Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 සිරි දළදා පෙරහර

ලොවේ ඇති අති උත්කර්ෂවත් වූ කලා මංගල්‍යය ලෙසින් දෙස් විදෙස් රට රටවල සුප්‍රසිද්ධව ඇත්තේ දළදා වහන්සේ වෙනුවෙන් ඇසළ සමය ආශ්‍රිතව පවත්වනු ලබන දළදා පෙරහරය. මෙම පෙරහර සමය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් දස දහස් ගණනින් මහනුවරට ඇදී එනු ලබන්නේ දළදා පෙරහර තුළ ඇති අති රමණීයවූත් දැකුම්කලුවූත් දර්ශනීය පෙරහර මංගල්‍යය සියැසින් දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙසින් හඳුන්වනු ලබන දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව කරනු ලබන අති උතුම් පූජෝපහාරය වනු ලබන දළදා පෙරහර ඇරඹි අතීතය දෙස බලනකළ වංශ කථා තොරතුරු වලට අනුකූලව සනාථ වනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 04 වන සියවසේදී පමණ මෙම පෙරහර ආරම්භ කර ඇති බවය.

කප් සිටුවීම

දළදා පෙරහර ආරම්භ වනුයේ “කප් සිටුවීම” නමැති චාරිත්‍රයෙනි. මෙම චාරිත්‍රය සඳහා වන ලී ගනු ලබන්නේ ඵල හට නොගත් කොස් ගසක් කපා ගැනීම මගිනි. අදාළ කොස්ගස කපනු ලබන්නේ ගස සඳහා අරක්ගෙන සිටිතැයි සලකනු ලබන රුක් දෙවියන් උදෙසා මල් පහන් සහිත පූජාවක් පැවැත්වීමෙන් අනතුරුවය. ගස කපනු ලබන්නේ පිරුවටය ඇඳගනු ලැබූ විෂ්ණු දේවාලයේ සිටිනු ලබන ගස් කපන තැනැත්තා විසිනි. කපා දමනු ලැබූ කොස් ගසේ කඳෙන් එක් කොටසක් බැගින් ගෙන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලයන් සඳහා දෙනු ලබයි. මෙම කොස් කඳ මගින් සකසා ගනු ලැබූ කප කොළ මල් ගෙඩි ආදියෙන් සරසා ඇති තාවකාලික ලෙසින් සකසනු ලැබූ වහලක් යට සිටවනු ලබන්නේ අලුත් සඳක් ඇති දිනක් ආශ්‍රිතව සකසා ගනු ලබන සුබ නැකත් වේලාවකට අනුකූ®ලවය. දළදා මාලිගාව මෙන්ම නාථ දේවාලය, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, පත්තිනි දේවාලය යන සතර මහා දේවාලයන් ආශ්‍රිතව වෙන් වෙන් වශයෙන් පෙරහර පැවැත්වීම ආරම්භ වනු ලබන්නේ මෙම කප් සිටුවීමේ චාරිත්‍ර මංගල්‍යයෙන් අනතුරුවය.

පෙරහර පැවැත්වීම

දළදා පෙරහර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්,

1. දේවාල පෙරහර

පළමුවෙන්ම පවත්වනු ලබන්නේ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාලයන්ට අදාල වන්නාවූ දේවාල පෙරහරය. මෙම දේවාල පෙරහර දින පහක් පුරා පවත්වනු ලබන අතර පෙරහර ගමන් කරනු ලබන්නේ දේවාල ආශ්‍රිතව පිහිටුවා ඇති කප වටාය.

