Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - බුදුදහමට අනුව එක් එක් පුද්ගල යහපත්වීමේ එකතුව සමස්ත ජන සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයටද හේතුවන්නට පුළුවන. සුත්‍ර‍්‍රාගත දේශනා ඇසුරුකොට ගෙන ඉහත සඳහන් නිගමනයන් සනාථ කරන්න.

පිළිතුර - අං. නි. මහාසාල සූත්‍රාගත දේශනයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක (සද්ධං කුල පුත්තං නිස්සාය. අන්තො ජනා) එක් පුද්ගල යහපත වටා සිටින අය (ආශි‍්‍රතයන්) සද්ගුණ (පංචහි වඩ්ඩහි) අභිවෘද්ධියට පැමිණේ.

1. සැදැහැයෙන් දියුණුවේ (සද්ධා)
2. සිල්වත් බවින් පෝෂණය වෙයි (සීලවා)
3. පරිත්‍යාගශීලි වෙයි (චාග)
4. ප්‍රඥාවෙහි අභිවෘද්ධියට පත්වේ (පඤ්ඤා)
5. (බාහුසච්ච බව) බොහෝ ඇසු පිරූ ගති ඇත්තෙකු වීම (සුතවත්

ප්‍රශ්නය - දෙමව්පියන් (මාතාපිතරො පුත්තං ඉච්ජන්ති කුලෙ ජායාමානං) යහපත් දරුවකු ගේ උපත වඩාත් කැමැති වනබව (ඨානානි සම්පසන්ත) බුදු දහම අවධාරණය කරයි. අංනිත සුමනා වග්ග පුත්‍ර සූත්‍රයෙහි එන දේශනාවලින් එම දේශනාව සනාථ වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර -
1. තමා සුවපත්ව අපද සුවපත් කරයි යන විශ්වාසය දරුවන් කෙරෙහි මව්පියන් තුළ ස්ථානගතවීම (භතොවා නො හරිස්සාමි)
2. අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නේය. (කිච්චං වා නොකරිස්සාමි)
3. අපගේ පරපුර ආරක්ෂා කරයි. (කුල වංසො වීරං ඨස්සති)
4. සන්තකය කැමැත්ත පරිදි කටයුතු කරයි යන විශ්වාසය (දායජ්ජං පටිපජ්ජති)
5. මියගිය පසු සිහිපත්කොට දන් පින්කම් කොට සිහිපත් කරයි. (අථච පන පේතානං කාලකතානං දක්ඛිණං අනුප දස්සතීති)

ප්‍රශ්නය - බුදුදහම සමාජගත පුද්ගලයන් හඳුනාගැනීම ජීවිතය සැපවත් කර ගැනිමට එක් හේතුවක් බව පැහැදිලි කරයි. ජීවිත සැපවත් කරන යහගුණැති කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණදහම් හතක් හඳුන්වාදෙයි. ඒ මොනවාද?

පිළිතුර -
1. මනා හැසිරීම් රටාවකින් යුත් පි‍්‍රය මනාප හික්මුණු පුද්ගලයෙකු වීම.
2. ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්තවීම.
3. වරද නිවැරද මනාව වටහාදීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය.
4. ඇසුරු කරන මිතුරු මිතුරියන්ට මැනවින් සවන් යොමු කරන්නෙකු වීම.
5. මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමඟට යොමු කිරීම
6. දුෂ්කර වූ ගැටලු සහගත කරුණු වටහාදීම
7. ඉවසීම යන එම ගුණ දහම් වෙයි.

ප්‍රශ්නය - අනුරාධපුර යුගයේ චෙතියගිරිය - මිස්සක පබ්බත සෑගිරිය යන නම් වලින් හැඳින්වූ ස්ථානය කුමක්ද?

