Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්...

අංගුත්තර නිකායේ දුක නිපාතයේ තුන්වැනි වග්ගය “බාල වග්ග“ නම් වේ. “මහණෙනි! මෙලොව බාලයෝ (මෝඩයෝ) දෙදෙනෙක් වෙති” යි වදාරණ බුදු පියාණන් වහන්සේ ඒ දෙදෙනා කවුරුදැයි ප්‍රශ්න කර තමන් වහන්සේම පිළිතුරු දෙති. ඒ දෙදෙනා නම්:-

1 වරද වරද වශයෙන් නොදකින පුද්ගලයා
2 වරද වරද වශයෙන් පිළිගෙන අවවාද දෙන්නාගේ වදන් නො අසන (වරද පෙන්වා දෙන්නාගේ කීම් නොඅසන) පුද්ගලයා

මේ දෙදෙනාම මෙලොව සිටින බාලයෝ වෙති. “ මා විසින් වරදක් කරන ලදී”” යැයි නොපිළිගැනීම, වරදට ක්‍ෂමා කර නොගැනීම පළමු පුද්ගලයාගේ ලක්‍ෂණ වේ. වරද පෙන්වා දෙන්නාගේ වචනය නොපිළිගැනීම දෙවන පුද්ගලයාගේ ලක්‍ෂණවේ. “ මෙය වරදකි. මෙහි විපාක ආදීනව මෙබඳුය. මතු මෙවැනි වැරදි නොකරව“ යි අවවාද කරනවිට එය නොඇසීම බාලයාගේ ලක්‍ෂණයකි. අනතුරුව තථාගතයන් වහන්සේ පණ්ඩිතයාගේ ලක්‍ෂණ වදාරමින් මෙලොව පණ්ඩිතයෝ දෙදෙනෙක් සිටින බව දේශනා කරති. එනම්:-

1. වරද වරද වශයෙන් දකින පුද්ගලයා
2. වරද පෙන්වාදෙනවිට තත්වූ පරිදි පිළිගන්නා පුද්ගලයා.

මොවුහු දෙදෙන බුදුසමයේ ඇගයුම්ශීලීභාවයට පත් පඩිවරුය.

තථාගතයන් වහන්සේට ගරහන්නෝ

බාලවග්ගයේ 2,3,4,5 සූත්‍රවල පැවසෙනුයේ තථාගතයන් වහන්සේට ගරහන අභූතයෙන් චෝදනා කරන පුද්ගලයන් පිළිබඳවය. එබඳු පුද්ගලයෝ දෙදෙන බැගින් හය දෙනෙකි.

1 අභ්‍යන්තරයේ ම ද්වේෂය ඇති දුෂ්ටයා

ඔහුගේ ඇතුලත අතිශයින් දූෂිතය. නිරන්තරව කෝපයෙන් දැවේ. දුෂ්ට සහගත බව නිසා සෑම දෙයකම හොඳක් ඔහු නොදකියි. සෘණාත්මක ආකල්ප පෙරදැරිව කටයුතු කරයි. පින්කමක් කරත්, සීල සමාදානාදියක් කරත්, සමාජීය පොදු යහපත් කටයුත්තක් කරත් ඔහු එහි වරදක්ම සොයා එය මතුකර පෙන්වීම ලක්‍ෂණ කර ඇත. “ශ්‍රමණ ගෞතමයන්ට උතුරු මිනිස් දහම් ගුණ නැතැ”යි කී සුනක්ඛත්ත මෙවැනි පුද්ගලයකු බව මනෝරථපූරණී අටුවාව පවසයි. අභූ®තව තථාගතයන් වහන්සේට දොස් නැඟීම මොහුගේ ස්වභාවයයි.

