Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසුන් කෙත ඔපවත් කරන උපසම්පදා විනය කර්මය

සසර දුක නුවණින් වටහාගත් සත් පුරුෂයා, ඉන් මිදීමේ මාර්ගය ලෙස, උතුම් බුදු සසුනෙහි පැවිදි බවට පත්වේ. එතැන් පටන් සාමණේර දස ශීලයෙහි හික්මෙන ඒ පැවිද්දා, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නශි‍්‍රත ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය යන සතර සංවර සිල් ගුණ දහම් වලින් යුක්ත උත්තම උපසම්පදාවට පත්වී අධිශීලයෙහි පිහිටයි. උපසම්පදා යන්න බොහෝ විට අප වටහාගෙන ඇත්තේ භික්‍ෂුත්වය තුළ උසස්වීමක් ලෙසටය.

පංචකාම සම්පත්තියෙන් යුත්, ගිහි සමාජයේදී ලබන උසස්වීම් ආදියට වඩා අධ්‍යාත්මික හරයක් මෙහි දක්නට ලැබීම සුවිශේෂී වූවකි. මෙම ලිපියෙහි අරමුණ වන්නේද ඒ උසස් තත්වය ධර්ම විනයානුකූ®ලව පහදා දීමය. උපසපන් බව බුදු සසුනෙහි ගරු විනය කර්මයෙකි. එය පැවිද්ද මෙන් සැම තන්හිදීම සිදු කළ හැක්කක් නොවේ. විනයානුකූල සීමාවකදීම පමණක් සිදු කළ හැකි සිදු කළ යුතු, ගරු විනය කර්මයෙකි. බුදුරදුන් ජීවමාන සමයෙහි සසුන ආරම්භ වූ මුල් වකවානුව තුළ පැවිද්දත් උපසම්පදාවත් අදමෙන් දෙකක් නොව එකක්ම වු බව මහාවග්ග පාළියේ මහාක්‍ඛන්ධකයෙන් හෙළිවේ.

එහෙත් රාධ නම් මහළු බමුණාගේ පැවිද්දෙන් අනතුරුව එතෙක් පැවැති සරණාගමන උපසම්පදාව අහෝසි වූ අතර ඒ වෙනුවට , ඤත්තිය එක් වරක්ද, අනුසාවණය තෙවරක්ද පවසන ඤත්ති චතුත්කම්ම උපසම්පදාව සසුනට එක්වූ බව මූලාශ්‍රයන්ගෙන් පෙනේ. බුදුරදුන්ටම විෂය වූ ඒහිභික්ඛු උපසම්පදාව,අන්‍ය ශ්‍රාවකයන්ට අවිෂය බැවින්ද සරණාගමන උපසම්පදාව අහෝසි වූ බැවින්ද එතැන් පටන් අද දක්වාම පැවත එනුයේ ඤත්ති චතුත්කම්ම උපසම්පදාවයි.

උපසම්පදාව යනු කුමක් ද?

වර්තමානයෙහි ඇතැම් ගිහි පැවිදි පිරිස් අවබෝධ කර නොගත් කාරණයක් වන්නේද එය මය. උපසම්පත්තිය යන්න බණට පිරිතට දානයට අවශ්‍ය තවත් එක් සුදුසුකමක් පමණක් ලෙස ඇතැම් ගිහි පිරිස් පමණක් නොව, ඇතැම් පැවිදි පිරිස්ද, කල්පනා කිරීම සංවේගයට කරුණකි. උපසම්පදාව තවත් එක් තනතුරක් පමණක් නම්, එය බුදුරදුන් විසින් කිසිදිනෙක අනුමත නොකරනු ඇත. එය වූ කලී ගරු විනය කර්මයෙකි. භික්‍ෂුභාවය අපේක්‍ෂා කරන හෙරණතෙම අධිශීලයට ඔසවා තැබීමෙකි. “උල්ලුම්පතු ම භන්තෙ සංඝො අනුකම්පා උපාදාය” යන උපසම්පදා යාචන වාක්‍යය පිළිබඳව අර්ථය සපයන අටුවා චාරීන් වහන්සේ එය අර්ථ ගන්වන්නේ, මා උදුරාවා, අකුශලයෙන් නැගිටුවා, උදුරවා කුශලයෙහි පිහිටුවාවා, සාමණේර භාවයෙන් උදුරුවා භික්‍ෂු භාවයෙහි පිහිටුවාවා “ යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ, අධ්‍යාත්මික පාරිශුද්ධිය පසක් කරගනු පිණිස, අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට ඒ සඳහා පිවිසීමට උසස් ශීලයෙහි අධිශීලයෙහි පිහිටුවීම , ඔසවා තැබීම උපසම්පදාවෙන් සිදු කෙරෙන බවයි. කට වහරෙහි ප්‍රකාශ වන කෝටියක් සංවර ශීලයෙහි පිහිටුවීම නම් මෙයයි. එම ශීලය පිහිටන්නේ ශික්‍ෂාපද කියවීමෙන් නොව, කර්ම වාක්‍ය ප්‍රකාශනයකිනි. එය සංඝ සම්මතයෙන්ම සිදුවීම මෙහි විශේෂත්වයකි.

