Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා පරිනිර්වාණ සූත්‍රය හෙළි කරන බුදුරදුන්ගේ මනුෂ්‍යත්වය

බුදුන් වහන්සේගේ අවසාන කාලය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. දෙවි කෙනෙකු නොවූ උත්තරීතර මනුෂ්‍යයකුගේ ආදර්ශවත් ශාස්තෘවරයකුගේ සැබෑ ස්වරූපය, මෙම සූත්‍රය තුළින් අපට මතුව පෙනෙයි.

සාමාන්‍ය මිනිසකු ද අසූවිය තරම් ජීවිත කාලයක් සපිරුණු විට මතුවන පොදු දුබලතා බුදුන්වහන්සේට ද විය. තම කයේ තතු උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

ආනන්දය! දැන් මම ජරාවට පත්ව සිටිමි. දැන් මා මහල්ලෙකි. මගේ වයස දැන් අසූවකි. දිරූ, ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවා තබා ගන්නා සේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටිමි.

බුදුහිමියන් තමන්ගේ වචන වලින්ම කෙතරම් විචිත‍්‍රවත්ව අසූවන වියේ සිය සිරුරේ තත්ත්වය නිරූපණය කර තිබේද?

නොබෝ කලකින්ම එමරථය කඩා ඇදහැලෙන බවේ ඉඟිය ද එනම් තමාගේ අවසානය ආස්‍යන්න බවද එම ප්‍රකාශය තුළ ගැබ්ව ඇත.

සංයුක්ත නිකායේ ජණ සූත්‍රය තුළින් ද ආනන්ද හිමියන් බුදු සිරුර ගැන පවසන්නේ ද මෙයට සමාන අදහසකි.

සැඳෑ හිරු එළියේ බුදුරදුන්ගේ අත් පා පිරිමදිමින් අනද හිමියෝ මෙසේ පවසති. ස්වාමීනී පුදුමයි, අද්භූතයි, පෙරදී ඔබ වහන්සේගේ ඡවි වර්ණය බෙහෙවින් පහන් විය. සිරුර සුකුමාල විය.

ඒ රන්වන් සිරුර දැන් රැලි ගැසී ඇත. සිරුර ඉදිරියට මඳක් නැමී ඇත. ඉඳුරන්ගේ ද වෙනසක් දක්නට ලැබේ.

අසූ වියැති බුදුරදුන්ගේ සිරුරේ ස්වරූපය ආනන්ද හිමියන්ගේ එම ප්‍රකාශයෙන් අපේ මනසේ මැවෙයි.

ආනන්ද ඒ ලෝක තත්ත්වය එහෙම තමා. යොවුන් බව ජරා වෙන් කෙළවර වනවා. නිරෝගී බව රෝගී තත්ත්වයෙන් අවසන් වනවා. ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. උන්වහන්සේ ආනන්ද හිමියන්ට ප්‍රකාශ කළහ.

මේ සංවාදය පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් නොවූවත් බුදුරදුන්ගේ පරිනිර්වාණය ආසන්නයේම සිදුව ඇති සංවාදයක් සේ අපට සිතාගත හැකි ය.

බුදුරදුන් පරිනිර්වාණ සූත්‍රයේ සිය සිරුර ගැන ප්‍රකාශ කළ ආකාරයේ හා ආනන්ද හිමියන්ගේ ප්‍රකාශවල සමානත්වයක් ඇත.

පිරිනිවන්පෑම සඳහා කුසිනාරාව බලා ගමන් අරඹන බුදුරජාණන් වහන්සේගේ චරිතයේ අපිස් බව සැහැල්ලු දිවි පැවැත්ම හා නොඇලීම ආදී ගුණාංග වඩාත් හොඳින් පිළිබිඹු වෙයි.

උන්වහන්සේගේ දායකවරුන් වශයෙන් රජ, සිටු, මැති, ඇමැතිවරු හා නොයෙක් තරාතිරමේ ප්‍රභූහු සිටියහ.

එහෙත් උන්වහන්සේ ඔවුන් ගැන හෝ තමා නමින් පුදන ලද මහා ආරාම ගැන හෝ සිතුවේ නැත.

කුසිනාරාව වැනි කුඩා නගරයකට නොගොස් රජගහ නුවර වේළුවනාරාමයේ, සැවැත්නුවර ජේතවනාරාමයේ හෝ නිග්‍රෝධාරාමයේ හෝ එවන් සුප්‍රසිද්ධ ස්ථානයක පිරිනිවන්පෑමට අවස්ථාව තිබිණි.

බුද්ධ චරිතය පුරා බොහෝ විට කියවෙන ඒ හා බැඳී පැවති පුද්ගලයන් හා ස්ථානවලට සිදුවූයේ කුමක්දැයි මහා පරිනිර්වාණ සූත්‍රය කියවන විට අපට දැන ගත හැකි ය.

ඒ සියල්ල අත්හැර ආනන්ද හිමියන් සමඟ උන්වහන්සේ හුදකලා ගමනක යෙදී සිටියහ.

