Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්දියාවේ මහාබෝධි විහාරය

ඉදිකිරීම කෙතරම් පසුව සිදුවූවක් වුවත් බුදුන් වහන්සේගේ කෘතවේදී අනුගාමිකයෝ වසර 1200 කටත් වැඩි කලක් මහාබෝධි විහාරයේ ගෞරවය ආරක්ෂා කර ගන්නට සහ දියුණු කරන්නට යත්න දැරූහ. ඒ බව බුද්ධගයාවේදී සොයාගන්නා ලද සෙල් ලිපි වලින් මැනවින් පළ කැරෙයි. මේ සෙල්ලිපි වලට අනුව ක්‍රි.ව. 382 - 383 සමයේ බුදුපිළිම දෙකක් එහි පිහිටුවා ඇත. ක්‍රි.ව. 388 දී ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජු විසින් ප්‍රෞඪ කුලුණු තුනක් සමග විශාල සංඝාරාමයක් නිමවා අඩි 30 - 40 තෙක් උස තාප්පයකින් වටකර ඇත.

සිද්ධාර්ථ කුමරා සිය තාරුණ්‍යයෙහි වසන්ත සමයේ ලෞකික සැප සම්පත් අත්හැර සත්‍ය ගවේෂණය සඳහා ගිහි ජීවිතයට විරාමය තබා පිටත්ව යන විට සැලසුම්ගත අරමුණක් තිබුණේ නැත. සිදුහත් කුමාර තෙමේ පැවිදි වෙස් ගෙන කිඹුල්වතින් පිටත්ව පා ගමනින් ගොස් කි.මී 650 ක් දුරින් පිහිටි රාජගෘහයට (රජගහ නුවර) ළඟා වූයේ ය. එවක රජගහ නුවර ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් නිසා කීර්තියක් අත්කරගෙන තිබිණ. එහිදී ඔහු ආලාරකාලාමයන්ගේ ආශ්‍රමයෙන් සිට ඔහුගෙන් සාංඛ්‍ය දර්ශනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේ ය. එහෙත් ඔහු එයින් තෘප්තිමත් වූයේ නැත. ඉක්බිති ඔහු ගියේ උද්දක රාමපුත්තගේ් ආශ්‍රමයට ය. එවක ඔහු ද විශිෂ්ට ගුරුවරයෙකි. එහිදී ඔහු විසින් උගන්වන ලද භාවනා ක්‍රම පිළිබඳ පුහුණුවක් ද ලද හැකි විය.

එහෙත් එතෙකුත් ඔහු පැතූ මානසික සහනය ලැබුණේ නැත. එබැවින් සිය මානසික අසහනයට පිළියමක් සොයනු පිණිස සිදුහත් බෝසතාණෝ තවදුරටත් ඉදිරියට යමින් එයින් කි.මී 65 ක් පමණ දුරින් පිහිටි උරුවේල වන පියසට ළඟා වූයේ ය. එහිදී ඔහුට රජගහ නුවරදී හඳුනාගෙන සිටි පඤ්ච වාර්ගික පරිබ්‍රාජකයෝ ද එක් වූහ. එතැන් සිට සිදුහත් තෙමේ හය වසරක් පුරා දැඩි තවුස්දම් හා කායික දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූයේ ය. එතෙක් දූ ඔහුගේ අරමුණ සාක්ෂාත් වූයේ නැත. අන්තිමට දුෂ්කර ක්‍රියාවේ නිෂ්ඵලත්වය වටහා ගත් බෝධි සත්ත්වයෝ උපවාසයෙන් මිදී අසල් ගමක සිටු දුවක් වූ සුජාතාව විසින් පිරිනමනු ලැබූ කිරිපිඬු පාත්‍රය පිළිගත්හ. සුජාතාව සිතුවේ බෝරුක් මුල සිටියේ තමාගේ කිරිපිඬු පිළිගන්නට එතැනට පැමිණි වෘක්ෂ දේවතාවා බව යි. එයින් නොමනාපයට පත් පඤ්ච වග්ගික පරිබ්‍රාජකයෝ බෝසතාණන් වහන්සේ තනිකර දමා ගියහ. බෝසතුනට සිදුවූයේ තමන් ගත් පිළිවෙතෙහි සිට ඉදිරියට යෑම යි.

