Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුටුම්බය හෙවත් පවුල පිළිබඳ සංකල්පය, පුද්ගල හා සමාජ ජීවිතයෙහි අත්‍යන්තයෙන් පරිශුද්ධ සංස්ථාවකි. මෙතරම් දුරකට යැයි සීමා දැක්විය නොහැකි වුවත්, පවුල් සංස්ථාව නමැති පරිශුද්ධ බැඳීමේ රන්හුය දෙදරා යෑම මගින් මනුෂ්‍යත්වය පිළිබඳ සංස්කෘතික සහ සමාජ ප්‍රගතිය විනිශ්චයට ලක්කරනු ලැබ තිබේ.

මේ සංකල්පය පංච ශීලයේ තුන්වැනි ශික්ෂා පදයෙන් ආවරණය වෙයි. එය පුද්ගලයකු මෛතුන චර්යාව පිළිබඳ සාවද්‍ය හැසිරීමෙන් වැළකීම සමඟ බැඳී පවතී. මේ ශික්ෂා පදයට අනුව , කිසිම පුද්ගලයකුට කවර හැටියෙන් හෝ පුද්ගලයකුගේ කුටුම්බ සංරක්ෂණයේ සොම්නසට සහ ඒකාත්මභාවයට අවහිර කිරීමට අයිතියක් නැත.

මේ ශික්ෂා පදයෙන් දැක්වෙන උපදේශයෙන් , ඕනෑම ලිහිල් ආකෘතියකින් වුවත් කුටුම්බයක සැලසුම් කරන ලද අත්‍යන්තයෙන් අනර්ථදායක සහ අසීමිත ව්‍යසනයේ ව්‍යාප්තිය හා නිෂ්ඵලත්වය, නිවැරදිව සිතන ඕනෑ ම පුද්ගලයකුට දකින්නට හැකි විය යුතුය. එබැවින් යම් සමාජයක ජීවත් වන කවරකු විසින් හෝ කරන ලද කවර හෝ රහස්, නැතහොත් සාවද්‍ය මෛථූන සේවනය සමාජයේ යථාවාදී නියමයට එරෙහි බරපතළ අපරාධයකි. මේ ගැන බෞද්ධ ග්‍රන්ථයන්හි තරයේ අවධාරණය කර ඇත. එකී නියමය හෙවත් පිළිවෙත උල්ලංඝනය කිරීමෙන් පුද්ගලයා පිරිහීමට මුහුණ පානවා පමණක් නොව සමෘද්ධිය සහ ගෞරවය කෙලෙසීමට ද හේතු වනු ඇත. ඉක්බිති ඒ පසුපස පුද්ගලයා වෙත උපරිම ව්‍යසනය හඹා යන අතර, සමාජ ව්‍යුහය ද මහා පරිමාණයෙන් දෙදරා යනුත් නියතය.

හැම කෙනෙකුටම මේ සමාජ උවදුරින් අත්මිදෙනු පිණිස බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් කෙළින්ම උපදෙස් දෙනු ලැබේ. බයිබලයේ කියැවෙන පරිදි ගැහැනිය මිනිසාගෙන් ප්‍රතිපක්ෂ වූයේ දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ ඉලඇටයකින් ගැහැනිය මැවූදා පටන්ය. ඒ අනුව මිනිසාත්, ගැහැනියත් විවාහයෙන් ඒකමාංශිකවීම සංකේතවත් වන්නේ සේය.

ඒ නිසා බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ විසින් පළමුවෙන් මවනු ලැබු මිනිසා හෙවත් ආදම් මෙසේ කියයි. “දැන් මේ සිටින්නි මගේ ඉලඇට වලින් එකකි. මගේ මාංශයෙන් කොටසකි. එබැවින් ඇය මිනිසාගෙන් (මනුෂ්‍ය =මානුස =මනු= MAN ) පිටතට ගන්නා ලද්දක් හෙයින් WOMAN (මානුසී) වන්නීය. ඒ අනුව මිනිසාට සිය පියාත්, මවත් අත්හැර යනු හැකිය. ඔහුගේ බිරිඳ කෙරෙහි ආලග්න හෙවත් තරයේ ඇලෙන්නට පුළුවන. ඒකාත්මික හෙවත් ඒකමාංශික වන්නට හැකිය.”

