Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කර්ම විෂය සිතා නිම කළ නොහැකි ය

පේතවත්ථු කතා මාලාව - 6 කොටස

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කල්හි මෙම පේතවත්ථුව දේශනා කළ සේක.

බොහෝ ස්වාමීන් වහන්සේ වස්වැස වස් සමාදන් නිමවා බුදුරජාණන් වහන්සේ දක්නට ආපසු වඩින්නාහු සැවැත්නුවරට නුදුරු ගමෙක එක් රාත්‍රියක් නවාතැන් ගත්හ. එකල්හි එක් පේ‍්‍රතියක් පැමිණ එම තෙරුන් වහන්සේලාට තමන් පෙනෙන සේ දැක්වීය.

නග්න වූ පිළිකුල් කටයුතු වූ රූපයෙන් විරූපී වූ ඇගේ සිරුරෙන් කුණු ගඳ හමයි. හාත්පස නිලමැස්සන්ගෙන් පිරුණු සිරුර ඇත්තේ වූ වා ය. මෙහි සිටි තී කවරෙක්ද?

ස්වාමිනී, මම යමලොව උපන් පේ‍්‍රතියක් මි. පව්කම් කොට මේ මිනිස් ලොවින් (චුතව) පේ‍්‍රත ලෝකයට ගියේ වෙමි.

උදයෙහි පුතුන් සත් දෙනෙකුද නැවැත සවස් කාලයෙහි අනෙක් පුතුන් සත් දෙනෙකු ද වදා ඔවුහු මම ම කමි. එසේ වී මුත් මට නො සැහේ. (බඩ නොපිරේ) බඩගින්නෙන් මගේ හදවත හාත්පස දැවෙයි. දුම් නගින්නේ වෙයි. අව්වෙහි ගින්නෙන් දැනෙන්නකු මෙන් සා පිපාසා දුකින් සංහිදීමක් නො ලබමි.

ඒ අසා එහි වැඩ සිටි මහ තෙරුන් වහන්සේ අසන්නේ කය, වචනය, සිත යන තිදොරින් ඔබ කළ බලවත් කර්මය කවරේද? කිනම් කර්මයෙක විපාක වශයෙන් (තමන්ගේ ම) දරු මස් කන්නේ දැයි විමසීය.

ස්වාමිනී, සැවැත්නුවර සමීපයේ එක්තරා ගමක ගෘහපතියකු හට පුතුන් දෙදෙනෙක් වූහ. ඔවුහු තරුණ වියට පත් වූ රූප සම්පත්තියෙන් ආඪ්‍ය වූ ශිලාචාරගති ඇත්තෝ වූහ. ගෘහපති බිරිය වූ තමා මනාසේ වැඩුණු රූපසෝභා ඇති පුත්‍රයන් ඇත්තියක් වෙමි යි අහංකාර උපදවා ගෙන තම ස්වාමියාද අභිබවා ඔහුට අවමන් කරන්නට වූවාය. මෙයින් බලවත් සේ කළකිරුණු සිතින් පසු වූ ඔහු ටික දවසකින් අන්‍ය ස්ත්‍රියක් (දෙවන බිරියක්) ගෙට ගෙන ආවෙහි ය. ඕ ;තාමෝ ටික කලකින්ම ගර්භනී වූවාය.

එකල්හි පළමු බිරින්දෑ වූ මා ඊර්ෂ්‍යාවෙන් වැඩී එක්තරා වෙදකුට මුදල් දී ඔහු ලවා ඇගේ තෙමස් වූ දරු ගැබ හෙළීය. එය කුණු ලෙයක්ව දියට වැටිණි. එවිට ස්වාමියා හා ඇගේ ඥාතීහු තී විසින් මෑගේ දරුගැබ හෙළන ලද්දේ දැයි විමසීය. බියට පත් වූ මා තමන් විසින් දරු ගැබ නො හෙලූ යේ යැයි බොරු කී වූයේ මුත් ඔවුන් විසින් මා ලවා දිවුරුමක් කරවූවා ය.