කිරිපිඬු වැළඳීමෙන් නව පණ ලත් බෝසත්තුමා තමාට වැරදුණේ කොතැන දැයි සිතා යටගිය අත්දැකීම් මෙනෙහි කළහ. ඉක්බිති බුද්ධත්වය ලැබීමේ අධිෂ්ඨානයෙහි ස්ථාවර වූහ. පරම සත්‍යය අවබෝධය පිණිස සිත් යොමු කළ බෝසත්තුමා, බෝරුක් පාදයෙහි බද්ධ පර්යංකයෙන් හිඳ ගත්තාහු මෙසේ අදිටන් කළහ. ‘මාගේ් මේ සිරුරෙහි මස් වියලේවා. ලේ සිඳ යේවා. ඇට විසිරේවා. එතෙක්දු කෙලෙසුන් නසා මිස මේ අසුනින් නොනැඟිටිමි. ‘අසමසම ධ්‍යානයෙන් සහ සති හතරක දැඩි උත්සාහයෙන් පසු බෝසතාණෝ ක්‍රි.පූ. 528 ක් වූ වෙසක් පෝදා සම්බෝධියට පත් වූහ.

සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බෝධිය හෙවත් උපරිතම අවබෝධය ලත් භූමිය පිහිටා ඇත්තේ අද බිහාර් (විහාර) ප්‍රාන්තයේ ගයා නගරයේ සිට සැතපුම් හතක් පමණ දුරක් ගිය තැන හමුවන නිලජන් හෙවත් ලීලජන් හෙවත් පැරණි නේරන්ජන ගඟෙහි බටහිර ඉවුරේ ය. මේ පුදබිමේ පළමුවන ආරාමය ගොඩනඟන්නට ඇත්තේ අශෝක අධිරාජයා (ක්‍රි.පූ. 273 - 232) විසින් විය හැකි ය. ක්‍රි.පූ. 250 පමණේ දී බුද්ධගයාවේ නිමවන ලද තවත් ගොඩනැගිලි, මධ්‍ය ප්‍රදේශ්හි භාර්හුත් ස්තූ®පය අසලින් සොයා ගන්නා ලද අල්පෝන්නත ගල් කැටයම් අතරින් හමු වී ඇත. එක් ගල් කැටයමක බෝරුක දැක්වෙයි. එය ඉදිරියෙන් වජ්‍රාසනය යි. එය ජත්‍රයෙන් සහ මල් ලියකමින් සරසා ඇත. මේ සියල්ල ගල්ටැමින් නිමි ශාලාවකින් සෙවණ ලබා තිබේ. ඒ අසල සුපතළ අශෝක කුලුණු වලින් එකකි. එහිත් බෝරුක වටා වැලිගල් වැටකි. බෝරුකට ඉහළින් තොරණකි. තොරණෙහි නැගෙනහිර ආරක්ෂක දේවතාවෙක් වෙයි. තවත් කැටයමක රතන චංකමන චෛත්‍යය දැක්වෙයි. තවත් නිර්මාණයක් වන්නේ කැටයම් කරන ලද නෙළුම් මල් වේදිකාවකි. නෙළුම් වලින් සංකේතවත් වන්නේ බුදුන් වහන්සේගේ් පියවර යි. වේදිකාවේ උතුරු කෙළවරෙහි ආරුක්කු නිර්මාණයකි.

නූතන තේජස්වි මහාබෝධි විහාරය ගොඩනඟා ඇත්තේ ක්‍රි.ව. දෙවැනි සියවසේ දී ය. ඒ අශෝක අධිරාජයා විසින් ගොඩනංවන ලද විහාරයේ නටබුන් මත යි. වජ්‍රාසනය හෙවත් බුද්ධත්වය ලබන විට වාඩි වී සිටි ආසනය ඒ මූලික තත්ත්වයෙන් ම පවතී. හවිෂ්ක රාජයාගේ රන් කාසියක් ඉදිරිපත් කිරීමෙන් වර්තමාන විහාරයේ ආයු කාලය සහතික කර ඇත. ඒ රන් කාසිය ලැබී ඇත්තේ සිදුරු කරන ලද තවත් රිදීකාසි කීපයක් සමඟ වජ්‍රාසනය ඉදිරිපිට තැන්පත් කර තිබුණු ‍ෙකෟතුක වස්තු අතරිනි. මහාබෝධි විහාරය කනිෂ්කට පසු දෙවන කුෂාන පාලකයා වූ හවිෂ්කගේ රාජසමයේ ගොඩනඟන ලද බව ඉන්දු - සයිතියානු සහ ගුප්ත ශිලා ලේඛන වාර්තා කරයි. මහාබෝධි විහාර විවේකාගාරය තුළ ඇති ඔප දමන ලද විශාල භූ®මි ස්පර්ශ මුද්‍රාව සහිත බුදුපිළිමය ඇතැම් විට ක්‍රි.ව. 380 දී පමණ එකතු කරන ලද්දක් විය හැකි ය. මේ විශිෂ්ට ප්‍රතිමාව තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳ පරම සංසිද්ධිය සංකේතවත් කරයි.