වර්තමානයෙහි උපසම්පදා විනය කර්මය මෙසේ සිදුවුවද බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයෙහි පටන් ඉතිහාසය තුළ උපසම්පදා ක්‍රම කීපයක් දක්නට හැකිය. එහි භික්ෂු උපසම්පදාව ඉන් පළමු වැන්නයි. බුදුරදුන්ටම විශේෂ වූ එය, එව මහණ, (ඒහි භික්ඛු) යන ප්‍රකාශයෙන් කුල දරුවන් පැවිදි උපසම්පදා කිරීමේ ක්‍රමය යි. එසේම තිසරණ ගැන්වීමෙන් කළ උපසම්පදාව සරණගමන උපසම්පදාවයි. පිප්ඵලී මානවකට බුදුරදුන් කළ අවවාද පිළිගැනීමෙන් සිදුවු උපසම්පාදව ඕවාද පටිග්ගහණ උපසම්පාදවයි. සෝපාක හෙරණුන්ගෙන් බුදුරදුන් විමසූ, ඒක නාම කිං ? ආදි වු දස ආකාර ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් සිදු වූ උපසම්පදාව ප්‍රශ්න ව්‍යාකරණ උපසම්පදාවයි. අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමත් සමග සිදු වූ මහා ප්‍රජාපතී ගෝතමිය ගේ උපසම්පදාව අෂ්ටගරුධර්ම පටිග්ගහණ උපසම්පදාවයි.

අඨ්‍යකාසී මෙහෙණියට දූතයකු මගින් උපසම්පදාව සිදු කළ හෙයින්, එය ‘දූතෙන උපසම්පදා “ නම් වේ. භික්‍ෂුණීන් විසින් සිව් වරක් කර්ම වාක්‍ය කීමෙන්ද? භික්‍ෂූන් විසින් සිව් වරක් කර්ම වාක්‍ය කීමෙන්ද භික්‍ෂුණීන්ට උපසම්පදාව පිහිටන හෙයින් භික්‍ෂුණී උපසම්පදාව “අට්ඨවාචික උපසම්පදාව “ නම් වේ. බුදුරදුන් පිරිනිවි හෙයින් උන් වහන්සේ විසින් සිදු කළ එම විශේෂ උපසම්පදාවන් අද සිදු කළ නොහැකිය. පිරිසිදු භික්‍ෂුණී ශාසනයක් නොමැති හෙයින් අට්ඨවාචික උපසම්පදාවද අද සිදුකළ නොහැකි බව පෙනේ.එහෙයින් වර්තමානයෙහි ඇත්තේ, සිදුකළ හැක්කේ ‘ඤත්ති චතුත්‍ථකම්ම “ උපසම්පදාවම පමණෙකි.

උපසපන් වන්නේ කවුරුන් ද?