උදේ හා සවස දරුවන් සත් සත් දෙනා බැගින් වදා දරුමස් කන්නියක් වන්නෙමි ය. නිතර දුඟද හමන නිලමැස්සන් වැසූ කයක් ඇති වේවා යි ද කියා බොරවට මා දිවුළා ය. නොබෝ දිනකින් මියගිය මා බොරු කීමේ හා ගැබ් හෙළීමේ විපාක වශයෙන් පේ‍්‍රත ලෝකයට පැමිණ විරූපී වූ දුගද හමන සිරුරකින් යුතුව මගේම දරුවන්ගේ මස් කමින් පේ‍්‍රතියක්ව ඒ ගමට සමීපව මෙසේ හැසිරෙමි යැයි තෙරුන් වහන්සේ හට ඈ කීවාය.

ස්වාමිනී, මා විඳින දුක බලන්න. ඊර්ෂ්‍යාවෙන් පෙළී පව්කම් කොට පේ‍්‍රත යෝනියෙහි උපන්නෙමි. උදය කාලයේ දරුවන් සත් දෙනෙකු ද, සවස් කාලයේ දරුවන් සත් දෙනෙකු වදමි. එසේ වැදූ දරුවන් තුදුස් (14) දෙනාම මම කමි. එහෙත් මා සාපිපාසා ඇත්තෙමි. විරූපී වූ නග්න වූ කුණු ගඳ ගසන නිලමැස්සන් වැසුණු ශරීර ඇත්තෙමි.

ස්වාමිනී, මම ඒ ගමෙහි භාර්යාව වූයේ අසවල් ගෘහපතියාට ය. ස්වාමිනී, ඔබ වහන්සේ කරුණා පෙරදැරිව ඒ ගෘහපතියාගේ ගෙට වඩිනු මැනැවි. එවිට ඔහු ඔබ වහන්සේට දන් දෙන්නේ ය. කම්පල අදහා ඒ දුන් දානයෙන් ඔහු මහත් පින් රැස්කර ගනී. ඒ පින් මා කෙරෙහි උදෙසා වදාළ මැනැවි. ස්වාමීනි එවිට මා මේ පේ‍්‍රත ලොවින් මිදෙන්නෙමි යි ඈ කීවාය.

තෙරුන් වහන්සේ එය අසා අනුකම්පා සිතින් ඒ ගෘහපතියාගේ නිවසට පසුදා පිඬු පිණිස වැඩම කළහ. ගෘහපතියා ද තෙරුන් වහන්සේලා දැක පැහැදී පෙර මගට ගොස් වඩමවාගෙන විත් ප්‍රණීත වූ බොජුන් වළඳ වන්නට කටයුතු කළේය. වළදා අවසන්හි මේ කථා ප්‍රවෘත්තිය තෙරුන් වහන්සේ ගෘහපතියාට කීවෝ ය. එකෙනෙහිම එම දානය (පින්) අනුකම්පා සිත් ඇති ගෘහපතියා පේ‍්‍රතියට අනුමෝදන් කරවීය. මෙවිට දුකින් මිදුණු පේ‍්‍රතිය මහත් සම්පත් ලැබ ගෘහපතියාට එදා රාත්‍රී (කෘතවේදීව) තමා දැක්වූවා ය.

තෙරුන් වහන්සේලා පිළිවෙළින් සැවැත්නුවරට වැඩ සතුටු සාමීචි කථාවෙන් පසු මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට සැළකළාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙය අර්ථෝත්පත්ති ;කාට ධර්මය දේශනා කළ සේක. එහෙයින්ම බුද්ධ භාෂිතයක් වූ මෙය බොහෝ ජනයාට ප්‍රයෝජනවත් විය.

සත්තපුත්තඛාදක (පුතුන් සත්දෙනා බැගින් කෑ පේ‍්‍රතියගේ) පේතවත්ථුව ඇසුරෙනි

(ඛුද්දක නිකාය පේත වත්ථුව 1 - 7)

සටහන

1. කර්ම විෂය අචින්තෙය්‍ය වේ. මේ කථා අදට ගළපා නො වැඩු සිත් ඇත්තෝ අවිෂය කරුණු සේ සළකා ඉවතට දමති. ප්‍රතික්‍ෂේප කෙරේ. බුද්ධ ඥානය ද ඉක්මවා පව් රැස්කර ගනිති. ඒ බුද්ධ විෂයය ද අචින්තෙය්‍ය බව නො දැනීම නිසා විය හැක. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මනුෂ්‍යයකු හට සිතා නිමකළ නොහැකි සතර විෂයය තථාගතයන් වහන්සේම දේශනා කරන සේක. ඒවානම් 1. බුද්ධ විෂය, 2. ධ්‍යාන විෂය, 3. කර්ම විෂය හා 4. ලෝක විෂය යනුවෙනි. මේවා දැන හෝ පවට බියවීම යහපතට හේතු වේ.

