Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු පුත් මවු පිය උපහාර උළෙලින්...

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රි.පූ. තුන්වන සියවසේ දී බුදුදහම රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළහ. උන්වහන්සේ ලාංකික ජන සමාජයට බුදු සමයේ උරුමකම් ලබා දුන්හ. ඒ සඳහා ගත් පළමු පියවර වූයේ ලාංකික දරුවකු සසුන් ගත කිරීමයි. අරිට්ඨ කුමරු පැවිදි කිරීමෙන් පසු එම උරුමය ශ්‍රී ලාංකිකයන්ට හිමි විය.


උත්සවයට සහභාගි වූ පිරිස අතර මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස.

ඒ මහා සංඝරත්නය චීවර පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නට හේතු වූයේ අපේ රටේ දෙමවුපියන් තම පණ දෙවැනිකොට හදා වඩා ගත් ආදරණීය දරුපැටවුන් සසුනට පූජා කිරීමයි. 2011 දී යෙදෙන සම්බුද්ධත්ව ජයන්තියේ 2600 වැන්න සමරන්නට රටේ බොහෝ දෙනා පිළිවෙතින් පෙළ ගැසෙන බව පෙනෙන්නට තිබේ. එය ඉමහත් සතුටට කරුණකි.

එම සතුට තව තවත් වඩා වර්ධනය කර ගන්නට පසුගියදා මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලය අභිමානවත් බුදුපුත් මා පිය උපහාර උළෙලක් සංවිධානය කරන්නට යෙදුණි. එහි සභාපති අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ සහ ලේඛාධිකාරී මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයත්, මහනුවර මහ දිසාපති කාර්යාලයත් එක්ව දියවඩන නිලමේතුමාගේ මැදිහත්වීමෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී එම උත්සවය සංවිධානය කරන්නට විය.


උත්සවයට පැමිණි මවුපියන්ට මහා සංඝ රත්නය පිරිත් නූල් ගැට ගසා සෙත් ප්‍රාර්ථනා කළ මොහොතක්..

බුදු පුත් මවුපිය උපහාර උළෙලට මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයට සම්බන්ධ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලවල සභාපති හිමිවරුන්ගේ හා ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙමවුපියන්ට ද ආරාධනා කර තිබුණි.

එම චාම් එහෙත් අභිමානවත් උළෙලට සහභාගි වූ සම්භාවනීය පුරවැසියන් අතර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලවල සභාපති හිමිවරුන් හා ලේඛකාධිකාරී හිමිවරුන් ද වූහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මධ්‍යම පළාත් මහාමාත්‍ය සරත් ඒකනායක මහතා, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ගේ ලේකම්තුමන් ප්‍රධාන සම්භාවනීය පිරිසක් ද එම උළෙලට සහභාගී විය.

කඳුලු පිරි දෑසින් යුතුව ආරාධිත දෙමාපියන් තෑගි ලැබුණු බුදු පිළිම වහන්සේ දෝතින් වැඩම කරගෙන සිල් රෙද්දද අතින් දරා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මන්දිරයෙන් පිටත්ව යනවිට මේ දෙස බලා සිටි බොහෝ දෙනෙකුගේ ඇස් වලින් කඳුලු බිඳු ගලා ඒමට තරම් සංවේදී අවස්ථාවක් විය.

 

 

.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.