Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුරගල

අනුරාධපුර, පොළොන්නරුව ඉපැරැණි රාජධානි පුරා විසිරී, පැතිරී ඇති නටබුන් අතර ශේෂ වී තිබෙන ගෘහ නිර්මාණ ආශි‍්‍රත විවිධ කලා කෘති බොහොමයකි. පැරැණි ආගමික ගොඩනැඟිලිවල පියගැට පෙළ විචිත්‍රවත් කිරීම සදහා යොදාගත් කලා නිර්මාණ ඒ අතරින් සුවිශේෂී වෙයි. මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහණ නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ ලිපිය මගින් මුරගල හෙවත් ආරක්‍ෂක ගල පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කෙරේ.


පොළොන්නරුව වටදාගේ මුරගල

ආරම්භයේ සිට වර්තමානයේ නටබුන් අතර දක්නට ලැබෙන කලාත්මක මුරගල දක්වා ක්‍රමික විකාශනයක් දක්වන මෙම කලා නිර්මාණය අවස්ථා කිහිපයක් පසු කරමින් සංවර්ධනය වූ බව දක්නට ලැබේ.

කැටයම් රහිත මුරගල
පුන්කළස සහිත මුරගල
බහිරව රූප සහිත මුරගල
නාග රූප සහිත මුරගල
නාග කුමාරයා සහිත මුරගල
 

කැටයම් සහිත මුරගල

මුල් අවස්ථාවෙහි මුරගලෙහි කිසිදු කැටයමක් දක්නට නොලැබේ. සරල, පැතලි, චාම් ගල් පුවරුවක් වශයෙන් එය සිටුවා තිබේ. අදත් අනුරාධපුර රුවන්වැලිසෑය ආශි‍්‍රතව මෙබඳු මුරගල් දක්නට පිළිවන.

පුන්කළස සහිත මුරගල

මුරගල සඳහා පළමුවෙන්ම යොදන ලද සැරසිලි අංගය පුන්කළසයි. පුන්කළස සිංහලයන් අතර එදත්, අදත් සෞභාග්‍යය පිළිබිඹු කරනු ලබන ප්‍රකට සංකේතයයි. අල්ප උන්නතව තලය පුරා විසිරී යන සේ පුන්කළස කැටයම් කර තිබේ. කළසෙහි අඩිය නෙළුම් පෙතිවලින් සරසා, නෙළුම් මල්, කැකුළු සහ පත්‍ර කළසට බහා ඇති අන්දම දක්වා ඇත. කළසෙහි බඳ මනහර ගැටයක් යොදා අලංකාර කරයි. මෙබඳු මුරගල් තොලුවිල ආශි‍්‍රතව දැකිය හැක.

බහිරව රූප සහිත මුරගල්

පුන් කළසින් බැහැරව අලුත් සංකේතයක් යෙදූ අවස්ථාවක් ලෙස බහිරව රූප යෙදූ මුරගල හැඳින්විය හැකිය. බහිරවයා යනු නිදන් රකින්නෙකු බව පොදු ජන විශ්වාසයයි. ඩී.ටී. දේවේන්ද්‍ර හෙන්රි පාකර් වැනි විද්වතුන්ගේ අදහස බහිරවයා සිද්ධස්ථාන හා නිදන් වස්තු ආරක්‍ෂා කරන බවයි. බහිරවයා විසුළු ස්වරූපයක් උසුලන්නෙකි. නෙරාගිය උදරය, කෙටි අත පය, විශාල දෙනෙත් සහ දෙතොල් , ඉන වටා ඇඳි කෙටි වස්ත්‍රය, ඔහු සතු විශේෂ ලක්‍ෂණ වේ. මුරගලෙහි යෙදු බහිරවයා කඩුවක් වැනි යමක් අතින් දරා සිටී. මෙබඳු මුරගල් වර්ග දෙකකි. එක් බහිරවයෙකුගේ හිස මත පද්මයක (නෙළුම් මලක ) හැඩය දක්නට ලැබේ. අනෙක් බහිරවයාගේ හිස මත ශංඛයක (හක් ගෙඩියක) සලකුණක් යොදා තිබේ. ධනයට අධිපති කුවේරයාගේ අතවැසියන් වන පද්ම නිධි සහ සංඛ නිධි මෙයින් නිරූපණය වන බවට මතයක්ද මෙම මුරගල් ආශ්‍රයෙන් සමාජගතවී ඇත.


