Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුටුගැමුණු මහ රජතුමාගේ කාලයේ පටන් වසරකට වරක් කතරගම මහ පෙරහරට පෙර කතරගම දේවාලයේ වහලයේ අතු පන්දලම අලුත් කිරීමේ චාරිත්‍රයක් වෙයි. මෑත ඉතිහාසයේ ප්‍රථම වරට එම වහල අලුත් කිරීමේ අතුපන්දලම දැමීමේ උත්සවයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ඉකුත් දා සහභාගි වූයේ ය. ජනාධිපතිතුමා අත්තක් ඇත් රජාට බාරදුන් අවස්ථාව. එම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්ව සිටියේ ය.

ලංකාවේ පැරැණි බෙදීම් අනුව රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලයේ රුහුණේ කතරගම පිහිටා ඇත. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි කතරගම. කතරගම මැදින් මැණික් ගඟ ගලා බසී. ඉහල ඌව ප්‍රදේශයේ ඇති කඳුවැටි අතුරින් නමුණුකුල කන්දෙන් පටන්ගෙන මැණික් ගඟ කෙත්වතු වනපෙත් හරහා ගමන්කර යාල අභය භූමියෙන් මහමුහුදට එක්වේ.

ලංකාවේ පූජනීය ස්ථාන කුමක් හෝ එක් කරුණක් නිසා ප්‍රසිද්ධියට පත්වී ඇතත් කතරගම පුදබිම හේතු රැසක් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇති බව ඉතිහාසය කරුණු අනාවරණය කරයි.

බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වර්තමානයේ කිරිවෙහෙර දාගැබ ඉදිකර ඇත. එවකට කිහිරි උයනක් වශයෙන් පැවැති භූමියෙහි බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිට ධර්මදේශනා කළ බව මහාවංශයේ සඳහන්වේ.

දේවානම් පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමයේ දඹදිව සිට ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ දක්‍ෂිණ ශාඛා වැඩම කළේ සංඝමිත්තා මහා තෙරණින් වහන්සේය. බෝධි රෝපණ උත්සවයට එකල කතරගම පාලනය කළ ක්‍ෂත්‍රිය පරපුරයට අයත් රජවරුන්ටද ආරාධනා ලැබ එම උළෙලට සහභාගිවීම නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී හටගත් බෝපැල අටෙන් එකක් පූජණීය වස්තුවක් ලෙස ලැබුණි. දැනට කතරගම මහා දේවාලය සමීපයේ පුද පූජාවන් ලබන්නේ එම අෂ්ඨඵල බෝධීන් වහන්සේය.

බෞද්ධයන්ට වැදගත්වූ මෙම සිද්ධීන් දෙකෙන් පසුව කතරගම දෙවියන් වෙනුවෙන් පූජණීය ස්ථානය ඉඳිවිය.

දුටුගැමුණු රජතුමා එළාර රජ පරදවා ජය ලබාගැනීම සඳහා කතරගම දෙවියන්ගේ බලය හා ආශීර්වාදය ලබාගෙන ඇත. දෙවියන්ගේ මෙම උපකාරය ලබාගන්නා අවස්ථාවේදී යුද්ධයෙන් ජයග්‍රහණය ලැබුවොත් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකර දෙන බවට පොරොන්දුවක් (බාරයක්) විය.

දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් ජයග්‍රහණය කළේය. එතුමා වූ භාරය ඉටුකිරීමක් වශයෙන් කතරගම දේවාලය ඉදි කළේය.

කතරගම දේවාලය ඉදිකර එම දේවාලයේ දිනපතා පුද පූජාවක් වාර්ෂික පෙරහර පැවැත්වීමට දේවාල කාර්ය මණ්ඩලය හා එම කාර්යයන් ඉටුකරන අයට නින්දගම් ලබාදීමද යනාදී සියලුම දෑ අඩංගු “කාතිකාවතක්ද” සකස් කළේය.

එම කතිකාවත අනුව එදා සිට අද දක්වා පෞරාණික චාරිත්‍ර පුද සිරිත් කතරගම මහා දේවාලයේ පැවැත්වේ. නිල පංගු අතුරින් ප්‍රධාන නිලය වන “පිරිත් නිලය” නම් වන්නේ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයටයි.

සෑම දිනයකම පෙරහර පිටත්වීමට ප්‍රථම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා කතරගම මහා දේවාලයට වැඩම කර “සඳුන් මණ්ඩපයේ” වැඬහිඳ සෙත්පිරිත් දේශනාකර පෙරහරේ ගමන් කරන බස්නායක නිලමේ අදිකාරම් ලේකම් කපුමහත්වරුන්ට පිරිත් පැන් දී පිරිත් නූල් බැඳීම සිදුකෙරේ.

