් නම් ‘දුකින් මිදීමේ’ ඉදිරි ක්‍රියාමාර්ගය නිවැරැදි මාවතක යොමුකළ හැකි නොවේ.

දුක හට ගැනීමේ හේතුව අවිද්‍යාව හා තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා වදාළ සේක. මිනිසුන් දුක් විඳින්නේ ‘දේව කැමැත්තට අනුවය’ කියා හෝ ‘සමාජයේ වරදින්ය’ කියා හෝ වෙනත් වෙනත් යම් හේතුවක් නිසා යැයි නිගමනය කරන්නෝ වෙති. එම ඇතැම් විග්‍රහයන්හි අර්ධ සත්‍යයක් තිබිය හැකි වෙතත් පුද්ගල දුක හේතුව ලබාදී න්‍යායයක් මත සිදුවන බව බුදුරදුන් විස්තර කොට තිබේ. දුක ඇතිවීමේ සැබෑ හේතුව පිළිබඳ සම්‍යක් දර්ශනයක් නැතිව එම හේතුව නිශේධනය කිරීමේ ප්‍රතිපදාව ඵලදායක නොවේ.

දුක නැති කළහැකි බවත් දුක නැති කිරීමෙන් ලබන නිර්වාණ සංඛ්‍යාත සුඛයක් ඇති බවක් චතුරාර්ය සත්‍ය විග්‍රහයේ එයි. දුක යනු දේව කැමැත්ත හෝ නියතියක් හෝ සමාජ විද්‍යාත්මක ඵලයක් යයි නිර්වචනය කරන්නා ඉන් විමුක්තිවීමක් ගැන බලාපොරොත්තු ඇතිකර නොගනී. උණුසුමක් ඇත්නම් සිසිලසක් ද ඇති බවක් ගින්නක් ඇත්නම් එය නිවන ජලයක්ද ඇති බවත් ආදි වශයෙන් සුමේධ තාපසතුමන් නිවනක් ගැන විතකී කරන්නේ නියත විවරණ ලබන්නටත් පෙරය.

එකී නිවන සාක්ෂාත් කරගත හැකි මාර්ගය වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය මාර්ගාංග ශිල සමාධි ප්‍රඥා යන අනුපූර්ව ශික්ෂාවක් තුළ ව්‍යුහගත වී ඇති බව පළමුවෙන් සඳහන් කරන ලදී. රාගාදී කෙලෙසුන්ගෙන් පියවරින් පියවර විදෙමින් පූර්ණ විමුක්තිය කරා යාමට උචිත කායික වාචසික හා මානසික ක්‍රියා සන්තතියක් ආර්ය මාර්ගාංග තුල අන්තර්ගතව පවතී. එහිලා සම්‍යග් දර්ශනය බෙහෙවින් උපස්ථම්භක වන බවට අපගේ අවධානය යොමු විය.

ජීවිතය සැපතක් සේ දුටු අය මෙන්ම දුකක් සේ දුටු ශාස්තෘවරු බුදුරදුන්ගේ කාල සීමාවේ විසූහ. නිගණ්ඨනාථපුත්ත ශාස්තෘවරයා සිතුවේ මිනිසාගේ ආත්මය අත්තකර්ම නමැති මලකඩවලින් වැසි ඇති බවත් ඒවා ඉවත් කොට ආත්ම ශුද්ධියක් කළහැක්කේ එම කර්ම ගෙවා දැමීම සඳහා අත්තකිලමථානුයෝගි පිළිවෙත්වල යෙදීමෙන් බවත්ය. ඒ සඳහා සිරුරට විවිධ ආකාරයෙන් පීඩා කිරීම අනුමත කළේ ය. නිගණ්ඨනාථපුත්ත ශාස්තෘවරයාගේ වැරැදි දර්ශනය ඔහු වැරැදි සසර ගමන නියතියක් සේ ගත් මක්ඛලිගෝසාල කිසිම උපක්‍රමයකින් එම නියතියෙන් මිදිය නොහැකි බව ප්‍රකාශ කළේ ය. සෙසු ශාස්තෘවරුන් ගේ ඉගැන්වීම් ද බොහෝ දුරට මීට සමාන වීය.

මේ ලෝකෝත්තර අරමුණු සාක්ෂාත්කර ගැනීමේදි පමණක් නොව දේශපාලනික, ආයතනික ගෘහස්ථ හෝ පුද්ගලික අරමුණු සාධනය කර ගැනීමේදීත් නිවැරැදි දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය ය. රාජ්‍යතාන්ත්‍රිකයකු රටක දේශපාලනික ආර්ථික සමාජික අපේක්ෂාවන් සමෘද්ධි කරගන්නේ නිවැරැදි දර්ශනයක් අනුව ක්‍රියාකිරීමෙනි. දුටුගැමුණු විජයබා පැරකුම්බා වැනි රජවරුන් රට දැය සමය උදෙසා නිවැරැදි දර්ශනයක් මත පදනම්ව ක්‍රියාකළ බැවින් සුවිසල් ප්‍රබෝධයක් ඇති වූ බව රහසක් නොවේ.

