Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා තේවා මුරය මෙවර අස්ගිරි මහා විහාරයට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිදු තේවාව බාරව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ සඟරුවන පත්වීමේ තේවා මුර චාරිත්‍රය ඇසැළ පුර පසළොස්වක පෝය දින ශ්‍රී දළදා මාලිගාවේදි පැවැත්විණි.

එම චාරිත්‍රය අනුව 2010 වර්ෂයේ ඇසැළ පෝදින සිට ලබන (2011 ) වසරේ ඇසැළ පෝය දින දක්වා ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිදු තේවාව පැවැත්වීම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳු තේවාව බාර නා හිමි ලෙස චාරිත්‍රය අනුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් වැඩසිටින අතර, අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික ගෙඩිගේ විහාරාධිවාසි පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති , ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි, අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරිය මහා විහාර පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද, මහනුවර නාථ දේවාල විහාරාධිවාසි අස්ගිරි මහා විහාර පිරිවෙනේ ධර්මාචාර්ය ඇතිපොල මහින්ද, ඇතුල්ගම ධම්මදස්සි යන හිමිවරුද අස්ගිරි මහනාහිමියන් සමග තේවාව සිදු කරනු ඇත. ඇසැළ පෝය දිනයෙන් තේවා මුරය බාරව ශ්‍රී දළදා මාලිගාවේ තේවාව ඉටුකළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් තේවාව භාරව වැඩම කළ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු තේවා කාර්ය මණ්ඩලයත් තේවාව මුරය භාරගැනීමේ අවස්ථාවට සහභාගිවූහ.

තේවාවට පත්වූ අස්ගිරි මහා විහාරයීය සංරත්නය ශ්‍රී දළදා මාලිගාවේ වස් එළඹීමද එදින සිදු කැරිණි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.