Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කර්මචාගාචාර්ය අතුරුගිරියේ මැදගොඩලන්ද පුරාණ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ලෙව්වන්දූවේ චන්දවිමල හිමියන් විසින් ‘විමානවස්තු ප්‍රකරණයට අයත් දේවකතා’ නමින් ග්‍රන්ථයක් මුද්‍රණද්වාරයෙන් එළිදක්වන ලදී. එහි සම්පාදක හිමියන් විසින් එම ධර්ම ග්‍රන්ථයේ මුල්පිටපත රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙත අතුරුගිරිය මැදගොඩලන්ද පුරාණ විහාරයේදී පසුගිය දා පිළිගන්වන ලදී. සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් විසින් විමාන වස්තුව ඇසුරෙන් දහම් දෙසූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. ග්‍රන්ථ පහළොවකින් සමන්විත ඛුද්දක නිකායේ ඇතුළත් විමාන වස්තු කතා පාලි භාෂාවට නගන ලද්දේ ධම්මපාල මහතෙරුන් වහන්සේ විසිනි. දෙව්ලොව උපත ලැබූ දෙවියන්ගෙන් පෙර කරන ලද පින්කම් විමසූ අයුරු සෑම විමාන වස්තුවක දක්නට ලැබේ. විමාන වස්තුවට ඇතුළත් ගාථා සංඛ්‍යාව අසූපහකි. දිව්‍යාංගනාවන් පිළිබඳ කතාවස්තු පනහක් ඊට ඇතුලත් ය. ඉතිරි කොටස දෙවියන් පිළිබඳ කතාවස්තු වේ. විමාන කතාවස්තුවලින් ප්‍රකාශිත ඉතා වැදගත් කරුණ නම් පූර්වයෙන් කරන ලද කම්පල ප්‍රකාශවීම බව ග්‍රන්ථයට පෙරවදනක් සපයන ආචාර්ය පැලැවත්තේ ධම්මතිලක හිමියෝ සඳහන් කර තිබේ. අදාළ ග්‍රන්ථයේ කතුවර චන්දවිමල හිමියන් විසින් රත්නසිරි වික්‍රමනායක අමාත්‍යතුමන්ට පොත පිළිගැන්වූ ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය - විධුර විජයනාථ)

දඹදෙණිය රජමහා විහාරයේ ආලෝක පූජාව ස්වදේශී කර්මාන්තායතනය මගින් 9 වන වසරටත් පසුගිය දා පවත්වන ලදී. දඹදෙණිය රජ මහා විහාරයේ විහාරාධිපති දඹදෙණියේ නාරංගොඩ සිරිනිවාස හිමි, ස්වදේශ සමාගමේ සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා අමරි විජයවර්ධන මහත්මිය සහ එම සමාගමේ නිලධාරින් දඹදෙණිය රජමහා විහාරයේ ආලෝක පූජාවට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

හල්තොට, ලෙනවර ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ 26 වන සංවත්සරය හා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා එම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි. එහිදී ක. දි. සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් අතින් දහම් පාසල් සිසුවෙක් තමන්ට හිමි ත්‍යාග හා සහතික ලබා ගත් අයුරු. ප්‍රධානාචාර්ය හිඳුරංගල සෝරත හිමියෝද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.