UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ පුනර්ජීවයේ නිර්මාතෘ වූ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා‍

 සමාජ අසාධාරණකම් හා සීමාවන් රහිත,ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ආගම් කෙරෙහි ඔවුන් ගේ අවධානය ක්‍රම ක්‍රමයෙන් යොමු වන්නට යෙදුණත්, එය එකම ප්‍රයත්නයක් වශයෙන් සිදු නො විණි. ඇම්බෙඩ්කාර් තුමා යටතේ එකම දිනක දහස් ගණනින් රොක් වී එකවර බුදු දහම වැළඳ ගැනීම අතිශයින්ම ආශ්චර්යවත් සිදුවීමක් වීය.

මීට වසර පනස් හතරකට පෙර, භාරතයේ මහාරාෂ්ට්‍ර ජනතාවට අති විශිෂ්ට දිනයක් උදා වීය. ඒ නම්, භාරතයේ මහාරාෂ්ට්‍රයට එක් රැස් වු දහස් ගණන් මහාර් කුලහීනයන් (ස්පර්ශ නොකළ යුත්තන් ) හෙවත් මහත්මා ගාන්ධිතුමා විසින් “හරිජන්” (දෙවියන් ගේ දරුවෝ) නමින් හඳුන්වනු ලැබූ ජනකොටස, හින්දු ආගම සහමුලින්ම අත්හැර, ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් තුමාගේ නායකත්වය යටතේ බුදු දහම වැළඳ ගනු ලැබුවේ 1956 ඔක්තෝබර් 14 වන දින වන නිසාය.

මෙම කුලහීන ජන කොටස තුළින් ඉස් මතු වු අම්බෙඩ්කාර් තුමා මහාර් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයා වූවා පමණක් නො ව, අග්‍රඝනයේ බුද්ධිමතෙකු හා නීතිවේදියකු ද වූ එතුමා 1950 ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ද වූවේය. එම ව්‍යවස්ථාවේ 17 වන වගන්තියෙන් සර්පශ නොකළ යුත්තන් (untouchables) යනුවෙන් ජන කොටසක් වෙන්කොට තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූ අතර, 1955 කුලහීන (වැරැදි පිළිබඳ) පනතින්, එවැනි ප්‍රතිපත්තියක් තවත් දුර පවත්වාගෙන යන්නන්හට බරපතළ දඬුවම් නියම කරන්නට ද යෙදුණි.

මහාරාෂ්ට්‍රයේ හරිජන් ජනගහනයෙන් බහුතරය වූවේ මහර්වරුන්ය. ඔවුන් අතරින් ප්‍රබල ස්තම්භයක් මෙන් නැගී සිටි අම්බෙඩ්කාර්තුමා තම ජන කොටසට සමාජ සාධාරණය අත් පත් කර දීම සඳහා ගත හැකිව තිබුණු සියලුම පියවර ගත්තේය.

කුල ක්‍රමයේ පහත්ම මට්ටමක සිටි හරිජන් ජනතාව තුළ සංකල්පවේදීය වෙනසක් ඇති කොට කුලවාදය (වර්ණ) අනුව ජනතාව වෙන් කොට සැලකීම ඉන්දියානු සමාජයෙන් අතුගා දමන්නට අම්බෙඩ්කාර් තුමා කටයුතු කළේය.

කුලවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බුදුදහම හරිජන්වරුන් ට හොඳ සෙවනක් වීම පුදුමයක් නො වීය. ඉන්දියානු හරිජන්වරු නිරන්තරයෙන්ම පිළිකුලෙන් යුතුව සමාජයෙන් කොන් කරනු ලැබූහ. මහාර් බෞද්ධ ව්‍යාපාරයට නව පණක් එක්කරමින් 1920 දී පමණ අම්බෙඩ්කාර්තුමා එහි නියමුවා වන තෙක්, හින්දු සමාජයේ හරිජන්වරුන් ට හිමි වූයේ “ අපවිත්‍ර” යැයි සැලකුණු වැඩ කටයුතුවල නිරත වීම පමණක් වූ අතර, ජීවත් වූවේ ද ගම් අද්දරවලට සීමා වී ය. කුලවත් හින්දුවරුන් සමග කිසිඳු සබඳකමක් පවත්වන්නට ඔවුන්ට ඉඩක් නො ලැබුණා පමණක් නොව හින්දු සිද්ධස්ථාන වලටද ඔවුන්ට ප්‍රවේශයක් නො ලැබුණි.