2. බුදු දහමේ එන කර්ම විග්‍රහය අනුව මරණයට පත්වන සියල්ලෝ පේ‍්‍රත නාමයෙන්ද හඳුන්වති. එසේම මුළුමනින්ම සැපයෙන් පහව ගියෝය යන අර්ථයෙන්ද පේ‍්‍රතයෝ නම් වෙති. ‘පකඨෙන සුඛතො ඉතා ගතාති = පෙතා’ වශයෙන් සතර දුගතියෙන් (අපායෙන්) එකක් වූ මේ පේ‍්‍රත ලෝකයෙහි එනම් වූ මේ සැපයෙන් පහවගිය ඇත්තෝ යෝනි වශයෙන් එහි උපදිති.

එය පේ‍්‍රත යෝනියයි ද නම් කරති. එය භව වශයෙන් ගත්කළ ඉන්ද්‍රියන් පිනවීමේ තෘෂ්ණාව ඇති හෙයින් කාම භවයට අයත් වේ. යෝනි වශයෙන් ගත්කළ පේ‍්‍රත යෝනිය වේ.

මේ පේ‍්‍රත යෝනිය තුළ ද ගති වශයෙන් ගත්කළ සත්වැදෑරුම් බව හා එහි විස්තර කලින් ලියන ලද පේත වස්තුවක මවිසින් ලියා ඇත. මේ පේ‍්‍රතයන් ගේ සත් ගති අතර මේ කථා මාලාවට සම්බන්ධවන බොහෝ පේ‍්‍රතවස්තු ‘පරදත්තුපජීවක’ පේ‍්‍රත ගතියට සම්බන්ධ වී ඇත.

මෙහි විශේෂයක්ව ඇත්තේ තම ඥාතීන් පාරිභෝගික පිරිකර (ප්‍රයෝජනයට ගත හැකි ආහාර භාණ්ඩ ආදී) සහිතව මහ සඟනට දන් දී ලබා ගන්නා පින් මේ අයට අනුමෝදන් වීමේ ඇති හැකියාවයි. ඒ පින් එහිදී ඔවුන් අනුමෝදන් වීමෙන් සැපයට පත්වේ.

එනිසාය ඉහත සඳහන් කළේ, බුද්ධ විෂය හා කර්ම විෂය පෘථග්ජන ඥාණයට ගෝචර නොවන බව පරදත්තුපජීවක පේ‍්‍රත ලෝකයෙහිද අති දීර්ඝ කාලයක් දුක් විඳින පේ‍්‍රතයෝ සිටින බවට කථා පේතවත්ථු පාළියෙහි එති. තිරෝකුඩ්ඩ සූත්‍රයේ එන අන්දමට ධම්බිසාර රජුගේ ඥාතීන් එවැන්නෝ ය. බුද්ධාන්තර කල්ප ගණනක පෙරසිට ඔවුහු දුක් විඳි බව සඳහන් වේ.

සමහර විට මේ නිසාම විය හැක තම ඥාතියෙක් යම් අහේතුවකින් හෝ මේ පේ‍්‍රත ගතියක ඉපද සිටී නම් ඔහු එයින් මුදාලීමේ අරමුණින් සත්පුරුෂ ධර්මයක් ලෙස පත්තානුමෝදනා (දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් එකෙකි) නොහොත් පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍ර ධර්මය ධර්මයෙහි සඳහන්ව ඇත්තේ. තවද වර්තමානයෙහිදී ද චාරිත්‍රයක් සේ සත් දින තෙමස්, වාර්ෂික මෙන්ම නිතර කළ පිනක දී මළවුන්ට ද පින්දීමේ පුරුද්ද ඇතිකර තිබෙන්නේ් මෙහි පසු විකාශනයක ප්‍රතිඵලය විය හැක.

(පේතවත්ථු පාලිය හා අටුවා ග්‍රන්ථ ඇසුරිනි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.