Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

උතුම් බුදු දහමේ උරුමය අපවෙත ලැබුණු දා සිටම කහ සිවුර ජාතියේ ජය සංකේතය වූයේය. අපේ භික්ෂූන් වහන්සේ ජාතියේ මුර දෙවි වූයේය. ඒ අනුව භික්‍ෂූන් වහන්සේ සීලයෙන් හා ගුණයෙන් පොහොසත් වුයේ යම්තාක්ද ඒ තාක් කල් ජාතියද මැනවින් එළි විය. සඟ සසුන සීලමය ධනයෙන් දුප්පත් වූයේ යම් විටකද ඒ හැම අවස්ථාවකම ජාතියද පිරිහීමේ දොරටුවට ලන් වූයේය. එහෙයින් දෑ සමය හිතැති රජ දරුවෝ හා සියලු රට වැසියෝ මහ සඟන ගුණ දහමින් නැ‍ෙගනුවස් ගත් හැම තැනකටම සිය සහය නොමදව පුද කළහ. අදත් ඒ වගකීම නොඅඩුවම ඉටුකරලීම අමතක නොකල යුතු යුතුකමකි.

ඒ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්මය ආරම්භ වූයේ මීට වසර 147 කට පෙර එනම්, 1863 ජූනි 12 වැනිදා ගාල්ලේ මහ මෝදර “ ඤෙය්‍ය ධම්ම මුනිවර මංගල සංඝරාජ” සීමා නමින් සම්මත වූ උදකුක්ඛේප සීමා මාලකයේදී ශාසනවංශ කවිධජ සිරි සද්ධම්මාචරියයති සංඝපති අඹගහ වත්තේ ඉන්ද්‍රසහවර ඤාණසාමි මහානායක මාහිමිපාණන්, පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද නාහිමි හා වරාපිටියේ සිරි සුමිත්ත මාහිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේ අතින් සාමණේරයන් වහන්සේ 4 නමකට උපසම්පදාව ලබා දීමෙනි. එය ආදර්ශයට ගනිමින් මෙතෙක් සිදුකළ උපසම්පදා විනය කර්ම ජල සීමාවකදීම පවත්වන ලදී.

එලෙසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික අපිස් සතොස් මහ තෙරවරුන් විසින් අපේ ජාතික දේහය සුගන්ධනය කරන්නට පටන්ගෙන දැන් වසර 147 ක් ගෙවී ඇත. බෞද්ධ සම්ප්‍රදායන් හා නව ලොව යුග අවශ්‍යතාවයන් මනාව ගලපා ගනිමින් ගුණයෙන්, නුවණින් සැරුව දැයට ධර්මාශ්වාදය සපයන උන්වහන්සේලා බෞද්ධ ජනතාවගේ අභිමානය බව අකුටිලිවම පළ කළ හැක. විසි එක් වන සියවසේ මුල් දසකයේ වැඩ වසමින් උන්වහන්සේලා ලොවට සනාථ කරන්නේ බුදු සසුනෙහි නෛයර්ණිකත්වය සහ බුදු දහමේ අකාලිකත්වයයි.

එමගින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ස්වකීය භික්ෂු සාමාජිකත්වයේ අභිවෘද්ධිය උදෙසා අනුගමනය කරන විනයානුගත වත් පිළිවෙත් ක්‍රමවත්ව සංවිධානය කර තිබේ.

මූලික වශයෙන් මෑත යුගයෙහි ලක් සඟ සසුනෙහි නිම්වළලු පුළුල් කරමින් ශාසනික උරුමය ප්‍රජාතාන්ත්‍රීකරණයට පාත්‍ර කළේ රාමඤ්ඤ නිකාය විසිනි. මිනිස් ප්‍රජාවෙහි ඒකීයත්වය හා සමානාත්මතා ධර්මය ප්‍රායෝගිකවම මූර්තිමත් කරනු ලැබේ. එමෙන්ම සම්ප්‍රදාය ගරුත්වය හා නවීකරණය අතර , ප්‍රසන්න සමතයක් මගින් සිල්වත්, ගුණවත්, වියත් සඟ පරපුරක් නිකාය විසින් ජාතියට පිරිනමා ඇත. එබැවින් බෞද්ධ චින්තනය අගය කරන සාරධර්ම ගරු කරන සියලු දෙනාටම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ඉදිරි ගමන මහත් ආශිර්වාදයකි.

