UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ධම්මානන්ද බුද්ධරක්‍ඛිතවංසාලංකාර විශ්වකීර්ති ශ්‍රී පණ්ඩිත ගෞරව නාමය සහිත මහෝපාධ්‍යාය ධූරය හා අනු නායක පදවිය ලද ඌවපරණගම විහාරගොඩ දිඹුලාන පුරාණ මහා විහාරාධිපති, ශ්‍රී ධම්මානන්ද පරිවේණාධ්‍යක්‍ෂ

යාලගමුවේ ධම්මිස්සර නා හිමි


විද්වත් මහ තෙර නමකි

බෞද්ධ ජීවිතයක පරමාදර්ශය භික්‍ෂූත්වයයි. ආත්මාර්ථ වශයෙන් මෙන්ම ඓහලෞකික පාරලෞකික වශයෙන් උභයාර්ථ සාධනය පිණිස තම ජීවිතය කැප කිරීම භික්‍ෂු ජීවිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි. විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේ ගිහි සමාජය මගින් යැපෙන පිරිසක් ලෙස උන්වහන්සේ තුළ තිබිය යුතු ආකල්ප හා ප්‍රතිපත්ති රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එකී තථාගත වචනය මත පිහිටා වර්ෂ 2500 තුළ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා භික්‍ෂූන් වහන්සේගෙන් සිදු වූ සේවය ඉතා විශාලය.


යාලගමුවේ ධම්මිස්සර හිමියන් උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ධම්මිස්සර අනු නා හිමියන් වෙත විජිනිපත පිළිගැන්වූ අයුරු. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ ද මෙහි වෙති.

ඡායාරූපය - සුදත් සිල්වා

පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනය ආරක්‍ෂා කිරීමට අපේ සංඝ සමාජය දැරූ ප්‍රයත්නය නිසා දැනුදු ත්‍රිපිටකධර ප්‍රතිපත්ති ගරුක භික්‍ෂූන් වහන්සේලාගෙන් සංඝ සමාජය පරිපූර්ණව පවතී.

ප්‍රතිබල සම්පන්න භික්‍ෂූන් වහන්සේලාගේ නායකත්වය අනුගාමිකයන්ගේ ශුභ සිද්ධිය සඳහා ඉවහල් වන්නේමය. ඒ අනුව එවන් භික්‍ෂූන් වහන්සේලාට යෝග්‍ය පදවි තනතුරු පිරිනැමීම ශාසන ඉතිහාසයේ ආරම්භයේ සිට පැවත එන පිළිවෙතක් බව කිව යුතු ය.

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිලාභි යාලගමුවේ ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය මනාව හදාරා විශ්වවිද්‍යා හා විවිධ ආයතනවලින් ඒ පිළිබඳ විවිධ උපාධි දිනාගෙන සිටින විද්වත් මහතෙර නමකි.

උඩරට අමරපුර නිකායේ විහාරගොඩ සඟපරපුරේ මූලස්ථාන විහාරයේ ආධිපත්‍යය දරණ යාලගමුවේ ධම්මිස්සර මහ ස්ථවිරයන් වහන්සේ විශාල ලෝක ශාසනික සේවයක් සලසන බව අවධාරණය කළ යුතු ය. අතිපූජ්‍ය මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ උඩරට අමරපුර නිකාය මගින් උන්වහන්සේ වෙත පිරිනමන ලද උඩරට අමරපුර මහානිකායේ අනුනායක පදවිය ප්‍රදානය පිළිබඳ අපගේ ද ප්‍රසාදය පළ කරන අතර ස්ව නිකායටත් සම්බුද්ධ ශාසනයටත් සුවිශාල මෙහෙවරක් සැලසීමට උන්වහන්සේට රත්නත්‍රයානුභාවයෙන් ආයුරාරෝග්‍යාදී සම්පත් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