විවාහයේදී සැමියාත්, බිරිඳත් වෙන වෙනම “ හුදු මමත්ව අනන්‍යත්වයට “ වඩා “ ද්විත්ව අනන්‍යත්වය “ ගැන සිතිය යුතුය. මේ ද්විත්ව අනන්‍යත්වය, අනුරංජන අන්තර් සංයුක්තයකි. එබැවින් අඹුසැමි දෙපක්ෂය ම සිය සුවසෙත වෙනුවෙන් කැපවීම එකෙකාගේ වගකීමකි, යුතුකමකි. විවාහයේ සුරක්ෂණය සහ තෘප්ත සන්තුෂ්ටිය තහවුරු විය හැක්කේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ අනුකූ®ලතාවෙනි.

විවාහ ජීවිතයේ සන්තුෂ්ටිය හෝ සීහුම සඳහා කෙටිමං නැත. ඇතැම් විට අනවබෝධය හෝ සාවද්‍ය ලෙස තේරුම් ගැනීම, ද්වේෂය,කෝපය සහ සැකය මෝරා යන්නට පුළුවන. එවන් චිත්තාවේග සමනය පිණිස අවබෝධය, අනුකූලත්වය සහ ඉවසීම වුවමනාය. දෙපිලම එකෙකා කෙරෙහි අන්‍යෝන්‍ය ගෞරවය, ආදරය සහ අනුකූලත්වයෙන් ක්‍රියා කිරීම මගින් සත්‍යවාදි පුද්ගලයන් වීමට උත්සාහ දැරිය යුතුය. සාර්ථක සහ ජයග්‍රාහී විවාහයකදී අඹුසැමි දෙදෙනා එකෙකා හැම විට ම තම තමාට හිතුමතේ කටයුතු කිරීමට උත්සාහ නොකළ යුතුය.

දෙදෙනා විසින් හැම විට ම අනන්‍ය ජීවන මඟක පියනැගීම පහසු නොවේ. එය විසම වළගොඩැලි සහිත එකක් විය හැකිය. ඇතැම් විට හැලහැප්පීම් ඇතිවීම පුදුමයක් නොවේ.

අඹුසැමියෝ ඔවුන්ගේ දෛනික දිවි පෙවෙතේදී දුක සැප එක සේ බෙදාහදා දරා ගන්නට උගත් යුත්තෝය. අතරමඟ බොරු වළවල් තිබිය හැකිය. විවාහ ජීවන මංපෙත හමුවේ දෙපසේම මිතුරන් නොයෙක් වෙස්මුහුණින් සැරසී සුහද සංවාද , සමාගම් සහ හවුල් ඔස්සේ සිහින මාලිගා මවන්නට යත්න දරනු ඇත. ඇතැම් මිතුරන් සිය සගයකු මීවිතින් “ ගොනාට අන්දන්නට “ මුරුංගා අත්තේ තබන්නට “ පුළුවන. ඉදින් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට වුවමනා නම්, ඔබ නිතරම එවන් බොරු වළවල් කෙරෙහි විපරම් සහිත විය යුතුය.ඇතැම් මිතුරකු ඔබේ නිවසින් කාමරයක් කුලියට ඉල්ලා එනු ඇත. එවන් මිත්‍රත්වයක් අඹුසැමි අර්බුදයකින් අවසන් විය හැකිය.

පොදුවේ ගත් කළ වැඩිතමයන් අඹුසැමි අර්බුද සහ කලකිරීම් පැන නගින්නේ එකකු අනෙකා සමග ඉවසිල්ලෙන් සමථයකට එළඹෙන්නට ඇති නොකැමැත්ත හෝ නොහැකියාව නිසාය. සමථයකට එළඹීමට නොහැකි වන්නට තවත් හේතු බෙහෙවින් ඇත. නිවහනේ මුවදොරින් මූදේවිය කඩාවදින විට, පෑළදොරින් සීදේවිය පලායති යි කියනු ලැබේ.ආර්ථික ගැටලු නිසා ගෙදරදොරේ නැති බරිකම් ඇති වන විට අඹුසැමියන් අතර ආදරය කෙමෙන් වියැකී යන්නට පටන් ගනු නියතය. එබැවින් අඹුසැමියෝ පවුලේ ආර්ථික ශක්තිය සහ ඒ අනුව සිය අයවැය පියවා ගැනීම ගැන මැනවින් දත යුත්තෝය. ඒ අනුව කිසියම් හදිසියකදී පිරිමසා ගන්නට ආරක්ෂිත හෝ ඉතිරි කර ගත් ධනයක් තිබිය යුතුය.