2. කුඹල් පෙරහර

වීථි සංචාරය කරනු ලබන ප්‍රධාන පෙරහර දොළස (12) අතුරින් කුඹල් පෙරහර දින පහක් පුරාවට පවත්වනු ලබන අතර එය ගමන් කරනුයේ ආරම්භ කරනු ලබන දළදා මංගල්‍යය ආරම්භ කර ගෙවී යනු ලබන හයවන දිනයේ සිට දහවන දිනය දක්වා වන රාත්‍රි කාලයෙහිය. (කුඹල් පෙරහර පවත්වනු ලබන පළමු පෙරහර දිනය දළදා මංගල්‍යය ආරම්භ කර ගෙවී යනු ලබන හයවන දිනය යනුවෙන් හදුන්වනු ලබන්නේ කුඹල් පෙරහර ඇරඹීමට ප්‍රථම දේවාල පෙරහර පහක් පවත්වනු ලැබීම නිසාවෙනි.) මෙම පෙරහරද දළදා පෙරහර, නාථ දේවාල පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, පත්තිනි දේවාල පෙරහර යන පෙරහර පහකින් සමන්විතවන අතර එම පෙරහර අතුරින් ප්‍රමුඛතාවය හිමිවනු ලබන්නේ දළදා පෙරහර සඳහාය. මෙම දළදා පෙරහරට පසු පසින් දේවාල පෙරහර 04 ද ගමන් කරනු ලබයි. දළදා පෙරහර සඳහා සතර මහා දේවාල පෙරහර හතරද ඒකාබද්ධවී දිනපතා රාත්‍රී කාලයේදී මහමලුව වටා ගමන් කරනු ලබයි.

3. රන්දෝලි පෙරහර

දළදා මංගල්‍යය සඳහා රන්දෝලි පෙරහර පහක් පවත්වනු ලබන අතර ඒවා පවත්වනු ලබන්නේ දළදා මංගල්‍යය ආරම්භ කර ගතවී යනු ලබන 11 වන දිනයේ සිට 15 වන දිනය දක්වා වූ රාත්‍රී කාලයේදීය. (රන්දෝලි පෙරහර පවත්වනු ලබන පළමු පෙරහර දිනය දළදා මංගල්‍යය ආරම්භ කර ගෙවී යනු ලබන 11 වන දිනය ලෙසින් හඳුන්වනු ලබන්නේ රන්දෝලි පෙරහර ඇරඹීමට ප්‍රථම දේවාල පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද පවත්වනු ලැබීම නිසාවෙනි.) රන්දෝලි යනුවෙන් හඳුන්වනු ලබන්නේ “දෙවියන්ගේ බිසෝවරුන්ය”. දෙවියන්ගේ බිසෝවරුන් සංකේතවත් කිරීම වෙනුවෙන් චිත්‍ර වස්ත්‍රයෙන් ආවරණය කරනු ලැබූ පල්ලැක්කි ඔසවාගෙන යනු ලබයි. මෙම රන්දෝලි පෙරහරද දළදා පෙරහර, නාථ දේවාල පෙරහර විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, පත්තිනි දේවාල පෙරහර යනාදියෙන් සමන්විතය.

සතර දේවාල පෙරහර

සතර මහා දේවාල පෙරහර සඳහා අයත් වනු ලබන්නේ පහත සඳහන් දේවාලයන්ට අයත්වන පෙරහරය. එනම්,

1. නාථ දේවාල පෙරහර

මහනුවර පිහිටා ඇති දේවාල අතුරින් පුරාණතම දේවාලය වනු ලබන්නේ නාථ දේවාලයයි. මෙය පිහිටා ඇත්තේ දළදා මාලිගාව අබියසය. දේවාල පෙරහර අතුරින් දළදා පෙරහරේ පළමුවෙන්ම ගමන් කරනු ලබන්නේ නාථ දේවාල පෙරහරය.

2. විෂ්ණු දේවාල පෙරහර

මහනුවර පිහිටා ඇති දේවාල අතුරින් විශාලතම දේවාලය ලෙසින් හඳුන්වනු ලබන්නේ විෂ්ණු දේවාලයයි. මෙය පිහිටා ඇත්තේ නාථ දේවාලයට යාබදව ඇති කඳු ගැටයක් මතය. දේවාල පෙරහර අතුරින් දළදා පෙරහරේ දෙවනුව ගමන් කරනු ලබන්නේ විෂ්ණු දේවාල පෙරහර ය.

