Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත්තම් ගල්ලෙන රජ මහා විහාරයේ ඇසළ උළෙල

රුහුණු පුරවරයේ පූජනීය ආගමික කේන්ද්‍රස්ථානයක් වන සිත්තම්ගල්ලෙන රජ මහා විහාරය හම්බන්තොට දිසාවට අයත් වලස්මුල්ලේ වරාපිටිය රම්මලේ කදුවැටිය පාමුල දැකුම්කළු පරිසරයක පිහිටා ඇත.

වෙහෙර විහාර ඉදිකිරීමට යෝග්‍ය පරිසරයක මනහර සිතුවමින් ගොඩනැගූ වෙහෙර සිත්තම්ගල වෙහෙර නමින් හදුන්වනු ලැබිණි. පැරැණි ලියකියවිලිවල සිතියන් ගල්ලෙන් නමින් හඳුන්වා ඇත. සිත්තම් ගල්ලෙන විහාරය ක්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා නිරිඳුන් විසින් කරවන ලදැයි ජනප්‍රවාදයේ එයි.

සිත්තම් ගල්ලෙන විහාරය ඓතිහාසික මෙන්ම දේව බලයද සහිත පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවතින ස්ථානයක් ලෙස වෙසෙසින්ම ප්‍රකට වේ. සිත්තම් ගල්ලෙන රජ මහා විහාරය රුහුණේ 2 වන කතරගම නමින් විරුදාවලිය ලත් පූජනීය ස්ථානයක් වන අතර, මෙහි වාර්ෂික ඇසළ උත්සවය 43 වන වරටත් පැවැත්වේ.

උඩරට, පහතරට, සංස්කෘතික අංගයන්ගෙන් හා රුහුණේ ගැමි කලාවට ප්‍රමුඛ තැනක් ලබාදෙමින් අගෝස්තු මස 22 දින සිට අගෝස්තු 28 වැනි දින දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර, රන්දෝලි මහා පෙරහර අගෝස්තු මස 26 වැනි දින රාත්‍රි වීදි සංචාරය කෙරේ. අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, කථානායක චමල් රාජපක්ෂ මහතා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම හා සහභාගිත්වය යටතේ පැවැත්වෙන මෙම ඇසළ පූජෝත්සවය මැති ඇමතිවරු, රජයේ නිලධාරීන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගිවන බවට අපේක්ෂා කැරේ. හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක අගලබඩ පියසිරි නා හිමියන්ගේ් අනුශාසනා පරිදි එම උත්සවය පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.