“අනේක සත සහස්සානං සංවර විනයානං සමාදයිත්වා වත්තනේන උපරීභූතා සම්පදා උපසම්පදා “ යැයි දක්වා ඇති පරිදි නොයෙක් කෙළ සුවහස් සීලයන් සමාදන්ව පැවතීමෙන් උසස් වූ අග්‍ර වූ සම්පත්තිය උපසම්පදාව නම් වන බව අටුවා මතයයි. විනය පිටකයට අනුව බැලුවද දුර්ලභ සීලයක් බව පෙනී යයි. “විනයො නාම සාසනස්ස ආයු” මේ තුළින් භික්ෂු ජීවිතයටත්, ශාසනයටත් ජීව ශක්තිය හා ආයු ශක්තිය ලැබෙන බව පැහැදිලිය.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ ජීවිතයේ ආරම්භය පැවිද්දයි. එම පැවිදි ජීවිතයේ සන්ධිස්ථානයක් උපසම්පදාව මගින් සටහන් වේ. සික්ෂා පද 10 කින් පමණක් හික්ම වූ සාමණේරයන් වහන්සේ නමක් ශික්ෂා පද 220 කින් ශික්ෂණය ලැබීමේ ප්‍රතිඥාව අනුව භික්ෂූත්වයේ පූර්ණ අභිශේකය ලබන්නේ එමගිනි.

ශාසනය නම් උපසම්පදා භික්ෂු පරම්පරාවයි. උපසම්පදාව නැති තැන චීවර පරම්පරාවද අහෝසි වෙයි. චීවර පරම්පරාව නැතිවී ගිය විට භික්ෂු ශාසනයම අවසන් වෙයි. කෙනෙකුට පැවිදිකම ලබාදිය හැක්කේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට පමණි. උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමකගේ ඇති වැදගත්කම මින් තේරුම්ගත හැකිවෙයි. වංශ කථා වලත්, නිකාය සංග්‍රහ ආදි ග්‍රන්ථ වලත් ශාසනය නැතිවී යැයි කියන්නේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ නැති වීමයි.

සොලීන්ට යටත් වූ ලංකාව නිදහස් කරගැනීමෙන් පසු මහා විජයබාහු රජුගේ් ප්‍රධානම කාය¸ වූයේ නැතිවී ගිය උපසම්පදාව බුරුමයේ සිට ගෙනැවිත් නැවත පිහිටුවීමයි.

එසේම දඹදෙණියේ පාලකයා වූ III  වන විජයබාහු රජුගේ පුත් II වන පැරකුම්බා රජු උපසම්පදා විනය කර්මයක් පැවැත්වූ බව හත්ෂවනගල්ල විහාර වංශය පවසයි. සීතාවක යුගයෙන් පසු මුළු පහතරටම පරංගීන්ටත්, උඩරට ආඬි බලයටත් යටත්වී ගිය සමයක I වන විමලධර්මසූර්ය රජු උඩරට දේශපාලන බලය එක්සේසත් කළ විගස රක්ඛංග දේශයෙන් භික්ෂුන් ගෙන්වා උපසම්පදා විනය කර්මයක් කිරීමට කටයුතු කළේය.

සීතාවක රාජසිංහ රජ සමයෙන් ආරම්භ වී භික්ෂු ශාසනයත්, බෞද්ධ කමත් විශාල ලෙස පරිහානියකට පත්ව තිබූ යුගයක මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මය ඇතිකරවීම ආදී තොරතුරු මගින් උපසම්පදාව නැතිවූ අවස්ථා වල රජදරුවන් බුරුමයෙන් හෝ සියමෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ මෙහි වැඩම කරවා මේ රටේ සාමණේරයන් වහන්සේලා උපසම්පදා කරවා යළිත් ශාසනය පිහිටුවීමට කටයුතු කළ හැටි පැහැදිලි වෙයි. ඒ පැරණි රජ දරුවන් සියලු දෙනාම උපසම්පදා විනයකර්මය කරවන ලද්දේ උදකුක්ඛේප සීමා මාලකයකදීමයි.

මහවැලි ගඟේ, දාස්තොට , කැලණිය , ගැටඹේ ආදි ස්ථාන වල කරන ලද උපසම්පදා විනය කර්ම දැක්විය හැකිය. එසේ කරන ලද්දේ නිසැකවම පිරිසුදුවම මේ කටයුත්ත සිදුවිය යුතු හෙයිනි.