උන්වහන්සේගේ මෙම අවසාන ගමන ඇරැඹෙන්නේ රජගහ නුවර ගිජුකුළු පව්වේ සිටයි. ඒ ගමන් මඟ අපට මෙසේ දැක්විය හැකි ය.

රජගහනුවර ගිජුකුළු පව්ව, අම්බලට්ඨිකාව, නාලන්දාව, පාටලී ග්‍රාමය, කෝටි ග්‍රාමය, නදීකාව, වේසාලිය, බේලුව ග්‍රාම, චාපාල චෛත්‍යය, භණ්ඩ ග්‍රාම, හස්තිග්‍රාම, අම්බග්‍රාම, ජම්බුග්‍රාම, භෝගනගර, පාවා නුවර හා කුසිනාරා යනුවෙනි.

පුහුදුන් අයෙක් නම් ඔහු දූ දරුවන්ට ඔවාදෙයි අයත් දේපළ ගැන සඳහන් කරයි. එහි හිමිකම දරුවන් අතර බෙදිය යුතු ආකාරය පැහැදිලි කරයි.

වරින්වර තමාට අමතක වූ දේ සිහිපත් කරමින් යළි යළිත් එම කරුණු සිහිපත් කරදෙයි.

සිය අවමඟුල් කටයුතු සිදුවිය යුතු ආකාරය ද කියා දෙයි.

බුද්ධ චරිතයේ ද අපට දක්නට ඇත්තේ මෙවැනි ස්වරූපයක්මය.

මේ කාලය තුළ බුදුරදුන්ගේ දේශනා කෙටිය. සරලය. උන්වහන්සේ ජීවිත කාලයක් ඉගැන්වූ කරුණුවල සාරාංශය එම දෙසුම් වල ගැබ්ව ඇත.

එම දේශනා භික්‍ෂූන්ට අවසන්වරට සිදු කරන මතක්කර දීමක් වැනි ය.

වජ්ජීන්ගේ සප්ත අපරිහානි ධර්මය දේශනා කොට එය භික්‍ෂූන්ගේ සමඟියට ආදේශ කිරීම.

සීල, සමාධි, ප්‍රඥා වැඩීමේ අනුසස් දෙසීම සිල්වතුන්ගේ හා දුසිල්වතුන්ගේ ජීවිතවල ඵල විපාක දෙසීම.

කෝටි ග්‍රාමයේ දී සතර ආර්ය සත්‍ය කෙටියෙන් දේශනා කිරීම.

නදීකාවේදී ධර්මාදාස ධර්ම ක්‍රමය දේශනා කිරීම.

වෛශාලියේ අම්බපාලි වනයේ දී සතර සතිපට්ඨානයේ හා විදර්ශනා ප්‍රඥාවේ අනුසස් දේශනා කිරීම.

ගුරුමුෂ්ටියක් ඉතිරි නොකොට ධර්මය දේශනා කළ බවට ප්‍රකාශ කිරීම.

සංඝයා පාලනය කිරීමේ දී තමා ඒකාධිපතිත්වයක් නොදැරූ බව ප්‍රකාශ කිරීම.

භණ්ඩ ග්‍රාමයේදී සතර සෘද්ධිපාද දේශනා කිරීම.

තමාට තමාම පිහිටකොට වාසය කරන ලෙසත් ධර්මයම සරණකොට වාසය කරන ලෙසත් භික්‍ෂූන්ට දේශනා කිරීම.

අෂ්ට විමෝක්ෂය දේශනා කිරීම ආදී දේශනා ඒවාට උදාහරණය.

දුරදිග බැලූ බුදුන් වහන්සේ කිසිම ශ්‍රාවකයකුට තමන්ගේ ඇවෑමෙන් සසුනේ වගකීම පැවරුවේ නැත. එසේ වූයේ නම් භික්‍ෂූන් අතර අසමඟියක් ඇතිවීමට ඉඩ තිබිණි.

එම නිසා තමාගේ ඇවෑමෙන් ධර්මය ගුරුතන්හි තබා කටයුතු කරන ලෙසට උපදෙස් දුන්හ.

මේ ආකාරයට ආරවුල් පැන නැඟිය හැකි තැන් උන්වහන්සේ අවුරා දැමූහ. ඉතා කුඩා කරුණු ගැන පවා අවධානයෙන් මෙම අවසාන කාලය තුළ බුදුරදුන් කටයුතු කර ඇති බව අපට පෙනෙයි.

සුජාතාවගේ කිරිපිඬු දානයත් චුන්දගේ අවසන් දානයත් එකසේ ආනිශංසදායක බව උන්වහන්සේ දෙසූහ.

මේ ආකාරයට අනාගත සසුනේ ශ්‍රාවකයන් අතර මතු විය හැකි ගැටලු ගැන සිතා විසඳුම් දී ඇති අයුරු අපට පෙනෙයි. භික්‍ෂූන් භික්‍ෂුණීන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය.