වර්තමානයේ සෑම රාජ්‍යායතනයක මෙන්ම පෞද්ගලික ඇතැම් ආයතනවලද ‘මෙහෙවර’ ප්‍රකාශයක් ප්‍රදර්ශනය කර තිබෙනු දැකිය හැක. එය එම ආයතනයේ දර්ශනයයි. එහි සේවය කරන සියලුම සේවකයින්ගේ අරමුණ විය යුත්තේ් එම ප්‍රකාශයෙන් කියැවෙන මෙහෙවර ඉටුකිරීම සඳහා උත්සුකව කි‍්‍රයාකිරීමයි. පුද්ගලික ජීවිතයද මෙහෙය වියයුත්තේ නිවැරැදි දර්ශනයක් මතය. ධම්ම පදට්ඨකථාවේ එන භත්තභතික කථා වස්තුවේ ගන්ධක සිටුවරයා තම පිය උරුමයෙන් ලත් අතිමහත් ධනය වැය කරන්නේ් හුදෙක් ආත්මොක්තර්‍ෂයෙන් යුතුව උජාරු අන්දමින් තමන්ගේම සුඛ විහරණය සඳහා පමණි’ ඒ ඔහුගේ් ජීවිත දර්ශනයේ වරද නිසාය. පටු අපේක්ෂාවන් ඇති ඇතමුන් හිරි ඔතප් නැතිව මොනයම් ආකාරයකින් නමුත් තමන්ගේ බලාපොරොත්තු සඵලකර ගැනීමට ක්‍රියාකරන්නේ වැරැදි ජීවන දර්ශන නිසාය.

මජ්ඣිම නිකායේ සම්මාදිට්ඨිය සූත්‍රයේදී සද්ධිවිහාරික භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි සැරියුත් මහ රහතන් වහන්සේ නිවැරැදි දැකීම ඉතා විස්තරාත්මක ලෙස ඉදිරිපත් කරති. අකුශලය කුමක්ද? එහි මූලය කුමක්ද? හා කුශලය කුමක්ද එහි මූලය කුමක්ද? යනුවෙන් දැකීම සම්මා දිට්ඨිය යනුවෙන් ඇරඹෙන එම සූත්‍රයේදි ආහාරය දුක හා ජරා මරණවලින් ඇරඹි සියළු පටිච්චසමුප්පාද අංගයන්ගේ හටගැනීම, නිරෝධය හා නිරෝධ මාර්ගය විස්තර කෙරේ. මෙයින් පැහැදිලි වන්නේ සත්ත්වයා ඉදිරියේ ඇති සියලු ප්‍රපංචයන් නිවැරැදි කෝනයකින් බලා ඒවායේ සැබෑ හේතුන් සොයාගෙන ඉන් මිදීම සඳහා නිවැරැදි ක්‍රියාදාමයක් ඔස්සේ යා යුතු බවයි. බෞද්ධ සම්ප්‍රදාය නිරතුරුවම උත්සුක වන්නේ නිවැරදි වූ සත්‍ය දර්ශනයක් ඔස්සේ බෞද්ධයා මෙහෙයවීමටයි. ජාතක පොතේ එන අපණ්ණක ජාතකය එම තේමාවෙන් යුත් කථාවස්තුවකි. එහිදී නුවණ නැති සාත්තු නායකයා වැරැදි දැක්මෙන් යුතුව වෙළදාමේ ගොස් යක්ෂයින්ට බිලි වෙයි. නුවණැති සාත්තු නායකයා දෙවනුව වෙළඳාමේ යාමේ සුබවාදී ලක්ෂණ දකී. සහජයෙන් ලබන බුද්ධිමත් භාවය, අත්දැකීම් සහිත බව, පරිසරය ගැන දැනීම, බහුශ්‍රැත බව තර්‍කඥානය වැනි කරුණු සමුදායයන් නිවැරැදි දර්ශනයක් ගොඩනැඟීමට උපකාරි වන බව ද ඉන් ගම්‍යමාන වේ.

බුදුදහම සත්‍ය ගවේෂණය මත ගොඩ නැගෙන දර්ශනයකි. සත්‍යය යනු නිවැරදි දර්ශනයයි. බෝසතාණන් වහන්සේ මහාභික්නිෂ්ක්‍රමණය කොට සත්‍යය කුමක් දැයි සොයමින් (කිං සච්ච ගවේෂී) වසර හයක් විවිධ ආචාර්යවරුන් ඇසුරු කරමින් එකල පැතිරි තිබුණා ආගමික මතවාද පිළිබඳ පර්යේෂණයක නිරතවූ බව අරිය පරියෙසන සූත්‍රය විස්තර කරයි. උන්වහන්සේ නෛය්‍යාර්ණික පිළිවෙත වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ස්වයංභු ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට වදාළහ.

බුදුරදුන් පෙන්වාදුන් මාර්ගය නුවණින් විමසා බලා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ කරගෙන ඒ අනුව පිළිවෙත් පුරන්නට කාලාම සූත්‍රය මඟ පෙන්වා දෙයි. එබැවින් සියලු දෙනාගේ වගකීම වන්නේ නිවැරැදි දැක්මක් ඇතිව තම ලෞකික හා ලොකොත්තර අරමුණු කරා ළඟාවීමට උත්සාහ දැරීමය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.