2 වැරදි ලෙස ගත් ශ්‍රද්ධාව ඇත්තා

ඥාණ විරහිත බැවින් අධික ශ්‍රද්ධාවෙන් යුක්තව මෝඩ ලෙස බුදු සරණ ගිය මෙවැනි පුද්ගලයෝ “බුදුවරු නම් සර්ව ප්‍රකාරයෙන්ම ලෝකෝත්තර වෙති. බුදුරජාණන් වහන්සේගේ කෙස් ආදී දෙතිස් කුණුප කොටස් ද ලෝකෝත්තර වෙති.” ආදී වශයෙන් වැරැදි පිළිගැනීම් සහිතව අධික ශ්‍රද්ධාව නිසා (අවම වූ ප්‍රඥා ඇතිව) තථාගතයන් වහන්සේට නින්දා අපහාස කරති. මෙවැනි ලාමක ශ්‍රද්ධා ඇත්තෝ ගිහි පැවිදි දෙපිරිස අතර අතිශයින් සුලබය.

3 තථාගතයන් නොදෙසූ දේ දෙසන ලදැයි පවසන්නා.

බුදුපියාණන් වහන්සේ නොදෙසූ කරුණු බුද්ධභාෂිත ලෙස දැක්වීම ද ඇතැම් ගිහි පැවිදි බොහෝ දෙනාගෙන් සිදුවන වරදකි. තම සිතැඟි, තම අදහස් හා ආකල්ප බුදු බණ ලෙස ඇතැම්හු දේශනා කරති. ප්‍රකාශ කරති. ත්‍රිපිටකයේ ඇතැයි ද අසවල් නිකායේ අසවල් සූත්‍රයේ අතැයි ද යනුවෙන් තම පහත් ආකල්ප මුදුන් පමුණුවා ගැනීමට ඔවුහු බුදුරදුන් නොදෙසූ දේ බුදුරදුන් වදාරා ඇතැයි පවසති. විඤ්ඤාණයක ස්ථිර පැවැත්මක් ඇතැයි බුදුරදුන් දෙසන බව වරක් සාති භික්‍ෂුව පැවසීය. සාති වැනි ශ්‍රාවකයෝ ද බුදුරදුන්ට අභූතයෙන් චෝදනා කරමින්, උන්වහන්සේ අපහාසයට ලක්කරති.

4. තථාගතයන් දෙසූ දේ තථාගතයන් නොදෙසන ලදැයි පවසන්නා.

තථාගතයන් වහන්සේ දෙසූ දහම් කරුණු වසා, සඟවා එවැනි දහම් කරුණු බුදුහු නොවදාළ බව දැක්වීම ද ඇතැමුන්ගේ බරපතල පාප කර්මයකි. තම ආකල්ප හා වැරදි ලාමක, පහත් චර්යාවන් ගිහි පින්වතුන් මුලාකරමින් පවත්වාගෙන යනු කැමැති විශාලා මහනුවර සිටි වජ්ජිපුත්තක භික්‍ෂූන් වැනි ශ්‍රාවකයෝ තථාගත දේශිත ශ්‍රී සද්ධර්මය වසා එබඳු දේ තථාගතයන් නොවදාළ බව නොයෙක් උදාහරණ දක්වමින් පෙන්වා දෙති. තර්ක කරති. වජ්ජිපුත්තකයන්ගේ දසවත්ථුව එහි වැසියෝ බුද්ධ දේශිත විනය ප්‍රඥප්තීන් ලෙස පිළිගෙන සිටියහ.

5. නෙය්‍යාර්ථ සූත්‍රාන්ත නීතාර්ථ සූත්‍රාන්ත ලෙස දක්වන්නා.

6 නීතාර්ථ සූත්‍රාන්ත නෙය්‍යාර්ථ සූත්‍රාන්ත ලෙස දක්වන්නා

මේ දෙදෙනා ද බුදුපියාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නෝ වෙති. සූත්‍ර කොටස් දෙකකි.

* නෙය්‍යාර්ථ සූත්‍ර සහ
* නීතාර්ථ සූත්‍ර යනුවෙනි.