හෙරණ ශික්‍ෂාවේ මනා පරිචයක් ඇති, ආචාර සම්පත්තියෙන් හා ශීල සම්පත්තියෙන් පිරිසුදු වූ හෙරණ තෙම උපසම්පත්තියට සුදුසුය. මුල් කාලයේදී මේ සඳහා වයස් භේදයක් නො තිබුණද, කුඩා දරුවන් උපසපන් කොට, ඇතිවු ගැටලු හේතුවෙන් වයස අවුරුදු 20 ට අඩු හෙරණුන් උපසම්පදා කිරීම අත්හිටුවන ලදී. මේ පරිපූර්ණ විසිවස ගණන් ගැනෙනුයේ උත්පත්තියේ පටන් නොව, පිළිසිඳිමේ පටන්. මෙය එක් සුදුසු කමක් වුවද, පසු කාලීන සුදුසුකම් රාශියක්ම සපුරා තිබීම උපසම්පදාව සඳහා අනිවාර්ය වූ බව පෙනේ. කුටෙඨා, ගණෙඩා ආදි අභව්‍ය ධර්ම වලින් නිදහස් වූ අයෙකු ම උපසම්පදා කළ යුතු අතර පණ්‍යවකාදි අභව්‍ය පුද්ගලයන් එකොළොස් දෙනාද පැවිද්දට අභව්‍ය පුද්ගලයන් දෙතිසද උපසම්පදාව ලැබීමට නුසුදුසුවේ. මෙකී දුර්වලතාවන්ගෙන් තොර, සුදුසුකම් සපිරූ ශ්‍රමණ ආකල්ප ඇති ඉතා කුඩා වරදෙහි පවා බිය දක්වා සුළු ලජ්ජී පේසල හෙරණ තෙමේම උත්තම උපසම්පදාවට සුදුසු වන්නේය.

උපසපන් කළ හැක්කේ කවුරුන් විසින්ද?

බුදුරදුන් වදාළ පරිදි ප්‍රත්‍යන්ත දේශයක් වූ ශ්‍රී ලංකාවෙහි විනයධර භික්‍ෂුවක් පස්වනු කොට ඇති සංඝයා වෙතින් උපසම්පදාව ලද හැකිය. මිහිඳු මාහිමියන් මෙරටට වඩින විට තමන් ඇතුළු උපසම්පන්න පස් නමක් සහිත වූයේද එහෙයින් බව සිතිය හැකිය.

උපසපන් කරනුයේ කෙසේද?

සීමා දෝෂ විරහිත සීමාවකට රැස්වු භික්‍ෂූ සංඝයා විසින් උපසම්පත්තිය ගරු විනය කර්මයක් ලෙස සිදුකළ හැකිය. අතීතයේ සිට උපසම්පදාව සඳහා ජල සීමා (උදකුකෙඛප සීමා ) සහ බද්ධ සීමා යොදා ගත්තද වඩාත්ම සුදුසු සීමාව ලෙස සැලකෙන්නේ උදකුක්ඛේප සීමාවයි. සීමා සංකරතාවට ඉඩක් නොමැති හෙයිනි. වර්තමානයෙහි බද්ධ සීමා ලෙස සම්මත කළ සීමාවක්, පැරණි සීමාවක් හා ගැටුණහොත් සීමා සංකරතාවක් ඇතිවිය හැකි හෙයිනි. උපසම්පදාවෙදී සීමා සම්පත්තිය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයින් සීමාවක් තෝරා ගැනීමේදි වඩාත් සැලකිලිමත් විය යුතුවේ.

උපසම්පදාවෙදි මුලින්ම සිදු කරනු ලබන්නේ හෙරණුන් (උපසම්පදා අපේක්‍ෂකයන්) සුදුවත් හදවා ගිහි බවට පමුණුවා නැවත පැවිදි කිරීමයි. පිරිසිදු සාමණේර ශීලය සහිත අයෙකු උපසම්පත්තියට පත් කිරීමට හැකි හෙයිනි. උපසම්පදාව සඳහා සීමාවට පමුණුවන හෙරණුන්ට ඉන්පසු නාම සම්මුතියක් දෙනු ලැබේ. උපසම්පදාව අපේක්‍ෂා කරන්නා ‘නාග ‘ ලෙසද උපාධ්‍යයයන් වහන්සේ ‘තිස්ස’ ලෙසද සම්මත කිරීම කර්මාචාර්යන් වහන්සේ විසින් සිදු කරනු ලැබේ.

උපසම්පදා වෙන් වස් විස්සක් ඉක්මවා, ‘මහාථෙර’ සම්මුතිය ලද සුපේශල ශික්‍ෂාකාමී, විනයධර මහ තෙරනමක්ම මේ සඳහා සීමා මාලකයේ උපාධ්‍යය ආසනයට පත් කරගන්නා අතර, කර්මාචාර්යවරුන් වශයෙන් නිසි පරිදි විනයානුකූලව වත්මනත් පුරා අබ්භාන විනය කර්මයෙන් පාරිශුද්ධියට පත්, පරෝපවාදය රහිත, ගුණ වෘද්ධ, තපො වෘද්ධ, බහුශ්‍රැත භික්‍ෂුන් වහන්සේලා ම තෝරා ගනු ලබති. නාම සම්මුතියෙන් පසු උපාධ්‍යය ග්‍රහණය කෙරේ.