ගරු බුහුමනට පාත්‍රව සිටිති

ව්‍යක්ත බව, විශාරදත්වය, බහුශ්‍රැතබව, ධර්මධර වීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි යෙදීම සංඝ ශෝභන ගුණයන් ය. මෙම උදාර ගුණයන්ගෙන් පිරිපුන් උතුමෝ සංඝ නායකත්වයට සාකල්‍යයෙන්ම යෝග්‍ය වෙති. උචිත නායකත්ව ගුණයන්ගෙන් සමන්විත සුපේෂල ශික්‍ෂාකාමී උගත් පඬිවරයෙකු වන යාලගමුවේ ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලොකු කුඩා හැමදෙනා අතර ගරුබුහුමනට පාත්‍රව සිටිති. සෘජු පිළිවෙත්හි යෙදෙන මෙබඳු යතින්ද්‍රයන් වහන්සේ නමක් අනුනායක පදවියෙන් පිදුම් ලබන මෙවන් වැදගත් අවස්ථාවකදී ආශිර්වාද පිරිනැමීමට ලැබීම බලවත් සතුටට කරුණක් වේ. ශ්‍රී ලාංකික සංස්කෘතිය අනුව කවදත් ගමට රටට ආගමික නායකත්වයක් ලබාදුන්නේ භික්‍ෂූන් වහන්සේලා ය. ස්වදේශිකයන් අතර සමඟිය, සාමදානය මෙන්ම සදාචාරය ද වර්ධනය වී ගම රට ආලෝකමත් වීමට සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා බෙහෙවින්ම උපකාරී විය. රටදැය සමයට හිතවත්ව ක්‍රියාකරන ජාති වාත්සල්‍යය, දේශ වාත්සල්‍යය මෙන්ම දේශමාමකත්වය ජනතාව තුළ ජනිත වන්නේ සංඝනායකයාණන් වහන්සේලාගේ සදුපදේශයන් කරණ කොට ගෙන ය. පස් පව් දස අකුශලයෙන් තොර සමාජයක් ඇති කිරිමෙහිලා භික්‍ෂුව ඉටුකර ඇත්තේ සුවිශාල කාර්යභාරයකි. මුදල් නිලතල හා වරප්‍රසාද වෙනුවට ගුණධර්මයන් ඉදිරියට ගෙන ඒමට හැමදෙනා සහාය ලබාදිය යුතු වේ. මිනිසා අගය කළ යුත්තේ ඔහු සතු සිල්වත් ගුණවත්කම් ප්‍රධාන නිර්ණායකය කොට ගෙන ය. ගුණ ණැන දෙකෙන් පිරිපුන් මානව පිරිසක් ඇති කිරීමට නායකත්වය ගම් මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා ලබාදීම යුගයේ අවශ්‍යතාවයකි. එබඳු මහඟු සමාජ සත්කාරයක් කිරීමට අභිනව සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළ මෙහෙවරට තවත් ශක්තිමත් වීමක් මෙම පදවි ප්‍රදානය මඟින් සිදුවේ. පොදු ජනතාවගේ දුකේදී පිහිටවන කැළඹුන සිත් පිරිසුදු කරන යාලගමුවේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ වැනි යතිවරයන් වහන්සේලා භික්‍ෂු චිරස්ථිතිය ඇති කරන්නෝ වෙති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය පවත්වාගෙන යන්නෝ වෙති. සදහම් සිතුවිලි වලින් ජනමනස පුබුදුකරමින් රට දැය සමයට සුවිශාල මෙහෙයක් ඉටු කිරීමට අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති පණ්ඩිත යාලගමුවේ ධම්මිස්සර ස්ථවිරයන් වහන්සේට තුණුරුවන්ගේ ආශිර්වාද ලැබේවා .


ශාසනික පදවියක් පිරිනැමීම අගය කරනවා

ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්පහ විහාරගොඩ දිඹුලාන පුරාණ මහාවිහාරය ඇතුළු සප්තමහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය යාලගමුවේ ධම්මිස්සර නායක මහා ස්ථවිරයන් වහන්සේට ශ්‍රී ධම්මානන්ද බුද්ධරක්ඛිත වංසාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත යන ගරු නාම සම්මුතිය හා මහෝපාධ්‍යාය ධූරයද සහිත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනමා ඇත.

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු සිත් දිනා ගෙන පිරිවෙන් අවසාන ද්විතියාංශ විභාගය ඉතා උසස් ලෙස සමත්ව පිරිවෙන් ගුරුවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළ උන්වහන්සේගේ සේවය ලංකාවට පමණක් සීමා නොවී ජපානය ඇතුළු විදේශ රටවලටද පැතිරීගොස් ඇති බැවින් උන්වහන්සේට ශාසනික පදවියක් පිරිනැමීම අගය කරන අතර ඒ පිළිබඳව අපගේද අනුමැතිය හා ප්‍රසාදය මෙයින් පළ කරමි.

ලැබූ ශාසනික පදවියේ කටයුතු වඩාත් හොඳින් කිරීමට ධම්මිස්සර මහාස්ථවිරයන් වහන්සේට රත්නත්‍රයේ පිහිටාරක්‍ෂාවත් ආයුරාරෝග්‍ය සම්පත්තියත් ලැබේවායි ශ්‍රී ලංකා අමරපුර මහානිකාය වෙනුවෙන් ප්‍රාර්ථනා කරම්හ.