3. කතරගම දේවාල පෙරහර

දළදා මාලිගාවේ සිට බලන කළ ඈතින්ම පිහිටා ඇති දේවාලය වනු ලබන්නේ කතරගම දේවාලයයි. දේවාල පෙරහර අතුරින් තුන්වනුව ගමන් කරනු ලබන්නේ කතරගම දේවාල පෙරහරය.

4. පත්තිනි දේවාල පෙරහර

දළදා වහන්සේට කරනු ලබන පූජෝපහාරයක් වශයෙන් පවත්වනු ලබන දළදා පෙරහර, නාථ දේවාල පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර තුළ කාන්තාවන් විසින් නිරූපනය කරනු ලබන නැටුම් ගැයුම් වැයුම් දක්නට නොලැබෙන අතර එහෙත් කාන්තාවන් විසින් කරනු ලබන නැටුම් ගැයුම් වැයුම් යනාදිය දළදා පෙරහර තුළින් දක්නට ලැබෙනුයේ පත්තිනි දේවාල පෙරහර තුළ පමණි. දේවාල පෙරහර අතුරින් දළදා පෙරහරේ සිව්වනුව ගමන් කරනු ලබන්නේ පත්තිනි දේවාල පෙරහර ය.

දළදා පෙරහර

සමස්ත දළදා පෙරහර තුළ ප්‍රධාන පෙරහර 12 ක් දක්නට ලැබෙන අතර ඒවා මෙලෙසට සඳහන් කළ හැකිය. එනම්,

1. කුඹල් පෙරහර - 05

2. රන්දෝලි පෙරහර - 05

3. අවසාන රන්දෝලි පෙරහර පවත්වනු ලබන රාත්‍රියට පසුදින අලුයම පවත්වනු ලබන “දිය කැපුම් පෙරහර”

4. දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පවත්වනු ලබන “දිවා පෙරහර”

අවසාන රන්දෝලි පෙරහර පවත්වනු ලබන්නේ ඇසළ පොහෝ දිනයට පෙරදින රාත්‍රියේදීය. දිය කැපුම් පෙරහර ඊට පසුදින අලුයම පවත්වනු ලබන අතර දිවා පෙරහර පවත්වනු ලබන්නේ සාමාන්‍යයෙන් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයෙහිදීය. දළදා පෙරහර අවසන් වනු ලබන්නේ දිය කැපුම් පෙරහර මාලිගාවට ගෙවැදීමෙන් අනතුරුවය.

* දළදා පෙරහර හා සංස්කෘතික මංගල්‍යය

දළදා පෙරහර සෑම දිනෙකම රාත්‍රියේදී පිටත්වනු ලබන්නේ සුබ මොහොතින් උදාවනු ලබන නැකත් වේලාවකට අනුවය. පෙරහර පිටත්වනු නැකත් වේලාව උදාවූ බව දැනුම් දෙනු ලබන්නේ වෙඩි ශබ්දයක් නිකුත් කිරීම මගිනි. මෙම ශබ්දය නිකුත් කිරීම හඳුන්වනු ලබන්නේ “නැකැත් වෙඩිල්ල” යන නාමයෙනි. නැකත් වේලාවට අනුකූලව දළදා පෙරහර මාලිගාවෙන් පිටත්වන අතර අනතුරුව සතර දේවාල පෙරහර දළදා මාලිගාව කරා පැමිණෙනු ලබයි. දළදා පෙරහරේ පළමුවෙන්ම ගමන් කරනු ලබන්නේ කස පුපුරවන්නන්ය. දෙවනුව ගිනි බෝල කරකවන්නන් සහ පන්දම්කරුවන් ද පෙරහරේ ගමන් කරනු ලබන අතර එමගින් බලාපොරොත්තු වනු ලබන්නේ පෙරහර ගමනාගමනය සඳහා ප්‍රවේශ මාර්ගයේ දෙපස ඉඩකඩ ලබාගැනීම හා පෙරහර ගමන් මග සඳහා ආලෝකය ලබා ගැනීමය. අනතුරුව ගමන් කරනු ලබන්නේ හේවිසි වයන්නන් සහ හොරණෑ පිඹින්නන්ය. ඉන් පසුව පෙරහරේ ගෙන යනු ලබන්නේ ප්‍රාදේශීය කොඩිය. එම ප්‍රාදේශීය කොඩි ගණනින් පහළොවක් පමණ වන අතර ඒවා පෙරහරේ ගෙන යන්නාවූ අනු පිළිවෙල මෙසේය. එනම්,

