Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රටේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බෝතොට පුරාණ රාජ මහා විහාරයේ කිරිපිඬු පූජා මංගල්‍යය

රටේ අනාගත සෞභාග්‍යයත් සශ්‍රීකත්වයත් රට වැසි ජනතාවට නිරෝගිභාවයත් ප්‍රාර්ථනාකරමින් පැරැණි නැකැත්විධි චාරිත්‍ර හා ඒවායේ පෞරාණිකත්වයත් සිහිගන්වමින් ත්‍රිවිධරත්නය උදෙසා හාල්සේරු තිස් හතරකින් සකස් කරන ලද කිරිපිඬු පූජා මංගල්‍යයක් ජූලි මස 3 , 4 දිනයන්හි හාරිස්පත්තුව ඓතිහාසික බෝතොට රාජ මහා විහාරයේදී පැවැත්වේ.

බෝතොට රාජමහා විහාරාධිපති මල්වතු මහා විහාරාධිවාසි මල්වතුකාරක මහා සංඝ සභාවේ කාරක සභික කර්මාචාර්ය බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත නාහිමියන්ගේ සහ මල්වතු මහා විහාරවාසී බෝතොට රාජමහ විහාරාධිකාරි කර්මාචාර්ය හීනටියන්ගල මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථදායක සභාවේ පූර්ණ දායකත්වයෙන් හා ආධාරයෙන් රටට ආසිරි ප්‍රාර්ථනා කරන කිරිපිඬු පූජා මංගල්‍යය පැවැත්වීමට රේවත නාහිමියෝ විධ විධාන යොදා ඇත.

ජූලි 3 වනදා රාත්‍රි 7.30 ට ආරම්භ කරන පූජා පෙරහර බෝතොට විහාරයෙන් ආරම්භ කර විහාර මළුවෙන් රණවන මාර්ගය බෝතොට මංසන්දිය වෙත ගමන් කර ආපසු විහාරය වෙත පිවිස ගෙවදී. මෙදින උදේ 8.30 ආරම්භ කරන සර්වඥධාතු දැක්මකි. රාත්‍රි පෝය හේවිසි සහ වෙස් නැටුම් සංදර්ශනයකි.

දායකයින් විසින් බෝතොට පැරැණි ඇල්ලනඔය වෙත ගෙනයනු ලබන කිරිආහාර පාත්‍රය වත් පිළිවෙත් චාරිත්‍ර අනුව පාත්‍රය සෝදා පවිත්‍රකර එහි පියන මත පූජාවට සකස් කරන ලද විශාල ප්‍රමාණයකින් යුතු අග්ගල පූජාව එහි තබා විහාරය වෙත පෙරහරකින් ගෙන එන අතර දවල් 11.00 ට කිරිපිඬු පූජාව පැරැණි විහාර මන්දිරය තුළ සිදු කෙරේ.

මෙහි පළමු ආහාර පුජාව විහාරයෙන් සිදු කරන අතර දායක ගම්වාසින්ට ආහාර පුජාව පැවැත්වීමට සියලු පහසුකම් සලසා ඇත.මෙදින සවස 2.30 දවල් පෙරහර පවත්වා පුජා මංගල්‍යය අවසන් කෙරේ.

බෝතොට විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ බෙන්තර ශ්‍රී දේවමිත්ත හිමියන් මෙම පූජා මංගල්‍යය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති අතර අපවත් වී වදාළ බෙන්තර සෝමානන්ද නාහිමිගේ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත නාහිමියන් විසින් 1993 ප්‍රතිසංවිධානයකින් පසු මෙම මංගල්‍යය මේ දක්වා ගම්වාසි සියලු දායක දායිකාවන්ගේ ආධාරයෙන් පවත්වා ගෙන යනු ලැබේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.