Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික සමථ කරණ සතිය නිමිත්තෙනි

මහා සමථකරුවාණෝ

සජීවී සක්‍රිය සෑම කොට්ඨාශයක් තුළම ගැටුම් ආරවුල් ප්‍රශ්න ඇතිවීම ස්වභාවිකය. පුද්ගලයා තුළ අභ්‍යන්තරික වශයෙන් ද පුද්ගලයා හා සමාජය අතර බාහිර වශයෙන්ද යනුවෙන් ගැටුම්, ආරාවුල් දෙයාකාරව පෙනේ. ශාන්තිනායක බුදුපියාණෝ අභ්‍යන්තර අවුල් වියවුල් සඳහා මෙන්ම බාහිර අවුල් වියවුල් සඳහාද සාධාරණ විසඳුම් ලබා දුන්හ. සියලුම ප්‍රශ්නවලට මුල මමය, මාගේ ය යනාදි ලෙසින් පවත්නා මමත්වය යි. බෞද්ධ දර්ශනයට අනුව මමත්වය යම්තාක් ලොව පවතී ද ඒ තාක් ගැටුම් පවතී.

බුදුරජාණන් වහන්සේ ධරමාන අවස්ථාවේ පැවිදි සහ ගිහි සැමගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේදී කිසිවෙකුගේ සිත් නොතලා මහත් උපක්‍රමශීලිව කරුණු අවබෝධ කරලමින් ක්‍රියාකළ අයුරු පෙනී යයි.

ඝෝෂිතාරාමයේ ධර්ම විනයධර භික්ෂූන් දෙපලක් අතර වූ සුළු ආරාවුල පසුව දිග්ගැස්සී ගොස් අවසානයේ බුදුහිමි ගත් ක්‍රියාමාර්ගය ඔස්සේ සමථ වූ අයුරු දකිමු. එහිදී උන්වහන්සේ තුන්වන පාර්ශ්වයක් ලෙසින් උපදෙස් දීමක් සිදුකළ අතර ඒ ද නොපිළිගත් කළ සුදුසු මග ගත්හ.

ශාක්‍යවංශිකයින් හා කෝලිය වංශිකයන් අතර රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට අපහසුව දෙපාර්ශ්වය මහා සංග්‍රාමයකට යොමුව සිටි අවස්ථාවේ බුදුහිමි දෙපාර්ශවයේම කරුණු අසා ප්‍රශ්නය සමථ කළහ. “ ඔබලා මේ සටන් කිරීමට සූදානම් වන්නේ කුමක් සඳහාද, වඩා වටින්නේ ජලයද මනුෂ්‍ය ජීවිතයද’’ යනාදී ලෙසින් ප්‍රශ්න නගමින් පිළිතුර ඔවුන් විසින්ම ලබමින් ඔවුන්ටම අවබෝධ කරවමින් ඒ මහා මනුෂ්‍ය සංග්‍රාමය වළකාලමින් සමථ කළ අයුරු දනිමු. කවරම ප්‍රශ්නයක් වුවුද බුද්ධිමත්ව, උපක්‍රමශීලිව, විසඳීම වැදගත් ය. රෝහිණී නදී ජල ප්‍රශ්නයේදී බුදුහිමියන් යුද කරන්නට එපා යයි වදාළේ නැත. ජලය පිළිබඳ අයිතියක් කාටවත් පැවරුවේ නැත. උන්වහන්සේ සිදු කළේ දෙපාර්ශ්වයෙන්ම ප්‍රශ්න අසමින් දෙපාර්ශවයටම පිළිගත හැකි දෙපාර්ශ්වයම දින පිළියමකට ළංකෙරුමය. ප්‍රශ්නයක් විසඳීමට උපකාරිවන්නා ඉතා ඉවසිලිවන්ත බුද්ධිමත් තැනැත්තෙකු විය යුතුය. බුදුහිමි තුළ ඒ සියල්ල වන්නේ්ය.

ගැටුමක් ප්‍රශ්නයක් ඇති වූ කල කලබල වීම සාමාන්‍ය පෘතග්ජන ස්වභාවයයි. කෙනෙකුගේ නියම තත්ත්වය දැන ගැනීමට නම් ඔහු ප්‍රශ්නයකට මැදි වූ විට ක්‍රියාකරන ආකාරයෙන් දැනගත හැකි බවත්, කවර ප්‍රන්නයකට වුවද කම්පිත නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව ක්‍රියාකිරීම උදාර මිනිස් දහමක් බවත්, බොහෝ දෙනා තුළ එය දකින්නට නැති බවත් සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සත්ත ජටිල සූත්‍රයේ පැහැදිලි කරති.

ව්‍යාකූල සිතින් පෙළෙන පුද්ගලයාගේ ඒ ප්‍රශ්නය විසඳීමේදී සම්බන්ධවන තුන්වන පාර්ශ්වකරු ඒ පුද්ගල ස්වභාවය මනාව හඳුනාගෙන ක්‍රමානුකූ®ල කරුණු කාරණා අවබෝධ කරවමින් ඔහුටම නිරාකුලතාවය පෙනෙනාකාරයට කටයුතු කළ යුතුය. බුදුරදුන් ඔබගේ ප්‍රශ්නයට පිළිතුර මේ යයි ලෙස නොව සුහදව, සංවාදශීලිව, ප්‍රශ්නෝත්ර ක්‍රමයෙන් යනාදි ලෙසින් නියම පිළිතුර ඔහුට අවබෝධ වන ලෙස කටයුතු කළහ. කාලාම සූත්‍රය ඇතුළු නොයෙක් සූත්‍ර දේශනාවන් තුළින් පෙනෙන නිදහස් චින්තනයට ඇති ඉඩකඩ බුදුසමයේ ප්‍රශ්න විසඳීමේදී දක්නා ලැබේ. කිසි විටෙකත් මේ පිළිතුර මෙය පිළිගත යුතුයැයි නොවදාරා අවබෝධයෙන්ම පිළිගැනීමට ඉඩ තැබූහ.