ඇසළ පෙරහර සඳහා කප්සිටුවන දිනවලදී කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ එක් ස්ථානයක “ රන්වන් බෝපත් හටගනී. එම බෝපත් ඇසළ පෙරහර අවසන් වී දියකපන දිනයේදී සියල්ල හැලී යයි. නැවත රන්වන් බෝපත් හටගන්නේ ඊළඟ වර්ෂයේ කප් සිටුවන දිනවලදීය.

කතරගම තවත් සිද්ධීන් නිසා පූජනීයත්වයට පත්වී ඇත. ස්කන්ධ කුමාර දෙවියන් කතරගමට පැමිණ වාසය කළ ස්ථානයයි. “අද වැඩසිටි කන්ද” පුදබිම බවට පත්වී දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකර දිනපතා පුද පූජා පැවැත්වේ.

ස්කන්ධ කුමාර දෙවියන් සෙල්ල කතරගමදී වල්ලි අම්මා දේවිය හා විවාහ ගිවිසගත් ස්ථානයේ ගණ දෙවියන් වෙනුවෙන් මැණික් ගඟ මධ්‍යයේ දේවාලයක් ඉදිකර පුද පූජාවන් දිනපතා පැවැත්වේ. කතරගම දේවාලයට වම් පසින් තේවානි අම්මා වෙනුවෙන් දේවාලයක්ද කතරගම දේවාලයට ඉදිරියෙන් මහාවීදියේ අවසානයේ වල්ලි අම්මා දේවාලය ඉදිකර දිනපතා පුදපූජාවන් පැවැත්වේ.

වල්ලි අම්මා දේවාලය අසල මුස්ලිම් දේවස්ථානය ඇත.කතරගම සෑම පූජණීය ස්ථානයක්ම ඓතිහාසික පසුබිමක් ඇතිව ඉදිවී ඇත. කතරගම මහා දේවාලයේ ඉටුකරනු ලබන සෑම පුජා කටයුතුවලදීම තෙරුවන් පෙරටු කරගෙන කිරීම තවත් විශේෂ ලක්‍ෂණයකි.

කතරගම දේවාලයේ දිනපතා උදේ දවල් සවස පූජාවන් තුනක් පැවැත්වේ. මේ සෑම පූජාවකටම ප්‍රථම බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලන්පස මල් පහන් පූජාකිරීම සිදුකරනු ලබයි.

කතරගම ඇසළ මහා පෙරහරේ අවසාන මහා පෙරහර කිරිවෙහෙර රජමහා විහාරයේ බුදු පෙරහරත් සමග කිරිවෙහෙර වහන්සේ වෙතට ගොස් ආගමික වතාවත් සිදුකිරීමත් පෞරාණික චාරිත්‍ර අනුව “පිරිත් නිල” රාජකාරිය වෙනුවෙන් කිරිවෙහෙර රාජමහා විහාරයට පුද පඬුරු පිරිනැමීමද මෙදින සිදුකරනු ලැබේ.

කතරගම ඇසළ පෙරහර සමයේ කතරගම පුදබිමට බෞද්ධ හින්දු ක්‍රිස්තියානි හා මුස්ලිම් ආදි සෑම ආගමකටම අයත් බැතිමතුන් සහෝදරත්වයෙන් යුතුව ආගමික කටයුතු වල යෙදෙති.

මේ සෑම ආගමකටම අයත් බැතිමතුන් කතරගම දෙවියන්ට භාරහාරවෙති. ඒවා ඉටුවූ පසු නැවත ඇවිත් ඒ භාරහාර ඔප්පුකර නිදහස් වෙති.

දුප්පත් පැල්පතේ වාසය කරණ අසරණයාගේ සිට රාජ මන්දිරවල සිටින කෝටිපතියන් ද කතරගම දෙවියන්ගෙන් තම බලාපොරොත්තු ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිනු දැකබලා ගත හැකිය.

මෙම පුදබිමට පැමිණෙන ධනවත් අය කාරුණිකව අසරණ දුගී අයට පිහිටවීමට කැමැත්තක් දක්වති.

එකම මවගේ දරුවන් ලෙස ඉතාමත් සුහදව ආදරයෙන් යුතුව තම පූජා කටයුතු කරති.

කරුණාව දයාව තම හදවත් තුළ භක්තියෙන් උතුරා යන ලෙසත් මෙම පුදබිමේදී දැකිය හැකිය.ඔබ ධාර්මික විය යුතුය.

අවංකවම පුදපූජා පැවැත්විය යුතුය. ඔබට ඇති ප්‍රමාණයට ධනය වියදම් කර හැකි ප්‍රමාණයට පමණක් ඉටුකළ යුතුය.

තෙරුවන් නැමද පින් රැස්කරගෙන එම පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කළ යුතුය.

ඡායාරූපය - සුදත් සිල්වා


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.