Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිවෙහෙරේ සති පිරිත ඇරැඹෙයි

රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහර සමයේ කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සති පිරිත් පින්කම ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජූලි මස 17 දින සිට ජූලි මස 24 දින දක්වා පැවැත්වේ.

17 වන දා කිරිවෙහෙර රාජමහා විහාරස්ථ දුටුගැමුණු ධර්මශාලාවේ සති පිරිත් දේශනාව සඳහා පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬුව වැඩම කරවනු ලබන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසිනි.

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, තිස්ස මහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමි, සිතුල් පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සහභාගි වෙති.

ජූලි මස 23 දින සතිපිරිත් දේශනයේ දොරකඩ අස්න අනුශාසනාව පවත්වනු ලබන්නේ කඹුරුපිටිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී රෝහණ පාර්ශවයේ විධාධික කාරක සභික විචිත්‍ර භාණක නාරංදෙණියේ ධම්මාවාස නාහිමියන් විසිනි.

දේවදූත මෙහෙවර සිදුකරනු ලබන්නේ මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ ඉගෙනුම ලබන පසිඳු වත්සර කුමරුවා විසින්.

24 වන දා දවල් අර්ධශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් දවල් දානය පිරිකර සමඟ පිරිනැමීමෙන් සති පිරිත් පින්කම් කටයුතු අවසන් වෙයි.

මැලිබන් බිස්කට් ආයතනය ස්වදේශීය කර්මාන්ත ආයතනය යන ආයතන ඇතුළු විවිධ ආයතන හා සැදැවතුන්ගේ අනුග්‍රහයෙන් එම පින්කම් පැවැත්වේ. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම්පාසල ඇසළ දන්සල් කමිටුව කිරිවෙහෙර වැඩිහිටි සේවා සංගමය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.