1. ලේකම් මිටිය සහ පන්හිඳ (මහලේකම් මහතා)

2. හස්තියා මහ කොඩිය (ගජනායක නිලමේ)

3. කොඩිතුවක්කු මහකොඩිය (කොඩිතුවක්කු නිලමේ)

4. ඉර හඳ මහ කොඩිය (හතර කෝරලේ දිසාව)

5. සිංහයා මහකොඩිය (සත් කෝරලේ දිසාව)

6. හංසයා මහකොඩිය (ඌව දිසාව)

7. සුදු මහ කොඩිය ( මාතලේ දිසාව)

8. පටරෙදි (කහපාට) මහ කොඩිය (සබරගමුවේ දිසාව)

9. භෙරුණ්ඩ පක්ෂි මහ කොඩිය (කෝරළ තුනේ දිසාව)

10. මයුර මහ කොඩිය (වලපනේ දිසාව)

11. නෙලුම් මල් කොඩිය (උඩ පළාතේ දිසාව)

12. ගජසිංහ මහ කොඩිය ( නුවර කලාවිය දිසාව)

13. කොටියා මහ කොඩිය (වෙල්ලස්සේ දිසාව)

14. ගිරවා මහ කොඩිය (බින්තැන්නේ දිසාව)

15. වලහා මහ කොඩිය ( තමන්කඩුවේ දිසාව)

අනතුරුව දළදා පෙරහරේ ගමන් කරනු ලබන්නේ පරිවාර ඇතුන් සහ දළදා මාලිගාවේ ආවතේවකාරයින් පිරිවරාගත් දළදා කරඬුව ගෙනයනු ලබන හස්ති රාජයාය.

දළදා පෙරහර තුළ දක්නට ලැබෙන අලංකාරතම දර්ශනය වනුයේ රනින් වැඩ දමනු ලැබූ අගනා ඇඳුම් හා ආයිත්තම් වලින් සරසා ඇති ගෙලෙහි බැඳ ඇති මිණි ගෙජ්ජි හඬ නංවාලමින් පෙරහරේ ගමන් කරනු ලබන අලි ඇතුන්ගේ ගමන් විලාශයයි.