උපජ්ඣායො මෙ භන්තේ හොහි “ යනුවෙන් උපසම්පදා අපේක්‍ෂකයා තෙවරක් උපාධ්‍යයන් වහන්සේ වෙතින් ඉල්ලීම කරන අතර උපාධ්‍යයන් වහන්සේ ‘පතිරූපං ‘ යනුවෙන් එය පිළිගනු ලබයි. අනතුරුව පා සිවුරු විචාරණු ලැබේ.

ඉන් අනතුරුව බුද්ධාඥාව පරිදි සංඝයාගෙන් බැහැරව උපසම්පාදපේක්‍ෂකයාගෙන් අන්තරායික ධර්ම පිළිබඳව විමසිය යුතු හෙයින් සංඝ සම්මතයෙන් පත්වන භික්‍ෂුවක් සීමාවේ කෙළවරකදි තෙළෙසක් පමණ වු අන්තරායික ධර්මයන් විමසා ඒවායින් පිරිසුදු බව දැනගත් කල්හි එම කර්මාචාර්යන් වහන්සේ, නැවතත් අපේක්‍ෂකයා සඟ මැදට පමුණුවා එතැනදීත් එවූ පරිදිම විචාරා පිරිසුදු බව සංඝයාට දැන්වූ කල්හි උපසම්පදා යාචනය කළ යුතුවේ. ඉන් අනතුරුව ඤත්ත චතුත්‍ථ කර්මවාක්‍යයෙන් උපසම්පදාව සිදු කරනු ලැබේ. කර්ම වාක්‍ය දේශනයද අතිශය සැළකිල්ලෙන් යුතුව උච්චාරණ ශුද්ධිය ඇතිව කළ යුතුවේ. කර්ම වාක්‍යයේ අගට කියැවෙන “එවමෙතං ධාරයාමි “ යන්නෙහි අවසන් අකුර උච්චාරණය වීමත් සමඟම බුද්ධාඥාව පරිදි හෙරණුන් කෙරෙහි උපසම්පදාව පිහිටයි.

ඉන් අනතුරුව, උපසම්පදා ලාභියා, උපසම්පදාව ලැබු වේලාව, ඡායා ප්‍රමාණය ඍතු ප්‍රමාණය, දිව්‍ය භාගය ආදි සියල්ල කියා දෙන අතර, විශේෂ අනුශාසනාවේදී උපසම්පන්න භික්‍ෂුව විසින් සේවනය කළ යුතු නිශ්‍රය ධර්ම සතරද, සේවනය නොකළයුතු අකරණීය ධර්ම සතරද පිළිබඳව දැනුවත් කෙරේ. එයින් සීමා මාලකයේදී සිදු කෙරෙන කටයුතු අවසන් වන අතර, අනතුරුව, තිචීවර අධිට්ඨාන, පාත්‍ර අධිෂ්ඨාන ආදිය සිදු කරනු ලැබේ.

මෙය ශාසනික වශයෙන් කෙනෙකුට ලැබෙන උදාරතම දායාදයයි. එය ශ්‍රද්ධාවෙන්ම කළ යුත්තකි. ලැබිය යුත්තකි. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් ධර්ම විනය පවතිනු කැමතිව ශාසන දයාවෙන්ම ලබාදිය යුත්තකි. එබඳු උදාර විනය කර්මයක්, මෙම ජූලි මස 16 වැනි දින ආරම්භ කොට, 23 වැනි දින දක්වා සතියක් ංකාරභිධාන මහ නා හිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශුද්ධ භූමියෙහි පිහිටි ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය කේන්ද්‍රකොට ගෙන, අනුරාධපුර මිහිඳු පුර මල්වතු ඔය පාළම අසළ ඔයේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. හෙරණ පැවිද්දන් හාර සියයක් පමණ උපසම්පදා භූමියට පත්කොට, සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා දායාද කෙරෙන, මෙම මහාර්ඝ පුණ්‍ය කර්මය අනාගත ලෝකයට මහත් ශාන්තියක් ගෙන දෙනු නො අනුමානය.

චිරං තිට්ඨතු , ලොකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං”


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.