Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරපුර වව්නියා දෙ දිසාවේ භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පිඬු සිඟා වඩිති

එළැඹෙන දෙදහස් හයසිය වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අනුරාධපුරය, වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පිරිවෙන්වල භික්‍ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගියදා ඓතිහාසික අනුරපුරවරයේ දී පැවැත්විණි.

එදා රජදවස භික්‍ෂූන් වහන්සේ දහස් ගණනින් මේ පින්බිමේ පිඬුසිඟා වැඩි අයුරු එහිදී සිහිපත් කළ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියෝ අද එවැනි දසුන් දැකගැනීමේ පින බෞද්ධ ජනතාවට අහිමිවී ගොස් ඇතැයි ද, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා විවිධ පුණ්‍යකර්ම සිදුකරන මේ අවධියේ මෙවැනි පිඬුසිඟා චාරිකාවැඩසටහන් සංවිධානය කිරීම තුළින් ශාසනික වත් පිළිවෙත් ප්‍රායෝගිකව භික්‍ෂූන් වහන්සේට අත්විඳීමටත්, ගිහියනට විශාල පුණ්‍ය කර්මයකට දායකවීමටත් හැකිවන්නේ යැයි ද පැවසූහ.

පිණ්ඩපාත චාරිකාව ඇරැඹීමට මත්තෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ආගමික වතාවත් සිදු කෙරිණි. මෙහි පැමිණ සිටි ගිහි පින්වතුන් පංචශීලයෙහි පිහිටුවන ලද්දේ අනුරාධපුර ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති, නුවර ගම්පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත නුගේ තැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් විසිනි.

මහ සඟරුවන අනුරාධපුර නගරයේ පිණ්ඩපාතයේ වඩින විට දානය පිළිගැන්වීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් මඟ දෙපස රැස්වී සිටියහ. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයෙන් ඇරඹුණු පිණ්ඩපාත චාරිකාව අනුරාධපුර නුවරවැව ආසන්නයේ පිහිටි ශ්‍රී භාරතීන්ද්‍ර පිරිවෙන් විහාරස්ථානයෙන් නිමාවට පත් විය. උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටිප්‍රේමලාල් දිසානායක මහතා ඇතුළු ගිහි පින්වතුන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.


අනුරාධපුර ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ආගමික වතාවත් සිදු කළ අයුරු.

පිණ්ඩපාත චාරිකාව ඇරඹෙන තෙක් මහජන ක්‍රීඩාංගණයේ අසුන් ගෙන සිටි ස්වාමීන් වහන්සේගෙන් කොටසක්.

උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු ගැන තොරතුරු විමසමින්...

මහා සංඝ රත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ අයුරු. අනුරාධපුර නැඟෙනහිර සමූහ - සේනපුර ඩී. නිශ්ශංක

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.