උදකුක්ඛේප සීමාව

සීමාවකින් තොර උපසම්පදාවක් කළ නොහැකියි. මිහිඳු මහ රහතන් වහන්සේ මුලදීම සීමාවක් සම්මත කරගත්තේ ඒ නිසයි. සීමාවද විපත්තිකර කරුණු 11 කින් තොර විය යුතුය. “සබ්බේ භික්ඛවේ නදි අසිමා “ විනයෙහි දක්නට ලැබෙන ආකාරයට සියලුම නදි අසීමාය, එසේ නම් උදකුක්ඛේප සීමාව යනු කුමක්ද? ගඟක් හෝ ඔයක් හෝ පිහිටි විලක් හෝ කොත්මලේ, වික්ටෝරියා වැනි ජලාශ හෝ වැව් හෝ කුඩා ඔය වල ඇනිකට් වලින් ආවරණය කර ඇති තැන් හෝ සාගරය හෝ සම්පූර්ණයෙන්ම සීමාවක් ලෙස ගත නොහැකියි. පටන්ගත් තැන සිට අවසානය දක්වාත්, ඉවුරු දෙක අතර ජලතරයක් එකක් සේ ගෙන සීමාවක් ලෙස සම්මත කළ නොහැකියි.

එසේ ගතහොත්, එය ජල සීමාවක් නොවේ. ගඟේ හෝ ඔයේ හෝ පිහිටි විලේ හෝ මුහුදේ හෝ යම්කිසි තැනක ගොඩට සම්බන්ධ නොවන අයුරින් සම්මත කරගන්නා තැන සීමාවට සුදුසුවෙයි. ඔරුවක හෝ පාරුවක හෝ නොවේ නම් ලී කොට සිටුවා තනා ගන්නා මණ්ඩපයක් සංඝ සම්මතයෙන් සීමා කරගත හැකියි.

එම නිසා නදිය අසීමාවක් වුණත්, සංඝ සම්මතයෙන් තීරණය කරගත් පිළිවෙල අනුව ජලයෙන් මතු කරගත් (උදක +උක්ඛේප) තැන නියම සීමාව වෙයි. එබඳු තැනක නිසක පිරිසුදු සීමාවකි.

රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදාව සිදුකරන්නේ එකම තැනක නොවේ. ලක්දිව පුරා නොයෙක් තැන්වල සිදු කරන ලදී.

ගාල්ල, මාතර, කළුතර, කැලණිය, කටුගස්තොට, කුරුණෑගල, අනුරාධපුරය, රත්නපුර, පානදුර, කොළඹ, ගම්පහ ඉන් සමහරකි. මෙවර අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන මූලස්ථානය කරගෙන මල්වතු ඔයේදී උපසම්පදාව සිදුකරයි. ඒ ප්‍රදේශ වල විනය කර්ම කිරීමට බුද්ධ නියමයෙන් නිදහස ලැබී තිබේ. එම නිසා එකම තැනක කළ යුතුයැයි නම නියමයක්ද නැත්තේය.

නිකායේ ප්‍රාදේශීය සංඝසභා කොට්ඨාස 43 ක් තිබේ. එයින් යම් සංඝ සභාවකින් ඉල්ලීමක් කළහොත් නිකායේ කාරක සංඝ සභාව මේ ගැන සලකා බලයි. ප්‍රාදේශීය බෞද්ධ මහා ජනයාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වන නිසාත්, ප්‍රාදේශීය සංඝයා වහන්සේගේ සමගිය වර්ධනය වන නිසාත්, ඉල්ලන පිරිස ප්‍රබල නම් එයට අනුමැතිය දෙයි. විවිධ අංශ වලින් ලැබෙන සහභාගිත්වය නිසා වැඩ කටයුතු වල පුහුණුවක්ද ලැබේ.

තරුණ ස්වාමීන් වහන්සේලාට ආචය¸ පරම්පරා ගැන, විනය සම්ප්‍රදායන් ගැන දැනුමක්ද අත්දැකීමක්ද ලැබේ. ඒ තුළින් බෞද්ධ ප්‍රබෝධයක් හා නිකායේ දියුණුවක්ද සිදුවෙයි. එසේම වරකට 1000 කටත් වැඩි සාමණේර උපසම්පදා ස්වාමීන් වහන්සේගේ එක් රැස්වීමක්ද සිදුවන නිසා උන්වහන්සේලාට දාන මාන ආදියෙන් සංග්‍රහ කොට පින් රැස්කර ගැනීමටද අවස්ථාව ලැබෙයි. ශ්‍රමණ දර්ශනයද මංගල කරුණක් වෙයි.

විශේෂත්වය

මේ උපසම්පදා විනය කර්මය සඳහා අනුගමනය කරන සම්ප්‍රදායානුකූ®ල කරුණු රාශියක් ඇත්තේය. උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේලාගේ දැනුම මැනීම සඳහා දීප ව්‍යාප්තව ලිඛිත විභාගයක් පැවැත්වේ.