මෙවැනි සමාජ අසාධාරණකම් හා සීමාවන් රහිත, ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ආගම් කෙරෙහි ඔවුන් ගේ අවධානය ක්‍රම ක්‍රමයෙන් යොමු වන්නට යෙදුණත්, එය එකම ප්‍රයත්නයක් වශයෙන් සිදු නො වුණි. ඇම්බෙඩ්කාර් තුමා යටතේ එකම දිනක දහස් ගණනින් රොක්වී එකවර බුදුදහම වැළඳ ගැනීම අතිශයින්ම ආශ්චර්යවත් සිදුවීමක් වීය.

මේ සුවිශේෂ බෞද්ධ පුනරුදයේ නියමුවා වූ අම්බෙඩ්කාර් තුමා හරිජන්වරුන් අතරින් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබූ පළමුවැන්නා වීය. කොලම්බියා හා ලන්ඩන් විශ්ව විද්‍යාලවලින් ද උපාධි ලැබූ එතුමා අධිනීතිඥවරයෙකු වශයෙන් සුදුසුකම් ලත් පළමු මහාර් ජාතිකයා ද වීය.

එතුමා ගේ ග්‍රන්ථ අතර, “බහිෂ්ක්‍රිට් භාරත් “ (Bahishkrit Bharat ) නම් විශිෂ්ට ගණයේ ප්‍රකාශනය, හරිජන්වරුන්, අතර මහා දෘෂ්ටිවාදි අවදිවීමකට තුඩු දුනි. එතුමා හරිජන්වරුන්ට ද, මහජන ජල සැපයුම් වලට හා හින්දු සිද්ධස්ථානවලට සමාන ප්‍රවේශයක් ඉල්ලා සත්‍යග්‍රහ ව්‍යාපාර මෙහයවීය. එතුමා ගේ ව්‍යාපාරය හින්දු සමාජ ක්‍රමය අභියෝගයට ලක් කළ අතර, හින්දුවරුන් සමග සමානත්වයෙන් ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටියේය.

බුදුදහමට, මහාර්වරුන් ගේ ඉතිහාසය සමඟ නො බෙදිය හැකි සම්බන්ධතාවක් ඇති බැව් අම්බෙඩ්කාර්තුමා දුටුවේය. මන්ද, බුදුන් වහන්සේ ජිවමානව වැඩ විසූ සමයේ දී ද ඔවුහු බුදුදහම වැළඳගෙන සිටියහ. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිගත් නාග ජනතාව වූවේ ඔවුන් ය. 1956 බෞද්ධාගම වැළඳ ගැනීමේ මහා ව්‍යාපාරය දියත් කෙරුන මධ්‍යස්ථානය වූවේ ද නාග්පූරීය. ඒ අනුව ඔවුනගේ බෞද්ධාගම වැළඳ ගැනීම වෙනෙකක් නොව මෙම ඓතිහාසික ශිෂ්ටාචාරය නැවැත පිළිගැනීමකි.

ඉන්දියාවේ සිටි වයෝවෘද්ධම හා බොහෝ පුජනීය භික්ෂූන් වහන්සේ නමක් වූ චන්ද්‍රමානි මහාස්ථවීරයානන් වහන්සේ විසින් බුදුදහමේ පිහිටවනු ලැබූ අම්බෙඩ්කාර් “ මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම සඟ සරණ යමි” යනුවෙන් කියත්ම “ ජයා බුද්ධා, ජයා භිම් “ (අම්බෙඩ්කාර්) යන ජනඝෝෂාව මහාරාෂ්ට්‍ර ගගන තුළ ගිගුම් කෑවේය.

අම්බේඩ්කාර්තුමා තිසරණ සරණයාමෙන් පසු, ඔහු විසින්ම සිය ජනතාව පංචශීලයේ පිහිටුවනු ලදී .මෙලෙස බුදුදහම වැළඳගත් බුද්ධිමතකු වූ ශැන්කාරෝ බාරත් හිටපු මහාර්වරුන්ගේ හැඟීම් මැනවින් ප්‍රකාශ කරන්නට යෙදුනේ! මෙසේය. “ මම බෞද්ධ ධර්මය පිළිගතිමි.

දැන් මම මහාර්වරයෙක් මෙන්ම හින්දු භක්තිකයෙක් ද නො වෙමි. මම පාරිශුද්ධ මිනිසෙකි... මම තවත් දුර, උසස් කුල හින්දුවරුන් ගේ වහලෙක් හෝ කුලීකරුවක් හෝ නොවෙමි. මහාරාෂ්ට්‍ර බෞද්ධයන් අද එකිනෙකා අතර සුභ පැතුම් හුවමාරු කරගන්නා විට “ ජයා හිම් “ යනුවෙන් අම්බෙඩ්කාර් ගේ නම භාවිතයට ගැනීම සිරිතක් කරගෙන සිටිති. එතුමා හරිජන්වරුන් ගේ ගැලවුම්කරු වශයෙන් බෞද්ධ ලෝකයේ නො මැකෙන නමක් තබා ඇත.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]