දළදා පෙරහර තුළ එක් පේලියකට අලි ඇතුන් තිදෙනෙකු බැගින් ගමන් කරනු ලැබේ. අලි ඇතුන් කණ්ඩායම් දෙකක් අතර නැටුම් කණ්ඩායමක් සිටිනු ලබයි. දළදා පෙරහර තුළ වෙස් නැටුම, පන්තේරු නැටුම, දඬුබෙර නැටුම (උණ බම්බුවකට හොඳින් වියලුණු ශක්තිමත් කෝටු දෙකකින් පහරදීම) රබන් කෙළිය (රබන් කරකැවීම) ලී කෙළිය (ලී දෙකක් එකට ගැසීම) ආදිය දක්නට ලැබෙනු ඇත. පත්තිනි දේවාල පෙරහර තුළ විශේෂයෙන්ම කාන්තාවන් විසින් රඟදෙන කළගෙඩි නැටුම, සවරන් නැටුම, කුලු නැටුම ආදිය දක්නට ලැබෙයි. උඩරට, පහතරට, සබරගමු යන නර්ථන සම්ප්‍රදායන්ට අයත් වන නැටුම් ගැයුම් වැයුම් යන අංගයන්ගෙන් අංලකාර වන දළදා පෙරහර තුළ හේවිසි වාදනය සඳහා ලැබෙනුයේ සුවිශේෂිත භාවයකි. දළදා කරඬුව රැගත් හස්ති රාජයා වෙත සමස්ත පෙරහර තුළදී ලැබෙනුයේ සුවිශේෂිත භාවයකි. කරඬුව රැගත් හස්ති රාජයා පසුපසින් රජ ඇඳුමින් සැරසුණු දළදා මාලිගාවේ දිඩවඩන නිලමේතුමා ඔසවන ලද සුදුකුඩ සේසත් මුරායුධගත් පරිවාර ජනයා සමග ගමන් කරනු ලබයි. දළදා පෙරහර පසු පසින් පිළිවෙළින් ගමන් කරනු ලබන්නේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලවලට අයත් පෙරහර වන අතර එම පෙරහරද උඩරට, පහතරට, සබරගමු යන නර්ථන සම්ප්‍රදායන්ට අයත්වන්නාවූ නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විතවනු ලබයි.

ඒක එක් දේවාලයකට අයත්වනු ලබන පෙරහර අවසානයේ දී ඊට පසු පසින් අදාළ දෙවියන්ගේ ආභරණයන් රන්සිව් ගෙයක තැන්පත් කර ඇතෙකු පිට වැඩමවනු ලබයි. අදාළ දේවාලයේ බස්නායක නිලමෙතුමන්ලාද නිලමෙ ඇඳුමින් සැරසී තම තමන්ට අයත්වන දේවාල පෙරහර අවසානයේ ගමන් කරනු ලබයි. කතරගම දේවාල පෙරහර තුළ කාවාඩි නැටුම් විශේෂයද රඟ දක්වනු ලබයි.

දළදා පෙරහර හා සතර මහා දේවාල පෙරහර යන පෙරහර අවසානයේදී ඊට පසු පසින් දෙවියන්ගේ රන්දෝලි (පල්ලැක්කි) රන් කලස් කඩු හා ආභරණ රැගෙන යනු ලබයි.

පෙරහර අවසානයේදී ද නැකත් වෙඩිල්ලක් ශබ්ද කරනු ලබන අතර අනතුරුව සිදුවනු ලබන්නේ මාලිගාවේ පෙරහර දළදා මාලිගාව සඳහා ගෙවැදීමය.

දිය කැපීම දළදා පෙරහර අවසන් වනුයේ දිය කැපීම නම්වූ චාරිත්‍ර මංගල්‍යයෙන් අනතුරුවය. දිය කැපීම සිදුවනු ලබන්නේ මහවැලි ගඟේ ගැටඹේ තොටේදීය. අවසන් දින රන්දෝලි පෙරහර පැවැත්වූ රාත්‍රියෙන් පසුව අලුයම පැවැත්වෙන දිය කැපීමේ පෙරහර දිය කැපුම් තොටට පැමිණි විට සරසන ලද ඔරුවකින් කපු රාළලා ගඟ මැදට යනු ලබයි. අනතුරුව අලුයම් වෙලාවෙහි රන් කඩුවකින් දිය මතට ගසනු ලබයි. මෙම අවස්ථාවෙහි ඊට පෙර අවුරුද්දේ දිය කැපීම මගින් ලබාගත් ජලය රන් කෙණ්ඩියකට පුරවා ගනු ලබයි. අනතුරුව කපුරාළලා විසින් අෂ්ටකයන් හා ජයමංගල ගාථා ප්‍රකාශ කර දේවාභරණයන් හා රන් කෙණ්ඩිය ආපසු දේවාලය කරා ගෙන එනු ලබයි. රන් ;කණ්ඩියෙහි ඇති ජලය ඊළඟ වසරේ එන දළදා මංගල්‍ය වනතුරුම සුරක්ෂිතව තබාගනු ලබයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.