Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාණදුර වාදය නිසා ජාත්‍යන්තර කීර්තියට පත් පාණදුර නගර මධ්‍යයේ රමණීය ස්ථානයක පිහිටි ඓතිහාසික රන්කොත් විහාරස්ථානයට අවුරුදු දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඔක්තෝබර් මස 10 වැනි දා පැවැත්වේ. එම ඓතිහාසික අවස්ථාවට විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය.

මෙදින පස්වරු දෙකට උත්සව කටයුතු මහ සංඝරත්නයේ ආශිර්වාදය මැද ආරම්භ වීමෙන් පසුව රන්කොත් විහාරස්ථ භූමියේ ඉඳිකෙරෙන සංඝා වාසයට මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ. මෙම සැමරුම් උත්සවය රන්කොත් විහාරස්ථ උත්සව කමිටුව විසින් සංවිධානය කර ඇත්තේ අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන මා හිමියන්ගේ අනුශාසනා පරිදි ය. පාණදුර ඓතිහාසික රන්කොත් විහාරය මුල් කාලයේදි හඳුන්වා ඇත්තේ “ ගල්කන්දේ විහාරය “ යනු වෙනි. ගැමි වහරේ “ ගල් වලේ” පන්සල යැයි ප්‍රචලිත විය. මෙහි චෛත්‍ය රාජයාණන්ගේ කොතේ රන් ආලේප කිරීම නිසා ක්‍රි.ව. 1890 න් පසුව රන්කොත් විහාරය යන නම ප්‍රසිද්ධියට පත් විය.


රන් කොත් විහාරය

ලංකාවේ අමරපුර නිකාය පිහිටුවා වදාළ ශ්‍රී කතළුවේ ගුණරත්න මහා නායක හිමිපාණන්ගේ ශිෂ්‍ය බටපොල කල්‍යාණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ රන්කොත් විහාරයේ ආදි කර්තෘවරයාණන් ය. පසුව (1832 ) උන් වහන්සේ අමරපුර නිකායේ මහානායක ධූරය හෙබවූහ. වර්ෂ 1810 දී පමණ රන්කොත් විහාරයේ ආරම්භය සිදුවිය.

සංඝා වාසය ගොඩ නඟා ඇත්තේ විශාල කළුගලක් මතය. අඩි 30 ක් උසට බැමි බැඳ මුහුදු වැලි පුරවා චෛත්‍ය මළුව ඊට පහලින් පිහිටුවා ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේ 1863 දී ගොඩ නගා ඇත. 1865 දී ධාතු නිධානෝත්සවය පැවැත්විය. විහාර මන්දිරයද මේ කාලයේදීම නිර්මාණය විය. 1930 දී ධර්ම ශාලාව ගොඩනැගී ය. පානදුර රන්කොත් විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ ආරම්භය ඇති වූයේ පූජ්‍ය වල්පිට ගුණරත්න තිස්ස මහා නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ විහාරාධිපති පදවිය ඉසුලූ කාලයේ සිටය.

පාණදුර මහා වාදය කරවිමේ ආදි කර්තෘවරයානන්ද පුජ්‍ය ගුණරතන තිස්ස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ය. වර්ෂ 1873 ජුනි මස 12 වැනිදා රන්කොත් විහාරයට නුදුරු වෙස්ලියන් පල්ලියේදි ලූවිස් ද සිල්වා දේවගැතිතුමා බුද්ධාගමේ මුලික ඉගැන්වීම් වලට විරුද්ධව දේශනාවක් පැවැත් වූහ. මේ ගැන පූජ්‍ය ගුණරත්න තිස්ස මහා නායක හිමියන්ට දැන ගන්නට ලැබිණ. පාණදුරේ ධන කුවේරයකු වූ ජෙරමියෙස් දියෙස් හා කොරනේලිස් පෙරේරා අප්පුහාමි යන ප්‍රධාන දායක මහතුන් වහාම කැඳවා රන්කොත් විහාරය්දි විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. දක්‍ෂ ධර්ම කථිකයකු වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මහිමිපාණන් රන්කොත් විහාරයට වැඩම කළ ගුණරත්න තිස්ස ලොකු හාමුදුරුවන්, දාවිත් ද සිල්වා දේවගැතිතුමා පැවැත්වු දේශණයට එරෙහිව පිළිතුරු දේශනයක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමිපානන් ලවා පැවැත්වූහ. අනතුරුව මෙවැනි දේශනා පාණදුර වැස්ලියන් පල්ලියේ සහ රන්කොත් විහාරයෙහිද නිරතුරුවම පැවැත්විය. මෙම දේශනා නිසා වාදයකට මුල පිරුණි. අවසානයේදී දෙපාර්ශ්වයටම මුණ ගැසී ප්‍රසිද්ධ වාදයක් පැවැත්විය යුතු යැයි තීරණය කෙරුණි.