පුන්කළස සහිත මුරගලක්

මුලින් සඳහන් කළ පරිදි ‘ බහිරවයා නිදන් රකින්නෙකි’ යන ගැමි විශ්වාසය පදනම් කරගෙන ගල් කැටයම් ශිල්පියා මුරගලට බහිරව රූපය යොදන්නට ඇත්තේද සිද්ධස්ථානයේ සහ ඒවායෙහි නිදන් කර ඇති වටිනා වස්තුන් ආරක්‍ෂා කිරීමට විය හැකිය. අනුරාධපුර නටබුන් නරඹන රිසියෙන් ඇවිද යන අපට අභයගිරි දාගැබ අබියස දී සහ විජයාරාම විහාරගෙය අසලදී බහිරව රූප සහිත අගනා මුරගල් දක්නට පිළිවන.

නාග රූප සහිත මුරගල

බහිරව රූපය යෙදූ මුරගලට පසු කලෙක නාග රූපය යොදාගත් බව එහි විකාශනය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව පෙනී යයි. මෙම මුරගල් විශේෂයෙහි ද වර්ග දෙකක් දක්නට ලැබේ.

පෙන පහක් සහිත නාග රූප යෙදූ මුරගල්

පෙන හතක් සහිත නාග රූප යෙදු මුරගල් වශයෙනි

මෙහි දැක්වෙන නාගයා අටේ ඉලක්කම් දෙකක් මෙහි දරණ ගසාගෙන සිටී. එසේ වුන ද හිස සිට වළිගය දක්වා ශරීරය ක්‍රමයෙන් කුඩා වී යන හැඩය ගල් කැටයම්කරු මනාව යොදාගෙන ඇත. එසේම නාගයාගේ සිරුරෙහි දක්නට ලැබෙන කොරපොතු පවා සියුම්ව නෙළා තිබීම විශේෂිතය.

ජලයට අධිපති දෙවියෙක් ලෙස ඉපැරැණි සමාජයේ නාගයා පිළිගැනීමට ලක් වු හෙයින් දෝ නාග රූප යෙදූ මුරගල් වැඩිපුරම දක්නට ලැබෙනුයේ ජලාශි‍්‍රත ප්‍රදේශවලය.

මේ සඳහා දිය හැකි හොඳම නිදසුන අනුරාධපුර කුට්ටම් පොකුණ අසල උතුරු දෙසින් දක්නට ලැබෙන මුරගලය. එහි දැක්වෙනුයේ පෙන පහකින් සමන්විත නාග රුවකි.


බහිරව රූප සහිත මුරගලක්

නාග කුමාරයා සහිත මුරගල

මුරගලේ විකාශනය පිළිබඳව සලකා බැලීමේදී අපට හමුවන ඉතා දියුණුම අවස්ථාව නාග කුමාර රූපය දැක්වෙන මුරගලයි. මුරගල යන වචනය සවනත වැකෙත්ම අපේ සිහියට නිතැතින් නැගෙනුයේද මෙබඳු මුරගලකි. ඒ තරමටම නාග කුමාරයා සහිත මුරගල ඉතා ජනපි‍්‍රය ය.

මෙම මුරගලෙහි දැක්වෙනුයේ ඉතා කඩවසම් තරුණයෙකි. සිරුර පාෂ්ඨිමත්ය. මානවදේහය නෙළීම පිළිබඳ මනා පරිචයකින් යුක්තව ගල් කැටයම් ශිල්පියා මේ නාරජ රුව නෙළා තිබේ. ශරීරය පරිමාණානුකූලය තාත්ත්වික ය. හේ ති‍්‍රභංග , ලීලාවෙන් සිටී. වැළමිටෙන් ඉහළට නවාගත් එක් අතක උරහිස මට්ටමේ දී පුන්කළසක් දරයි. පහළට දිගු කළ අනෙක් අතින් අතු රිකිල්ලක් බඳු මල් වැලක් අල්ලාගෙන සිටී.