පිළිතුර - මිහින්තලය

ප්‍රශ්නය - දාන පාරමිතාව බෝසත් ගුණයකි. දාන වස්තුව, ප්‍රතිග්‍රාහක අරමුණු හා දීමෙහි මහත්ඵල මහානිශංස ලැබීම පිළිබඳවද පෙළ දහම් පොත්පත්වල විචිත්‍ර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිග්‍රාහක (ලබන්නා) පිළිබඳව බුදුදහම අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.

පිළිතුර -
1 .නිවහනට පැමිණෙන්නාට (ආගන්තුක දාන)
2. ගම්වැසියන්ට (ගාමිකස්ස)
3. රෝගීන්ට (ගිලානස්ස)
4. දුර්භික්ෂකාල (දුච්භිකදාන)
5. අග්‍රශසසදාන (නව සස්සානි නවඵලානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාවෙති)

ප්‍රශ්නය - මෙලොව උපත ලද හැම සත්ත්වයෙක්ම ‘සුඛ’ ය හෙවත් ‘සුඛකාමානි භූතානි’ සුව කැමැත්තෝ ය. මිනිසා පිළිබඳව ද එසේම බව අංනි. චක්ක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුලවීමට හේතු හතරක් ඇතිබව එම දේශනා වල සඳහන් වෙයි. සනාථ කරන්න.

පිළිතුර -
1. සුදුසු පෙදෙසක විසීම (පතිරූපදේශවාසය)
2. සද්ගුණ බහුල මිනිස් ඇසුර (සතාශ්‍රය)
3. සිත්හි තැන්පත් බව (අත්තසම්මාපණිධි
4. පෙර පින් ඇති බව (පුබ්බේව කත පුඤ්ඤතා

ප්‍රශ්නය-
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු අකුසලය නොඉපදීවීමටද, කුසලයාගේ් ප්‍රතිලාභයද, (අභිවෘද්ධියට) ස්වකීය සිත් නීවරණයන්ගෙන් පිවිතුරු කිරීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මෙහි ‘සබ්බ පාපස්ස අකරණං’ යන්න ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර - කාය දුශ්චරිතය , වාග් දුශ්චරිතය, මනෝ දුෂ්චරිතය යන දුෂ්චරිතයන්ය. මේවා දශ අකුශල කර්මපථ වශයෙන් ද ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. එනම් පාණතිපාතය, අදින්නාදානය, කාමෙසුවෙච්ඡාචාරය, මුසාවාදය, පිසුණාවාචාය, ඵරුසාවාචාය, සම්ඵප්පලාපය ය. අභිජ්ත්ධා යැ ව්‍යාපාදය - මිච්ඡාදිට්ඨි යන්නයි. මේ දශ අකුසල කර්මපථ ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් මගින් ප්‍රහවය වෙයි. සතර අගතියට මේ අකුසල මූලයෝ ප්‍රත්‍යය වෙයි. ඔවුන් අතරෙන් ලෝභ අකුසල මූලය අසුභ භාවනාවෙන් ප්‍රහීණවෙයි. ද්වේශය මෙත්තා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. මෝහය පඤ්ඤා භාවනාවෙන් ප්‍රහීන වෙයි. එසේම ලෝභය උපේක්ෂාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය කරුණාවෙන්ද, ප්‍රහීණ වෙයි. මෝහය මුදිතාවෙන්ද ප්‍රහාණයට යයි.

ප්‍රශ්නය - සමථ භාවනාව පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර - චිත්තං සමෙතීති සමථො - සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථ භාවනාවට යොදාගත හැකි (ආරම්මණ) අරමුණු සතළිහක් දක්වා තිබේ. ඒවාට කර්මස්ථාන යයි කියනු ලැබේ.

සමථ භාවනා කරනවිට සිත්හි සමාහිත බවක් හෙවත් සමාධියක් උපදී. තැන්පත් සිත සමාධියයි. සත්‍ය දකින්නා වූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරි වන්නේ චිත්ත සමාධියයි. (සමාහිතො යථා භූතං පජානාති) තැන්පත් සමාහිත සිත ඇත්තේ (යොනිසෝ මනසිකාර) ඇති සැටියෙන් දැනගනී.

