Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ට බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින් රජරට කුරහන් මුසු ගැමි සුවඳින් පිරි ප්‍රජාවට නායකත්ව දෙන උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ගේ පින්බර සංකල්පයක් මත පවත්වාගෙන යනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහ හතරවන වතාවටත් මහත් අභිමානයෙන් හා අති පුජනීයත්වයෙන් ජූලි මස 24 - 25 යන දිනවල අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන්ගේද ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු අටමස්ථානයට අයත් විහාරාධිපති හිමිවරුන්ගේ සහ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය මත එම පෙරහර පැවැත්වේ.


කරඬුව රැගත් හස්ති රාජයා පෙරහරේ ගමන් කරන අයුරු.

කාලිංග දේශයේ රජවරු ගරු බුහුමන් පෙරදැරිව දළදා වහන්සේ ආරක්‍ෂා කළත් බුදු දහමට එරෙහි වූවෝ, ගුහසීව රජුගේ පාලන කාලයේදී දළදා වහන්සේ විනාශ කර දැමීමට උත්සාහ කළේය . ඒ නිසාම ගුහසීව රජු දළදා වහන්සේගේ ආරක්‍ෂාව සඳහා ලක්දිවට වැඩම කරවීමට කටයුතු කළහ.

එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව. 301 - 308 ) දඹදිව කළිඟු රට රජකළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.

අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක, සුදු අසුන් යෙදු විශේෂ පූජනීය රථයකින් දළදා වහන්සේ ඇතුල්නුවරට වඩා හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට බාර දී වාර්ෂිකව පෙරහර පැවැත්වූ බව ජිනකාලමාලි ,පූජාවලිය යන ග්‍රන්ථ වලින් මෙන්ම මහා වංශයෙන්ද පෙන්නුම් කරයි.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශ කථාවේ නව පිටුවක් සරසමින් අනුරාධපුර ඓතිහාසික ශුද්ධ නගරයේ ප්‍රථම පෙරහර 1997 ජූලිමස 18 දින පැවැත්විණි.

මෙම පෙරහරේ නිර්මාතෘවරයා වූයේ එවකට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයත්, පසුව සමාජසේවා අමාත්‍ය ධූරයත්, දරනලද වත්මන් උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාය. පෙරහර ආරම්භයේදී හිටපු අනුශාසක අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතන නා හිමියන් ද මේ සඳහා පෙරමග ගමන්කරුවන් වූ හිටපු දිසාපති ජයම්පති, පී.හෙට්ටිආරච්චි , මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්‍ෂක ජෙනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා සංවිධායක කමිටුවේ ප්‍රථම ලේකම් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරු මෙහිලා ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.

මෙවර පෙරහර කමිටුවේ මාධ්‍ය සම්බන්ධිකරණය ප්‍රධාන අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඉන්දික රංගජීව මහතා විසින් මෙහෙයවනු ඇත. පෙරහර ආරම්භයේ එක් දිනකට පමණක් සීමා වූ අතර පසුව ලැබෙන ශුභ වාදි ප්‍රතිචාර තුලින් පෙරහර දින දෙකක් පැවැත්වීම ආරම්භ කෙරිණි.

පෞරාණික සම්ප්‍රදායන්ට සහ සංස්කෘතික ලක්‍ෂණයන්ට අනුව හැකි තරම් සමීපව පෙරහරේ සියලුම අංග පැවැත්වීම මෙහි සුවිශේෂ ලක්‍ෂණයකි.

එදා පෙරහර සම්බන්ධව අලියකු පිට නැගුන පණිවිඩකරුවකු විසින් රටවැසියාට දැනුම් දුන් ක්‍රමය වෙනුවට අද අණබෙරකරුවකු ලවා හෝ වත්මන් සමාජ රටාවට අනුව විවිධ මාර්ග ඔස්සේ දැනුම් දීම සිදු කරනු ඇත. එසේම එදා පෙරහරේ පිරිත් සජ්ක්‍ධායනා කරමින් පිරිත් නූලක් ගෙන ගිය අන්දමට සමගාමීව පෙරහරේ පිරිත් සජ්ක්‍ධායනා කරමින් රථයක් ගමන් කරවනු ඇත.


දළදා වහන්සේ ප්‍රථම වතාවට තැන්පත් කර තිබූ අනුරාධපුර ඇතුල්නුවර දළදා මාලිගාව වෙතට පෙරහර ගමන්කරන අතර තුර පුද පූජා පවත්වන අයුරු.

තවද එදා පෙරහර ගමන් මාර්ගයෙහි ජාතක කථා වස්තුන් වලට අනුව තැනින් තැන රංගනයන් පැවැති අතර අද එම ජාතක කථා චිත්‍රයට නගන ලද පෙතිකඩ පෙරහරේ ගෙනයනු ඇත.