මානව ජීවිහු අධිසංවේදීහු වෙති. එබැවින් නිරායාසයෙන් හා කඩිනමින් කුපිත වන්නට මෙහෙයැවෙන වාදවිවාදයට නැඹුරු වන්නෝය. දෙපිලේ ඇත්තේ එක වර එකෙකා පරයා කෝප නොවෙත් නම් , ගැටුම් නිරාකරණය බෙහෙවින් පහසු ද, කඩිනම් ද වනු ඇත. වරක් බුදුන් වහන්සේ සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම හැම කල්හි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට අවධානය යොමු කිරීම වැදගත් බවට අනුශාසනා කළ සේක. අඹුසැමි දෙදෙනා ම සිය උපන්දින වැනි විශේෂ අවස්ථාවලදී අනුස්මරණ ත්‍යාග හුවමාරු කර ගැනීම වැදගත් තැනක් ගනී.

ඉතා සුළු අතපසු වීමකදී පවා “ ඔහෙනං හරිම මෝඩයෙක් තමා “ යි සිය සැමියාට කෝපයෙන් කඩා පනින බිරිඳක් සිටියාය. ඇගේ සැමියා ඇතැම් සැමියකු මෙන් නොව බෙහෙවින් ඉවසන සුළු විය. එබැවින් බිරිඳ කෙසේ චෝදනා කළත් කලබල වූයේ නැත. කෙසේ වෙතත් තවත් වරෙක වඩාත් කිපුණු බිරිඳ “ඔහෙනං හරිම මොට්ටයෙක් “ යැයි කියමින් සැමියාට කඩා පැන්නාය. එහෙත් කලබලයට නොපත් සැමියා “ ඒක ඇත්ත, මමත් හිතනව ඔහෙ හරි. ඔහෙ හිතනව ද,, මම මොට්ටයෙක් නොවෙයි නම්, කවද හරි ඔහෙ වගේ ගෑනියෙක් බඳියි කියල? “ මේ සැමියා කිසිදු ආකාරයක සැඬ පරුෂ බසක් නොදෙඩූ බව ඔබට හැඟෙනු ඇත.

ස්ත්‍රී පුරුෂභාවය හෙවත් ලිංගිකතාව හුදු භෞතික පී‍්‍රණන පරිත්‍යාගය ඉක්මවූවකි. එය වනාහි යාවජීව කුලුපග මිත්‍රත්වයට පදනමකි. යාවජීව කුලුපග මිත්‍රත්වයෙන් තොර තථ්‍ය පේ‍්‍රමයක් හෙවත් සැබෑ ආදරයක් තිබිය නොහැකිය. කුලුපග මිත්‍රත්වය හුදු සංකල්පයක් හෝ නිවේදනයක් නොව සංවේදනාත්මක හැඟීම් බෙදාහදා ගෙන විඳ ගැනීමකි. කුලුපග හෙවත් සහෘදත්වයෙන් තොර පතිපතිනි යුගළයෝ කාලගුණය , නවතම රූපවාහිනි වැඩසටහන්, අල්ලපු ගෙදර අඹුසැමියන්ගේ අඬදබර හෝ කලින් දින උදයේ කෑවේ මොනවා දැයි වැනි පලක් නැති මාතෘකා වෙත නැඹුරු වෙති.

පතිපත්තීහු ආදරය, පතිපතිනිවත සහ විනීතත්වය පිළිබඳ අකාලික ගුණධර්ම වගා කිරීමේලා හැම උත්සාහයක්ම දැරිය යුත්තෝය. මොන්ටේන් මෙසේ සඳහන් කරමින් විවාහ ජීවිතය ප්‍රහර්ෂණාත්මකව අගය කරයි. එනම්, “ සාර්ථක විවාහයක් වනාහි අඳ බිරිඳක සහ බිහිරි සැමියකු අතර ගිවිසුමකි. “

තවත් කියුමකින් විවාහය මෙසේ විවරණය කැරේ’ එනම්, “වෙසෙසින්ම ආකර්ෂණීය සහකාරයකු හෝ සහකාරියක අතර සිදුවන විවාහය පරණ මොටෝරියක් මිලදී ගැනීම වැන්නකි. ඇයි ද යත්, ඒ දෙකින්ම අමතර වගකීම් ගොන්නකට කර ගැසීමක් සිදුවන හෙයිනි.