මුහුණ ඉතා ප්‍රසන්නය. මඳ සිනාවෙන් යුතුව සතුටින් සිටින බව පෙනේ. හිසෙහි දිගටි ඔටුන්නකි. එහි රමණීය කැටයම් වේ. පළඳාගෙන සිටින කුණ්ඩලාභරණ යුවල උරහිස මත පට්ටල වේ. උඩු කය නිරාවරණය උදරය මැද පටියක් වේ.යටිකය බොල දක්වා වැටෙන දුහුල් වස්ත්‍රය තුළින් සිරුර විනිවිද පෙනේ. ඉනෙහි මනහර ගැටයකි.

ගැටය නිසා උදරය තරමක් ඉදිරියට නෙරා ආ බව දැක්වීමෙන් ශිල්පියා නාරජුට තාත්ත්විකත්වය ආරෝපණය කරයි. කැටයමින් යුත් විසිතුරු මාල, වළලු, ආදිය පැළැඳ සිටී. උරහිස හා ළය හරහා වැටෙන උපවිතයකි.මූලාරම්භයේ සිට මුරගල අලංකාර කිරීම සදහා යොදාගත් සැරසිලි අංග සියල්ල එකතු කොට මේ මුරගල නිර්මාණය කළේදැයි සිතෙන තරමට ඒ සියල්ලම අතනෑරම මෙයට යොදා තිබේ.

අත රඳවා ඇත්තේ පුන්කළසයි. බහිරව රූප එකක් හෝ ඇතැම්විට දෙකක් නාග කුමාරයාගේ පය පාමුල යොදා තිබේ. එක් අවධියකදී මුරගලේ වු නාග රූප වල දැක්වු නාග පෙණ මෙම තරුණයාගේ හිස වටා ගලපා තිබේ. මේනිසාම මෙකී මානවරූපය නාග කුමාරයා වශයෙන් හඳුන්වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. නාග කුමාරයා සහිත මුරගල් සුලබව දක්නට ලැබුනද, දැනට හමුවී ඇති මුරගල් අතරින් කලාත්මක ගුණයෙන් උසස්, ඉතා විශිෂ්ට මුරගල හමුවනුයේ අනුරාධපුර ඇත්හළ නමින් ප්‍රකට රත්න ප්‍රාසාදය අසලිනි.


අනුරාධපුර රත්න ප්‍රාසාද මුරගල

ඉහත සඳහන් කළ ලක්‍ෂණ සියල්ලම මෙම මුරගලෙහි දක්නට ලැබේ. ඉතා සියුම්ව කැටයම් යෙදීම විශේෂිතය. රත්න ප්‍රාසාද මුරගලේ රමණීයත්වය වර්ධනය වනුයේ නාග කුමාරයාගේ හිස වටා ඇති අර්ධ කවාකාර හැඩය විචිත්‍ර කැටයමෙන් යුක්තවීම නිසාය. මුරගල දෙපස වූ කුලුණු දෙක මත මකර මුඛ දෙකකින් විහිදෙන මල් වැලකි. ඒ මල්වැල මධ්‍යයෙහි මුරගල මුදුනෙහි තවත් මකර මුඛ දෙකක් යොදා තිබේ. මල් වැල තුළ ගන රූප කිහිපයක්ද වේ. බාහිරින් පැත්තක යොදා ඇති තවත් කුලුණක් මත වාඩිගත් ඇත්රුවකි.

පොළොන්නරු යුගයට අයත් මුරගල් අතර උසස්ම නිර්මාණය හමුවන්නේ වටදාගේ නැඟෙනහිර දිසාවෙනි.

මෙලෙස ක්‍රම ක්‍රමයෙන් විකාසනය වෙමින් දුර ගමනක් ආ මුරගල පැරණි සිංහල ගල් කැටයම් කලාවේ රමණීයත්වය, අභිමානය ලොවට නිහඬව ප්‍රකාශ කරන උත්කෘෂ්ඨ නිදසුනකි.

 

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.