විනය කර්මය සිදු කිරීම සඳහා සුදුසු දැන උගත්, සිල්වත් , ගුණවත් , වෘද්ධතර මහා ස්ථවිරයන් වහන්සේ නමක් කාරක සභාව විසින් පත්කොට තිබේ. උපසම්පදා විනය කර්ම, සීමාබන්ධනාදිය සඳහා ක්‍රියා කරන්නේ උන්වහන්සේය. මහානායක, අනුනායක, මහා ස්වාමින් වහන්සේලා සිටියත් ප්‍රධානව ක්‍රියා කරන්නේ උන්වහන්සේය. ඒ පදවිය හඳුන්වන්නේ “ සඤ්ඤා ලේඛක” යනුවෙනි. මෙවර එම තනතුර උසුලන්නේ මීරිගම මිණීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති මකුලෑවේ විමල මහා ස්වාමින් වහන්සේය.

උපසම්පදා විනයකර්ම අවස්ථාවකදී එයට සහභාගී වන උපාධ්‍යයන් වහන්සේලාත්, සීමා මාලකයේදී කර්ම වාක්‍ය කියන කර්මාචාර්යවරයන් වහන්සේලාත් ගණ පූරක ස්වාමින් වහන්සේලාද උපසම්පදා අපේක්ෂකයක් වහන්සේලාද වත් මනාත් අබ්භාන ආදි විනයකර්ම සම්පූර්ණ කොට උභය පාරිශුද්ධිය අතිශයින්ම වැදගත්ය. එසේ නැති කිසිම ස්වාමින් වහන්සේ නමකට විනයකර්ම කරන අවස්ථාවට සහභාගි විය නොහැකියි.

උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලාගේ ආචාර්ය ස්වාමින් වහන්සේලාට කැමතිනම් තම ශිෂ්‍යයන් වෙනුවෙන් කර්මවාක්‍ය කීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. එසේ කළ හැක්කේ දැන උගත් අක්ෂර ශුද්ධිය ගැන දක්ෂතා තිබෙන අයට පමණි.

උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා ගෙන ආයුත්තේ බුලත් සහ පොඩි ලේන්සු 10 කුත් පමණි. ඒ චාරිත්‍රානුකූලව දැහැත් ගොටු පුජාව සඳහාය. ඒ හැර වෙන කිසිම පූජාවක් ගෙන ඒම කාරක සභාව විසින් තහනම් කොට තිබේ.

යටත් පිරිසෙයින් අටපිරිකරක්වත් ගෙන ඒමට ඉඩ නොදෙයි. ඉතාමත් දුප්පත් පන්සල් වලින් වැඩමවන සාමණේරයන් වහන්සේලාටත්, පොහොසත් දෙමාපියන්ගේ පැවිදි දරුවන්ටත්, යමක් කමක් ඇති පන්සල් වලින් වැඩමවන ස්වාමීන් වහන්සේලාටත් සර්ව සාධාරණයක් ඉටුවිය යුතුය.

ලොකු පූජාවක් කරකියා ගන්නට බැරි සාමණේරයන් වහන්සේලාට හා ගුරු ස්වාමින් වහන්සේලාට මානසිකව වැටීමකට ඉඩ නොතැබීමට කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ. පුජාවක් කළ යුතු නම් තම තමන්ගේ පන්සල් වලදී කිරීමට බාධාවක් නැත්තේය.

මෙවරත් උපසම්පදා පුණ්‍යකර්මය මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ශාසනසෝභන සද්ධම්මාවාචීස්සරාවරිය සරණඞකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම ජෝතිකා ධජ ධර්ම ශාස්ත්‍ර ශිරෝමණි අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව, අනුරාධපුර, කළාවැව, රාජාංගනය හා කැබිතිගොල්ලැව ප්‍රාදේශීය සංඝ සභා සහභාගිත්වය ඇතිව අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන මුල්කරගෙන ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද මහා ස්වාමින් වහන්සේගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මල්වතු ඔය (කදම්භ නදිය) උදකුක්ඛේප සීමා මාලකයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

නිකායාරක්ෂක සභාවේ පූර්ණ දායකත්වයත්, පළාතේ ප්‍රභූ®න්ගේත්, රජයේත්, පළාත් සභාව හා ප්‍රාදේශීය සභා වලත්, පොදු මහජනතාවගේත් සහාය මෙයට ලැබේ. අතිගරු ජනාධිපති තුමන් ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක්ද රැස්වෙති. මෙය වසර දෙකකට වරක් පවත්වන මහා සඟ සමුළුවකි.

සාමණේරයන් වහන්සේලා 400 නමක් අධි සීලයට (උපසපන් සීලයට ) පත් කරනු වස් මෙවර 2010 ජූලි 16 සිට 23 දක්වා අනුරාධපුරයේදී සිදුකරන මේ අති උතුම් උපසම්පදා මහා උළෙලෙහි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.