වරක් වසර ගණනාවක් විවාහ ජීවිතය ගත කළ එක්තරා මැදිවියේ පුද්ගලයෙක්, සිය බිරිඳගෙන් තෘප්තිමත් නොවූයේ, රූමත් සහ තරුණ කාන්තාවක දෙවන බිරිඳ ලෙස කැඳවන්නට තීරණය කළේය.

එහෙත් දෙවන බිරිඳ සිය සැමියාගේ පැසුණු කෙසින් යුත් හිස නිසා ඇති වුණු වියපත් පෙනුම රිස්සුවේ නැත. එබැවින් සිය සැමියා කෙරෙහි තරුණ පෙනුමක් ගන්වනු පිණිස ලද හැම විටකම සැමියාගේ සුදුකෙස් ගලවා දමන්නට වෙහෙස ගත්තාය. ඉක්බිති එය දුටු පළමු බිරිඳ කළුකෙස් ගලවා දමන්නට යුහුසුලු වුවාය. ඒ සැමියාගේ වියපත් බව රැකගනු පිණිසයි. බිරියන් දෙදෙනා අතර මේ තරගය දිගින් දිගට යන විට සැමියාගේ හිසෙහි කළු හෝ සුදු එක කෙස්ගසක්වත් ඉතිරි නොවුයෙන් ඔහු තට්ටයකු බවට පත්විය.

අඹුසැමියන් අතර එකෙකා තේරුම් නොගැනීමේ වරදින් වැඩි දියුණු වන ඇබ්බැහිකම් පවුල් ජීවිතය අසාර්ථකවීමට බලපාන ආකාරය විවරණය කැරෙන අපුර්ව කතාපුවත් සමාජගතව ඇත. එයින් තවත් එකක් මෙසේ කියයි. විවාහයෙන් පසු පළමු දසවසර පුරා සැමියා කතා කරයි. බිරිඳ අසා සිටියි. දෙවැනි දස වසර පුරා බිරිඳ කතා කරයි. සැමියා අසා සිටී. ඉක්බිති තුන් වැනි දස වසර පුරා සැමියාත්, බිරිඳත් යන දෙදෙනාම එකවර කතා කරති. අන්තිමට කිසිවක් තේරෙන්නේ නැත. එහෙත් ඔවුහු කුමක් කියත් දැයි තේරුම් ගනු පිණිස අසල්වැසියෝ අසා සිටිති.!

වසර 2500 ක් ඉක්මවා ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගතවී ඇති සාම්ප්‍රදායික සිංහල විවාහ උත්සවය වන්නේ පෝ්රුව චාරිත්‍රයයි. එය සමාජ, සංස්කෘතික සහ ආධ්‍යාත්මික අංගයන්ගේ මිශ්‍රණයක් මිස ආගමික උත්සවයක් නොවන අතර සිංහල සහ බෞද්ධ වත්පිළිවෙත්හි සම්මිශ්‍රණයකි.

විවාහ උත්සවයේදී මනාල යුවළ පෝරුවට නැංවීම සාම්ප්‍රදායික චාරිත්‍රයකි. පෝරුව යනු පුවරු යන්නෙන් තත්භව, ඵලකය හෙවත් ලෑල්ල, යන අරුත් නංවන පදයි. පුරාතන අභිෂේක උත්සව පවත්වන ලද්දේ අදාළ පුද්ගලයන් හෝ වස්තු දිඹුල් (අත්තික්කා) නම් වූ විශේෂ ගසක ලෑල්ලක් මත පිහිටුවමිනි. යුවතිපතියන්ගේ අතිනත් ගැනීම හෙවත් අභිෂේකය සිදුකැරෙන පෝරුවේ ආකෘතියෙන් සංකේතවත් වන්නේ පවුලක් ලෙස අලුත් ගෘහ ජීවිතයකට සම්ප්‍රාප්තිය යි.

(2010.03.29 වනදා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද පූජ්‍ය ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද හිමියන්ගේ Buddhist view of marriage  මැයින් වූ ලිපියේ පරිවර්තනයකි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.