අලි, ඇතුන්, කොඩිසේසත්, පංචතූ®ර්ය නාද උඩරට පහත රට සංස්කෘතික නැටුම් සබරගමු සම්ප්‍රදායික නැටුම් හේවිසි පන්තේරු වෙස් සවරන්, කසකරුවන්,රබන් හා ගිණිබෝල කරකවන්නන්, කෝල්මුර කණ්ඩායම් , ලී කෙලි, කෝලම් නැටුම්, මල් සයිකල්කරුවන්, දවුල්, තම්මැට්ටම් කරුවන්, පෙරමුණ ධජ , බෞද්ධ කොඩි ගිණි පන්දම්කරුවන් ඇතුළු විවිධාංග රැසක් පෙරහැර අලංකාරවත් කරමින් ගමන් කරන අතර ඉතා අලංකාර අන්දමින් සරසන ලද රන්සිවිගෙය තුළ තැන්පත් කළ සධාතුක කරඬුව හස්තිරාජයකු පිට පෙරහරේ ගමන් කරවනු ඇත.

මේ සමග දේවාල පෙරහර ගමන් කරවන මෙම පෙරහරේ නිලමේවරු පෙරමුණේ රාළ ඇතුළු ඉතිහාසය හා එහි ප්‍රෞඩත්වය පිළිබිඹු කරන සංස්කෘතික අංග සිය ගණනකින් මෙම පෙරහර සමන්විත වේ. පෙරහරේ ප්‍රථම දිනය (24) ආරම්භයේදී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අබියසදී සධාතුක කරඬුව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක යන මහත්වරුන් විසින් මහ සඟරුවනේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හස්තිරාජයා මත රන්සිවි ගෙයි තුළ තැන්පත් කිරීමෙන් පෙරහර ආරම්භ වේ.

බෝ සමිඳු වටා ඇති නව පෙරහර මාවත ඔස්සේ ගමන් කරන එම පෙරහර රුවන්මැලි මහ සෑ රදුන් අබියස පෙත්මග දිගේ ගමන් කර පැරැණි රෝහල් හන්දිය දක්වා ගමන් කර අනුරාධපුර සංඝමිත්තා මාවතේ පැරැණි දළදා මාළිගාවේ පුද පුජා වත් පිළිවෙත් පැවැත්වීමෙන් පසුව ථූපාරාම චෛත්‍යය අබියසින් අනුලා මාවතට ප්‍රවිෂ්ට වී වයි හන්දියෙන් දකුණට හැරී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘති කාර්යාලය අබියසින් අභයගිරි විහාර මළුවට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ.

දෙවන දින (ජූලි 25 ) පෙරහර ප්‍රථම දිනයේදී ආරම්භ කළ ස්ථානයෙන්ම ආරම්භ කර අභිනවයෙන් බෝ සමිඳු වටා ඉදිකරන ලද පෙරහර මාර්ගයේ ගමන් කර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහ කණුව වටරවුම, දුම්රිය නගරය මාර්කට් පෙදෙස, මෛත්‍රීපාල සේනානායක , (මහවීදිය) මාවත දිගේ ගමන් කර බැංකු පෙදෙස වටරවුමෙන් දකුණට හරවා අනුරාධපුර ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටින් සෙන්ට්‍රල් වටරවුමෙන් දකුණට හරහා ජයන්ති මාවත ඔස්සේ , සිංහකණුව වටරවුමෙන් ශ්‍රී මහා බෝධි මාවත හරහා මහ බෝ මළුවට ගෙවදීමෙන් 2010 අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර නිමාවට පත්වනු ඇත.

පෙරහර අවසානයේ රන්සිවිගෙය මුදාහැරීමෙන් පසු එය පෙරහරේ රැගෙන ගිය හස්තිරාජයා බෝ සමිඳුන් වෙතට නමස්කාර කිරීම සෑම වසරක මෙන්ම මෙවර සිදුවනු දැක්ම බැතිමතුන්ගේ් සුවිශේෂ බලාපොරොත්තුවකි.

මෙම පෙරහර වෙනුවෙන් මහා සංඝරත්නය ප්‍රධාන අන්‍ය ආගමික නායකයන් ගේද, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ සහාය ලබාදීමට තරම් මෙම පෙරහර ඉතාම අලංකාරවත් මෙන්ම අපේ ඓතිහාසික වටිනාකම් පිළිබිඹු කරවන මානව පරපුර තවත් පරපුරකට දායාද කරන සංස්කෘතිකමය පරිත්‍යාගයක් බවට පත්ව ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.