යම් සූත්‍රයක අර්ථ එළවා කිවයුතුද ඒවා “නෙය්‍යාර්ථ” නම් වේ. සම්මුති ලෝකයේ පිළිගැනීම් අනුව සම්මුති සත්‍යය මත පිහිටා දෙසූ සූත්‍ර නෙය්‍යාර්ථ නම්වේ. “මහණෙනි, මෙහි පුද්ගලයෝ එක්කෙනෙකි, දෙදෙනෙකි, තුන්දෙනෙකි, සතර දෙනෙකි” යන ලෙස දෙසූ සම්මුති දේශනාව නෙය්‍යාර්ථ නම් ;ව්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පදනම්ව දෙසූ, පරමාර්ථ සත්‍ය මත පිහිටා (පුද්ගලයෙක් සත්වයෙක් නැත) දේශනා කරන ලද සූත්‍ර “නීතාර්ථ සූත්‍ර” නම් වේ. හෙවත් හෙළිකළ අරුත් ඇති සූත්‍රයි. ඇතැම් ශ්‍රාවකයෙක් මේ දෙයාකාර බුද්ධ දේශනාව පිළිබඳව අවබෝධයක් නැතිව අංගුත්තර නිකායේ ඒක – දුක නිපාතයන්හි එන බුද්ධ දේශනාවක් ගෙන “ද්වෙ මෙ භික්ඛවෙ පුග්ගලො ලොකෙ සංවිජ්ජන්ති” (මහණෙනි, මෙලොව පුද්ගලයෝ දෙදෙනෙක් විද්‍යමාන වෙති) “මෙහි පුද්ගලයෝ දෙදෙනෙක් පිළිබඳව බුදුහු සාකච්ඡා කරති. එනිසා පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇතැ”යි නෙය්‍යාර්ථ වශයෙන් ගතයුතු බුද්ධ දේශනාව නීතාර්ථ වශයෙන් ගෙන ශ්‍රී සම්බුද්ධ දේශනාව වරදවා අවබෝධ කරගනියි. අනුන්ට ද දේශනා කරයි. අභූතයෙන් තථාගතයන්ට චෝදනා කරයි. එමෙන්ම පරමාර්ථ වශයෙන් විග්‍රහ කළ යුතු දේශනාවක් ගෙන “අනිච්චං දුක්ඛං අනත්තං” යැයි දක්වා අනිත්‍ය වුවක් ඇත්නම් නිත්‍යවුවක් ද ඇත. දුක්ඛවූවක් ඇත්නම් සුඛ වූවක්ද ඇත. අනාත්ම වූවක් ඇත්නම් ආත්මවූවක්ද ඇතැයි වරදවා ගනිති. මෙසේ ද්විධ බුද්ධ දේශනාව අනවබෝධය නිසා පටලවාගෙන මුලාවට පත්වෙති.

මෙම පුද්ගලයෝ සයදෙන තථාගතයන්ට අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කරන සහ බුද්ධ චරිතය, බුද්ධ දේශනාව පිරිහවීමට කටයුතු කරන්නෝ ලෙස අංගුත්තර නිකායේ දුක නිපාතයේ බාල වග්ගයේ 2,3,4,5 සූත්‍රවලින් පෙන්වා දෙයි. මීට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන ශ්‍රාවකයෝ බුද්ධ චරිතය හා බුද්ධ දේශනාව බබුළුවන්නෝ වෙති.

සුගති – දුගතිවල උපදින්නෝ

6,7,8,9 සූත්‍රවල පැවසෙනුයේ සුගති – දුගතිවල උපදින සත්වයන් පිළිබඳ කරුණුය.

1. නිරයේ හෝ තිරිසන් යෝනියේ උපදින්නෝ (නිරයො වා තිරච්ඡානයොනි වා)

පිළිසන් කර්ම ඇත්තෝ නිරයේ හෝ තිරිසන් යෝනියේ උපදිති. පටිච්ඡන්න කම්මන්තස්ස (වැසුණු කර්ම ඇත්තාට) මේ දෙගතිය හැර වෙනත් ගතියක් නැත. වැසුණු - පිළිසන් කර්ම නම් පවුකර්මය. වසා -සඟවා කරනුයේ පවුකම්ය. මිසදිටු අදහස් ඇත්තාට ද නිරය හා තිරිසන් යෝනිය නියම වේ. (මිච්ඡාදිට්ඨිකස්ස) දුසිල් පුද්ගලයාටද ප්‍රතිග්‍රාහක දෙකක් ම ඇත. ඒ දෙක නම් නිරය පිළිගැනීම හෝ තිරිසන් යෝනිය පිළිගැනීමයි.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.