ප්‍රශ්නය - විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - විදර්ශනා යන්නෙහි ‘පාලි’ ස්වරූපය විපස්සනා යන්නයි. දකියි - බලයි යන්න සිංහල අර්ථය වුවත් සංස්කෘත විදර්ශනා යන්න ‘ සුවිශේෂ දැක්ම’ යන්න ව්‍යවහාර වෙයි. විවිධාකාරෙන පස්සතීති විපස්සනා, හෙවත් විපස්සතී විපස්සනා) යනුවෙන් ද එම අදහසම ගම්‍ය වෙයි. ‘සමාධිනො භික්ඛවෙ යථාභූතං පජානාති’ සමාධිමත් භික්ෂුව යථා තත්ත්වය දැනගනී. යන්නෙන් විදර්ශනාවට පාදක වෙයි.

ප්‍රශ්නය - සුත්‍රාගත බුද්ධදේශනා අනුව භාවනාවෙහි ප්‍රතිඵල හෙවත් ආනිශංස පිළිබඳව සුත්‍රාගත තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර - ම.නි. එන සතිපට්ඨාන සූත්‍රය අනුව භාවනාවෙහි යෙදෙන යෝගාවචරයෙකුට ආනිශංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

1. ආත්ම පාරිශුද්ධිය (සත්තානං විසුද්ධියා)
2. ශෝකය වැළපීම් ආදී ඛේදනීය තත්ත්වයන් වළක්වා ගැනීම (සොක පරිද්දවානං සමතික්කමාය)
3. දුක් දොම්නස් දුරලීම (දුක්ඛ දොමනස්ස අත්ථංගමාය)
4. නුවණ ලැබීම
5. නිවන් පසක් කරගැනීම සඳහා (නිබ්බාණස්ස සච්චකිරියාය)

අ..නි ඒක ධම්ම සූත්‍රවල සමස්තයක් වශයෙන් සියලු භාවනාවන්හි වැඩීමෙන් ලැබෙන ආනිශංස මෙසේ පිඬුකොට දක්වා ඇත.

1. ඒකාන්ත නිබ්බිදාය - දුකෙහි කළකිරීම පිණිස
2. විරාගාය - රාගය දුරුකිරීම පිණිස
3. නිරෝධාය - කෙළෙස් ප්‍රහාණය පිණිස
4. අභිඤ්ඤාය - ප්‍රඥාව දියුණු පිණිස
5. සම්බෝධාය - අවබෝධය පිණිස
6. නිබ්බානාය - නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස

මෙම අදහස අපවත් වී වදාළ ආචාර්ය වල්පොල රාහුල හිමියන් තම ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කොට ඇත. (බුදුන් වදාළ ධර්මය පිටු. 98)

බුදුන් වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබාදෙයි. භාවනාව යන වචනය කියනු ලබත්ම අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ වැඩවලින් වෙන් වී සමාජයෙන් වෙන්ව විහාරවල දක්නට ලැබෙන ඉරියව්වකින් ගූඪ ලෙස කරන කටයුත්තක් ලෙසිනි. සැබෑ බෞද්ධ භාවනා කිසි ලෙසකිනිදු එවැනි පලායාමක් නොවේ.

සතිපට්ඨාන සූත්‍ර භාවනා සම්බන්ධ ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදුවැඩ වලටත් සතුටුවීම් හා අසහන වලටත් කථාවලටත් සිතිවිලිවලටත් බුද්ධිමය කාර්ය වලටත් සම්බන්ධය. තවදුරටත් උන්වහන්සේ භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම නැතිනම් දියුණු කිරීමයි. සිත කිළිටි කරන කෙළෙස් වලින් මුදා පිරිසුදු කර ඒකග්‍රතාවය සමෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය , වීරිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය,, ශාන්තිය, ආදී ගුණ දියුණු කොට ප්‍රඥාව ලබාදී නිර්වාණවබෝධය එහි අරමුණ ය. යනුවෙන් විස්තර කරයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.