ආනන්ද හිමියන්ගේ උසස් ගුණාංග වර්ණනා කිරීම.

භික්‍ෂූන් ඔවුනොවුන් ඇමතිය යුතු ආකාරය අවශ්‍ය නම් කාලීනව කුඩා ශික්‍ෂාපද වෙනස් කිරීමට අවසර දීම.ධර්මය ගැන සැක තැන් ඇත්නම් විමසන ලෙස දැනුම් දීම ආදිය මේ අතර වෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගත් විට තම යුතුකම් ඉටුකර අවසන් කිරීමට උන්වහන්සේ කෙතරම් විමසිලිමත් වූයේ ද යනු සිතාගත හැකි ය.

ශාස්තෘවරයෙකු වශයෙන් බුදුන්වහන්සේගේ ආදර්ශවත් බව හා මහා පෞරුෂය, නොසැලී කටයුතු කළ ආකාරය කොතරම් විශිෂ්ට ද? යන්න වටහා ගත හැකිය.

උන්වහන්සේ වෙත බැතිමතුන් ආරෝපණය කර තිබූ දේවාතිදේවත්වය හා බ්‍රහ්මාති බ්‍රහ්මත්වයට වඩා අපට මේ අවස්ථාවේ මතුවී දර්ශනය වන්නේ උන්වහන්සේගේ මනුෂ්‍යාති මනුෂ්‍යත්වයයි.

ධර්ම සංවේගය උපදවන අනුවේදනීය සංවාද හා උන්වහන්සේගේ මනුෂ්‍යත්වය ප්‍රකට කරන ප්‍රකාශ බොහොමයක් මහාපරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගතව ඇත.

මහණෙනි, මම දැන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යය නොපමාවව්. නොබෝ කලකින් තථාගතයන් පිරිනිවන් පාන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහ. මගේ වයස දැන් මුහුකුරාගොසිනි. ජීවත්වීමේ කාලය අල්පය.

මහණෙනි, පමා නොවවු, සිහියෙන් වසව්, මේ සසුනෙහි යමෙක් නොපමාව වාසය කරන්නේ නම් ඒකාන්ත වශයෙන් ඔහු දුක් කෙළවර කරන්නේ ය.

මේ උන්වහන්සේ තම පරිනිර්වාණය භික්‍ෂූන් රැස්කරවා නිවේදනය කළ ආකාරයයි.

එම ප්‍රකාශවල අනුවේදනීය බව, අව්‍යාජත්වය, විරාගී බව හා ධර්මය ප්‍රකාශ වන ආකාරය අපේ සිත් තුළ සංවේගයක් ඇති කිරීමට සමත් වෙයි.

“ආනන්දය, මගේ සඟල සිවුර සිවුගුණයක් කොට අසුනක් පනවන්න. ආනන්ද, ක්ලාන්තයෙමි, හිඳ ගනිමි.”

“ආනන්දය, පිපාසිතයි, පැන් ගෙනෙන්න. පානය කරමි.”

බුදුරදුන් තුළ දේවත්වයක ස්වරූපයක් අපට මෙම වදන්වලින් ප්‍රකට නොවෙයි.

මෙම හැසිරීම් තුළින් මිනිස් ගුණයම මතුවී පෙනෙන බුදුන්වහන්සේ අප ඉදිරියේ ජීවමාන ලෙස දර්ශනය වෙති.

බුදුන්වහන්සේ කෙතරම් අපහසුතාවයකින් පසුවූවත් මඟ දෙපස දක්නට ඇති රමණීය දසුන් අගය කළහ. එහි රමණීයත්වය ආනන්ද හිමියන්ට පෙන්වා දුන්හ.

පරිනිර්වාණ ගමන් මගේ දී වැඩි දවසක් වෛශාලයේ ගත කිරිමට උන්වහන්සේ ක්‍රියා කළහ.

“ආනන්දය, අද වෛශාලියේ චාපාල චෛත්‍යයේ දී, මම ඔබ අමතමි. ආනන්දය, වෛශාලිය රමණීයයි,” යනුවෙන් උන්වහන්සේ වෛශාලිය ගැන සඳහන් කළහ.

ආනන්දය, තථාගතයන් විසාලාපුරය දකින අවසන් වතාව මෙය යැයි උන්වහන්සේ පැවසූහ.

අප බුදුරදුන්ට පුද සත්කාර කළ යුතු වන්නේ බුදුන්වහන්සේ දේවාතිදේව හෝ බ්‍රහ්මාති බ්‍රහ්ම නිසා නොවේ. උන්වහන්සේගේ උත්තරීතර ගුණ සමුදාය නිසයි. බුද්ධ චරිතය වටා ගෙතී ඇති අද්භූත තත්ත්වය ඉවත් කර බලන විට මහා පරිනිර්වාණ සූත්‍රය තුළ දිදුලන මැණිකක් වන් උත්තරීතර මනුෂ්‍යයෙක් වැඩ සිටින අයුරු අපට පෙනෙයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.