Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඳුශිඛරයක සුන්දර පුද බිමකි

කෙවිටියාගල පුරාණ පූජා ගල්ලෙන් විහාරය

කළුතර දිස්ත්‍රික්කයේ අගලවන්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්යොදුන් කෝරළේ පොල්ගම්පල කෙවිටියාගල රක්‍ෂිත වානපෙතක් ආශි‍්‍රතව කඳු ශිඛරයක් මත පිහිටි සුන්දර පුද බිමක් ලෙස කෙවිටියාගල පුරාණ පූජා ගල්ලෙන් විහාරස්ථානය හැඳින්විය හැක.

ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ඇති පුදබිමක් ලෙස මෙය ප්‍රකටව පවතී. කෝට්ටේ සීතාවක රාජධානිය පැවති වකවානුයේ වීදිය බණ්ඩාර කුමාරයා මෙම ප්‍රදේශයේ සැරිසරා ඇති බවක් කියැවේ. එතුමා පාලින්දනුවර රාජධානියේ කල්ගත කළ වකවානුවේ පාලින්ද නුවර සිට දකුණු ප්‍රදේශයට යන ගමනේදී නවාතැන් පොලක් ලෙස මෙම විහාරස්ථානයේ ඇති ගල්ලෙන් පරිහරණය කර ඇති බවක් ජන වහරේ පවතී. එසේ දියනෑමට භාවිතා කල පැරණි දිය පොකුණක්ද අදත් දැක ගත හැකි ය.

මෙම පුණ්‍යභූ®මිය කාලාන්තරයක් තිස්සේ වල්බිහිව තිබියදී කෙවිටියාගල ජනතාවට නැවතත් පුද බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇති විය.

1958 දී පමණ බෞද්ධ ජනතාව මෙම පැරණි ගල්ලෙන අවට වල් බිහිවී තිබූ ස්ථානය පිරිසිදු කර ආගමික කටයුතු ආරම්භ කළේය. 1962 දී කෙවිටියාගල බෞද්ධ ජනතාව එවකට බදුගම ශ්‍රී ධර්මානන්ද පිරිවෙනේ විහාරාධිපති විචිත්‍ර ධර්මකථික වේවැල්දෙනියේ ජිනසේන හිමියන් හමුවී මෙම ස්ථානය විහාරස්ථානයක් ලෙස ස්ථාපනය කරන ලෙස සැළකර සිටියහ. ඒ අනුව 1962 වසරේදී ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙනියායේ විසුද්ධාලෝක නාහිමියෝ මෙම ස්ථානයට වැඩම කළහ.

උන්වහන්සේ මහත් බාධක මැද මෙම කදු ශිඛරයේ ඝණ කැලෑව ශුද්ධ පවිත්‍ර කර පුද බිමේ කුඩා ආවාස ගෙයක් තනාගෙන පුද බිමේ ප්‍රවර්ධනයේ පළමු පියවර ආරම්භ කළහ.


බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇති කඳු මුදුන

උන් වහන්සේගේ කැපවීමෙන් මහත් අපහසුතා මධ්‍යයේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සහයෙන් කටුක අඩි පාරක් දිගේ කිලෝ මීටර් හත හමාරක පමණ දුරක් කඳු මුදුනට සිමෙන්ති , වැලි,ගඩොල් කර මතින් ගෙනගොස් ඉදිකිරීම් ආරම්භ කළේය.

ඉන් පසු බෞද්ධ ජනතාව, දහම් පාසැල් ළමුන්, කුලඟණ සමිතිය සහය ඇතුව ධර්මශාලාව, සංඝාවාසය, සීමාමාලකය, විහාර මන්දිරය, මුළුතැන්ගෙය ඉදිකර ගත්තේය.

කුඩා අඩිපාරක් දිගේ ගලෙන් ගලට නැග ගිය දුෂ්කර ගමන් මඟ වෙනුවට විහාරස්ථානයට වාහනයක් ගමන් කිරීමට අවශ්‍ය මාවත තැණුනි.

විහාරස්ථානයට සම්බන්ධ දායක පවුල්වලට මෙන්ම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සමාජ සද්කාර්යක් ඉටුකිරීමට උන් වහන්සේ කටයුතු කළහ.

දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, තරුණයන්ට රැකියා ලබා දීම, දහම් පාසැල් අධ්‍යාපනය නංවාලීම තුළ දරුවන් සසුන් ගත කිරීම ආදී සුවිශේෂී මෙහෙයකට මූලිකත්වය දුන්නේ විශුද්ධාලෝක නාහිමියන් ය.


කඳුශිඛරය මතට යන පිය ගැට පෙළ

විහාරාධිපති හිමියන් 2001 මාර්තු මස 04 වැනි දින අපවත්වීමෙන් පසු වත්මන් විහාරාධිපති ශාසනකීර්ති විචිත්‍රභානක කෙවිටියාගල සුගතවංශ හිමියෝ විහාරාධිපති ධූරයට පත්වූහ.

උන්වහන්සේගේ මූලික ප්‍රයත්නය වූයේ නව මාර්ගය වාහන ගමනා ගමනයට සුදුසු පරිදි කොන්ක්‍රීට් කිරීමටයි. එය අද වාහන ගමනා ගමනයට සුදුසු පරිදි සකස් කර ඇත.

එසේම උන්වහන්සේ ඓතිහාසික වටිනාකමක් ඇති ගල්තලාව මත අලංකාර බුද්ධ ප්‍රතිමාවන් ඉදිකළහ. මේ සඳහා දායක සභාවෙන් ලැබුනේ මහත් සහායකි. මේ තුළින් විහාරස්ථානයේ වටිනාකම තවත් වර්ධනය විය.

විහාරාධිපති හිමියන්ගේ ශාසනික සමාජ මෙහෙවරට විහාරවාසී ශාස්ත්‍රපති ගාල්ලේ ඥාණාලෝක හිමි හා දොඩංගොල්ලේ උත්තරවංශ හිමි , දායක සභාව,විහාර කාර්යසාධන සමිතිය, විසුද්ධාලෝක දහම් පාසැලද පූර්ණ දායකත්වය ලබාදෙයි.


පැරැණි ගල් ලෙනක්

 





 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.