කර්මවාදය පිළිබඳව උපාලි ගෘහපතිගේ ප්‍රශ්නය විසඳාලුයේ ඔහුටම කරුණු අවබෝධ කරවමිනි. එහිදී තමන් බුද්ධ ශ්‍රාවක වීමට කැමැති බව පළ කළ විට ඒ ගැන යළිත් සිතන ලෙසත්, එසේ වුවහොත් පෙර ශාස්තෘවරයාණන්්ටද පෙර පරිදි ගරු කරන ලෙසත් මජ්ක්‍ධිම නිකායේ උපාලි ගෘහපති සූත්‍රයේ පෙන්වා දෙන කරුණු බෞද්ධ චින්තන ක්‍රමය පිළිබඳ කදිම තැනකි. නිදහසේ සිතමින් වැරදි නිවැරදි බව වටහා ගැනීමට උපාලි ගෘහපතිට අවස්ථාව සැලසිණි.

අංගුලිමාල ආදී මිනීමරුවන්ද, ආලවක ආදී චණ්ඩ යක්ෂයන්ද, අජාසත් ආදී පීතෘ ඝාතක රජ දරුවන්ද, නාලාගිරි වැනි චණ්ඩ හස්තීන්ද අම්බපාලි ආදී ගණිකාවන්ද ආදී සියලු දෙනා සැපවත් කළේ, ඔවුන්ගේ ප්‍රශ්න විසඳුනේ මෙසේ කළ යුතුය. නොඑසේනම් නිරයට බහාලමි යි යන නියෝග ක්‍රමයකින් නොවේ. කිසාගෝතමි, පටාචාරා, ආදීන්ගේ ප්‍රශ්න විසඳුනේ මහා මනෝ වෛද්‍යවරයා තමන් වහන්සේ බව ලොවට පෙන්වා දෙමිනි. මළ දරුවා අතැතිව ආ කිසාගෝතමියට ‘නැගණිය, ඔය මළ කඳක් ඕක විසිකරන්න’ යි වදාළේ නැත. කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි ඇයට වදාළවිට ෂා මගේ ප්‍රශ්නයට විසඳුමක් එනවා නේ යන සතුටක් ඇය තුළ පහළවීම ස්වභාවිකය.

එබඳු උපක්‍රමශීලි පියවරවල් තුළින් කරුණු කාරණා අවබෝධ කරලමින් ගැටළුවට පිළියම් ලබාදීම අතිශයින්ම විශිෂ්ඨ ක්‍රියාවලියයි. ගැටළුවට මැදිහත් වූවනටම පිළියම වැටහී පිළිගන්නා කළ එයම උසස්ය. කාගේත් බලපෑමකට හෝ නියමයකට අනුව නොවී තමන් ද සතුටට පත්වන එබඳු විසඳා ගැනීම වැදගත් ය.

බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ශ්‍රී ලංකාවට වැඩම කර චූලෝදර හා මහෝදර නා රජුන් අතර සිදුවන්නට ගිය මහා සංග්‍රාමය බුදුරදුන් සමථයට පත්කළ අයුරු මහාවංශ ආදී ග්‍රන්ථයන්හි පෙන්වා දෙයි. යුද්ධයේ ආදීනවත්, සමගියේ අගයත් නා රජවරුන්ට වැටහිණ. බුදුහිමි දෙපාර්ශ්වයටම කරුණු අවබෝධ කරලමින්, දෙපාර්ශ්වයේම එකඟත්වයෙන් ප්‍රශ්නය සමථයට පත් වූ ආකාරය පෙනී යයි. සැබෑ සමථකරණයේදී වන්නේද එයයි. තුන්වන පාර්ශ්වයක් ලෙස සම්බන්ධවන සමථකරුවා දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් දෙපාර්ශ්වයම ජය ලබන තත්ත්වයට මං පෙන්වන්නකි.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සකල සත්ව වර්ගයාගේ සියලු ප්‍රශ්න දත්හ. එසේම ඊට සියලු පිළිතුරු ද දත්හ. ඒ පිළිතුරු උන්වහන්සේ දැක්වූයේ ආඥා ස්වරූපයෙන් නොවේ. සුහදශීලිව, සංවාදශීලිව කරුණු කාරණා මැනවින් අවබෝධ කරවමිනි. මෙබඳු තැන ඇත්තේ බැහැර පුද්ගලයෙකු විනිශ්චයකාරවරයෙකු තීන්දුවක් දෙන ආකාරයක් නොවේ. මැනවින් ප්‍රත්‍යක්ෂ වෙමින් සැබෑ ජයක් ලැබීමකි.

ගැටළු ප්‍රශ්න අවුල් වියවුල් සියල්ල මමත්වය මතය. මමත්වය වන්නේ තෘෂ්ණාව මතය. තෘෂ්ණාව දුරලීම සියලු ප්‍රශ්න විසදාලීමය. බුදුරදුන් ලෝක සත්ත්වයාට වදාළේ දුකට හේතුව වන්නා වූ තෘෂ්ණාව දුරුකොට පරම ශාන්ත සැප ලබන ආකාරයයි. අප කවුරුත් යා යුත්තේ ඒ මග වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.