සමාජයීය අවශ්‍යතා ඉටු කිරීමක්

ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ යාලගමුව නම් ඓතිහාසික ඉපැරණි ගම්මානයේ උපත ලද යාලගමුවේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ පූජ්‍යතර මහානායක හිමිපාණන් වහන්සේ විසින් දෙවාවදාරන්නට යෙදුණු එහි අනුනායක පදවිය පිළිබඳ බලවත් සතුටට පත්වෙමි. ශාසනයට මෙන්ම රටට ද තරුණ භික්ෂූ නායකත්වය අවශ්‍යම යුගයක මෙම පදවි ප්‍රදානය සමාජයීය අවශ්‍යතාවයන් ඉටු කිරීමක් බවද මම සිතමි. විද්‍යෝදය මහා පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වන උන්වහන්සේ ජපානයේ තකෝෂි හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්ව ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ලබා ඇත.

අභිනව පදවිය උන්වහන්සේ නිසා බැබළෙනු ඇත. මෙහි ආලෝකය සම්මා සම්බුද්ධ ශාසනයටත් සමස්ත බෞද්ධ ජනතාවටත් නියත වශයෙන් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ සඳහා වැඩ වැඩුමට ගෞරවාස්පද යාලගමුවේ ධම්මිස්සර අභිනව නායක ස්වාමින් වහන්සේට චිර ජීවනය සහ නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.


වියත් දක්ෂ යතිවරයෙකි

අතිපූජ්‍ය විදුරුපොල පියතිස්ස මහා නාහිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වූ උඩරට අමරපුර මහා නිකායේ වියත් සඟපුර අද දක්වාත් ශාසනාම්භරයේ දිදුලන තාරකාවක් මෙන් බැබළෙමින් සිදුකරන සේවය නිසා අප සඟ පරපුරට වර්තමාන ශ්‍රී ලංකා භික්ෂු ශාසනයේ හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. විද්‍යෝදය මහ පිරිවෙනෙන් ශබ්ද ශාස්ත්‍රය හදාරා උසස් ලෙස පිරිවෙන් අවසාන ද්විතියාංශයෙන් උත්තීර්ණ වූ යාලගමුවේ ධම්මිස්සර ස්ථවිරයන් බදුලු දිස්ත්‍රික්කයේ විහාරගොඩ ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙනෙහි ගුරුවරයෙකු පරිවේණාධිපති කෙනෙකු මෙන්ම දැනට එහි අධ්‍යක්ෂ වශයෙන් ද ක්‍රියා කරන අතර, බදුලු දිස්ත්‍රික්කයේ ඌව පරණගම විහාරගොඩ දිඹුලාන පුරාණ මහා විහාරය, ජපානයේ  TOKYO  සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථාන හතක ආධිපත්‍යය දරමින් තරුණ, උගත් වියත් දක්ෂ යතිවරයෙකු වශයෙන් කරන ජාතික, ආගමික, අමිල සේවාවන් කෙරෙහි ප්‍රසාදයට පත් අප විනයවාදිනි කාරක සංඝ සභාව වෙතින් ශ්‍රී ධම්මානන්ද බුද්ධ රක්ඛිත වංසාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත යන ගෞරව නාම සම්මුතිය සහිතව මහෝපාධ්‍යාය ධූරය හා අනුනායක පදවිය පිරිනමන්නට යෙදුණි. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය 2010.07.23 දින ප.ව. 2.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබිණි. යාලගමුවේ ධම්මිස්සර අනුනායක මහා ස්ථවිරයන්ට තව තවත් ලෝක ශාසනික කටයුතු කිරීමට ත්‍රිවිධ රත්නයේ පිහිටාරක්ෂාව හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි මෙත් සිත් පෙරටුව ආශිංසනය කරමි.


බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යුතු යි

බදුල්ල ඌව පරණගම ගම්පහ විහාරගොඩ දිඹුලාන පුරාණ මහා විහාරාධිපති ජපානයේ ටෝකියෝ සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජපන් ලංකා සංස්කෘතික සහ සමාජ සංවර්ධන පදනමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක යාලගමුවේ ධම්මිස්සර ස්වාමිපාදයාණන් වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාව මගින් එම නිකායේ අනුනායක ධූරය ප්‍රදානය කිරීම නිමිතිකොට සිදු කෙරෙන උපහාර උත්සවයේදී සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ අතිශය සතුටට පත්වෙමි ධම්මිස්සර ස්වාමිපාදයාණන් වහන්සේ. ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ ඉහළ දැනුමක් ලබා රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ ජපානයේ තයිෂෝ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලැබූහ. පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නාහිමිපාණන් ඉංගී‍්‍රසි හා ජපන් භාෂාව පිළිබඳ හසල දැනුමක් ලැබීම හේතු කොට ගෙන ජපානය ඇතුළු විවිධ රටවල තථාගත ධර්මය ප්‍රචාරය කිරීමේ යුග මෙහෙවරෙහි නියැළීම පිළිබඳ බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍රවිය යුතුයි. තම විහාරස්ථානය අංග සම්පූර්ණ බෞද්ධායතනයක් බවට පත්කළ උන්වහන්සේ ස්වකීය දායක කාරකාදීන්ගේ නොමද ප්‍රසාදයද දිනාගෙන ඇත. උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනි කාරක සංඝ සභාවට ඉතා තරුණ වියේදීම තෝරාපත්කරගනු ලැබූ හෙයින් ස්වනිකාය උදෙසා විශිෂ්ට සේවාවක යෙදීමට හැකිවිය.යාලගමුවේ ධම්මිස්සර හිමිපාණන් සතු විවිධ හැකියාවන් තේරුම්ගත් අතිගරු මහානායක හිමිපාණන් ප්‍රමුඛ එම නිකායේ සංඝ සභාව මගින් උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරයට උන්වහන්සේ පත්කිරීම එම නිකායේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නේය. ලෝක ශාසනික වශයෙන් උන්වහන්සේ ඉටුකරන සියලු කාර්යයන් තව තවත් ශක්තිමත්ව ඉදිරියට ඉටුකරගැනීම සඳහා මෙම පදවිය හේතු විය යුතුය.

සියලු ලෝකශාසනික සද් කාර්යයන් නිරුපද්‍රිතව ඉටුකරගෙන යාමට අවශ්‍ය කායික මානසික ශක්තියත් චිරජීවනයත් තෙරුවන් සරණින් ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.


ඉටු කළ සේවය අනුපමේය යි

ශ්‍රී ලංකාවේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම සඳහා සියවස් විස්සකට ආසන්න කාලයක් පුරෝගාමී මෙහෙවරක නිරත වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. අතීතයේ සිට ශාසනයට එරෙහිව එල්ල වූ විවිධ අභියෝගයන් හමුවේ තම ජීවිත පරිත්‍යාගයෙන් එඩිතරව ක්‍රියාකාරීවූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිසා අදත් නිර්මල බුදු දහම සුරක්ෂිතව පවතී. වර්තමානයේ මෙම ක්‍රියාදාමයට ඇපකැප වී ක්‍රියාකරන භික්ෂූන් වහන්සේලා අතර ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වහන්සේ නමකි ශාස්ත්‍රපති පණ්ඩිත යාලගමුවේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ.

සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් උන්නතිය වෙනුවෙන් එදා මෙදාතුර තම දිවි කැපකළ ගිහි පැවිදි විශාල පිරිසකට ජන්ම භූ®මිය වූ ඌව පළාතේ යාලගමුව නම් සුන්දර ගම් පියස නිජබිම කරගත් ධම්මිස්සර හිමිපාණන් වහන්සේ බදුල්ල විහාරගොඩ පිරිවෙනේ සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් විද්‍යාස්ථානයක් වන කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින්ද පැවිද්දෙකුට අවශ්‍ය ශික්‍ෂණය ලබා දැන උගත් තෙර නමක් බවට පත්වූහ. තම ගුරුදේවයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරගොඩ දිඹුලාන පුරාණ මහා විහාරාධිපති පදවි ඇතුළු විහාරස්ථාන හතක අධිපතිත්වයට පත්වූහ.

ගම්බද ප්‍රදේශවල ජීවත් වන අසරණ ජනතාවට අධ්‍යාපනික, සෞඛ්‍ය හා ආර්ථික උපකාර ලබා දෙමින් ඔවුන් ශක්තිමත් කරමින් උදාර වූ ජාතික හා සාමාජික සේවාවක ද නිරතවෙමින් තම පන්සල කේන්ද්‍ර කොට ගෙන විවිධ සමිති සමාගම් අරඹා සමාජ සුබසාධනය සඳහාද අනූපමේය සේවාවක ද නිරත වෙති.

පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නාහිමිපාණන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටි සුපේශල ශික්ෂාකාමී ආදර්ශ සම්පන්න යතිවරයෙකි.

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවියට පත්වීමෙන් පසු එම පාර්ශ්වයට අයත් විහාරස්ථාන මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙහෙවර ද උන්වහන්සේගේ අවධානයට යොමුවිය යුතුය.

උන් වහන්සේගේ මෙම උදාර වූ ගුණ සමුදාය අගයමින් පූජෝපහාර දැක්වීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ දායක කාරකාදින්ගේ ඉදිරිපත්වීම ප්‍රශංසනීය වූ කාලෝචිත වැදගත් පියවරක් ලෙස මම අගය කරමි. ජාතික , ජාත්‍යන්තර මෙන්ම ලෝක ශාසනික සේවාවක් කරන්නට උන්වහන්සේට උතුම් තෙරුවන් සරණින් සියලු ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]