වාදය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කෙරුණේ පාණදුර උසාවියේ නීතිඥවරයකු වූ පීතර් දනියෙන් සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි. මෙම ලිපිය එවා තිබුනේ ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා සහ කුරුකුලසූරියගේ කොරනේලිස් පෙරේරා කරුණාරත්න අප්පුහාමි යන අය වලුන් වෙතය. මෙම අත්ලිපිය අදත් පාණදුර රන්කොත් විහාරයේ සුරක්‍ෂිතව තිබේ. මෙම ලිපියෙහි සඳහන් කර තිබූ කොන්දේසි මත මහා වාදයක් දෙපාර්ශ්වය අතර පැවැත්වීමට තීරණය විය.


විහාර මන්දිරය

වාදය පැවැත්වීම සඳහා ජෙරමියස් දියෙස් රේන්ද මහත්මයා සතු පාණදුරේ දුම්රියපොල අසල තිබුණ දොඹගහවත්ත ඉඩමේ මඩුවක් සාදා පාණදුර මහා වාදය නමින් මිෂනාරින් සහ බෞද්ධ ආගමික නායකයින් අතර වර්ෂ 1873 අප්‍රෙල් මස 23 සහ 26 යන දිනයන්හි පැවැත්වූහ.


පැරැණි ධාතු මන්දිරය

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපානෝ බෞද්ධ පක්‍ෂයේ ප්‍රධාන කථිකයා වූහ. දාවිත් ද සිල්වා පාදිලිතුමා සහ සිරිමාන්න කතිසේරුතුමා ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ කථිකයෝ වූහ.

එවකට සිටි ගිහි පැවිදි පඬිවරු බෞද්ධ පක්‍ෂයට ආධාර කළහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල , වැලිගම ශ්‍රී සුමංගල , බුලත්ගම ධර්මාලංකාර , රත්මලානේ ශ්‍රී ධර්මාලෝක වස්කඩුවේ ශ්‍රී සුභූ®ති යන භික්‍ෂූන් වහන්සේලා සහ බටුවන්තුඩාවේ පඩිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගි වූහ.

දින දෙකක් තිස්සේ පැවැත් වූ වාදයේ ජය පරාජය ප්‍රකාශ වීමට පෙර දෙපාර්ශවයේම කථිකයෝ බහින් බස් වී වාද වේදිකාවෙන් ඉවත්ව ගියහ. මෙම මහා වාදය පාණදුර මහා වාදය නමින් ලොව පුරා ප්‍රචලිත විය. රන්කොත් විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය කරගම්පිටියේ ජෝතිරතන අනු නායක මා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ඉඩම තෑගි ඔප්පුවෙකින් පාණදුර බෞද්ධ මහා සංගමය වෙත පරිත්‍යාග කෙරිණි.

එම ඓතිහාසික වාද භූමියේ ගුණානුස්මරණ ස්මාරකයෙක් පිහිටුවීමට 1973 වර්ෂයේදි තීරණය කෙරුණි. විවිධ හේතුන් නිසා එම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි විය. එම මුල්ගල ඓතිහාසික වාද භූමියේ අදත් දක්නට ඇත. පසුකලෙක මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමිපාණෝ පාණදුර රන්කොත් විහාරාධිපති වශයෙන් පත්වූහ. උන් වහන්සේ අග්‍ර ගණයේ පඩි රුවනකි. මහායාන බුදු දහමේ ගැඹුරු ස්වරූපය යනුවෙන් වැදගත් ග්‍රන්ථ කිහිපයක් පලකල උන් වහන්සේ හදිසියේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍යයකු වූ කහපොල සුගතරත්න හිමියන් රන්කොත් විහාරාධිපති ලෙස පත් කෙරුණි. උන් වහන්සේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.