බුද්ධගයා විහාරය, මහාබෝධි නමින් හැඳින්විණි දැයි ස්ථිරව කිව නොහැකි ය. අශෝක තමන්ගේ සෙල් ලිපියේ එය සම්බෝධි නමින් සඳහන් කරයි. ක්‍රි.ව. 409 දී එය දුටු ෆාහියන් විහාරය විශේෂ කිසිදු නමකින් නොහඳුන්වයි. කෙසේ වෙතත් එයින් සියවස් දෙකකට පසු ක්‍රි.ව. 637 දී එය නැරඹු හියුං සාං ‘මහාබෝධි විහාර’ නමින් හඳුන්වයි. ඉන්පසු ඒ නම බුද්ධගයාවේදී හමුවුණු සෙල්ලිපි කීපයක ම සඳහන් වෙයි. එවන් අන්තිම සෙල්ලිපිය 14 වැනි සියවස දක්වා දිවෙන්නකි.

ඉදිකිරීම කෙතරම් පසුව සිදුවූවක් වුවත් බුදුන් වහන්සේගේ කෘතවේදී අනුගාමිකයෝ වසර 1200 කටත් වැඩි කලක් මහාබෝධි විහාරයේ ගෞරවය ආරක්ෂා කර ගන්නට සහ දියුණු කරන්නට යත්න දැරූහ. ඒ බව බුද්ධගයාවේදී සොයාගන්නා ලද සෙල් ලිපි වලින් මැනවින් පළ කැරෙයි. මේ සෙල්ලිපි වලට අනුව ක්‍රි.ව. 382 - 383 සමයේ බුදුපිළිම දෙකක් එහි පිහිටුවා ඇත. ක්‍රි.ව. 388 දී ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජු විසින් ප්‍රෞඪ කුලුණු තුනක් සමග විශාල සංඝාරාමයක් නිමවා අඩි 30 - 40 තෙක් උස තාප්පයකින් වටකර ඇත.

ක්‍රි.ව. 409 දී ෆාහියන් බුද්ධගයාවේ සංඝාරාම තුනක් දුටුවේ ය. ෆාහියන් කියන හැටියට එහි සියලු භික්ෂූහු සංඝයා පිළිබඳ විනය නීති අකුරට ම පිළිපැද්දෝ ය. ක්‍රි.ව. 450 දී පමණ බුරුම ජාතිතයන් විසින් මහාබෝධි විහාරයට ඇතැම් අමතර කොටස් නිමවා දෙන ලදී. ක්‍රි.ව. 600 පමණේ දී බුදුදහමේ පරම විරුද්ධවාදියකු වූ බෙංගාලයේ ශශංක රජ බෝරුක කපා, බිම හෙළා ගිනි තැබී ය. ඉන් වසර කිහිපයකට පසු ක්‍රි.ව. 620 දී සැදැහැවත් ඉන්දියානු බෞද්ධ රජකු වූ රාජ පූර්ණ වර්මා බෝධිය යළි පිහිටුවා නැවත එයට කරදරයක් වනු වළක්වන්නට අඩි 24 ක් උස තාප්පයකින් වට කළේය. හත්වැනි සියවසේ මහාබෝධි විහාරය සහ එහි විසූ බෞද්ධ ගිහි පැවිදි සමාජය පිළිබඳ සියැසින් දුටු අගය කිරීමක් හියුං සාංගෙන් අපට ලැබී ඇත. ඒ අනුව තුන්වැනි සහ අවසාන වශයෙන් විස්තාරික අංගනය සහිත වර්තමාන මහාබෝධි විහාරය හියුං සාං දුටුවේ ය. ඒ ආසන්නයේ ස්තූ®ප 21 ක් තිබුණු බව ඔහු කියා ඇත. බුද්ධ ශක්‍ර සහ මුචලින්ද නමින් ජලාශ තුනක් තිබිණ. ශ්‍රී ලංකා සංඝාරාමය සමග සංඝාරාම හයක් විය. ඒවායේ දහසකට වැඩි නේවාසික භික්ෂූහු සිටියහ. මහාබෝධි විහාරය ගැන හියුං සාං මෙසේ කියයි.

‘බෝධි වෘක්ෂයෙහි නැගෙනහිරට අඩි 160 ක් හෝ 170ක් පමණ උස විහාරයකි. එහි පහත මාලයේ බිත්තිය, ඉදිරියට පෙනෙන කොටසින් පියවර 20ක් හෝ ඊට වැඩි ය. එකකට එකක් වෙනස් බිත්ති ගල් කුහර රන්මුවා කුඩා රූප දරා සිටී. ගොඩනැඟිල්ලේ හතර පැත්ත කුතුහලය දනවන සැරසිලි වලින් ආවරණය වී ඇත. එක් තැනක මුතුමාල පැළඳ ගත් රූප ය. තවත් එකක සෘෂිවරුන්ගේ් රූප වෙයි. සමස්ත රාමුව ඔප දැමූ තඹ ආමලකයන්ගෙන් (නෙල්ලි) වටකර ඇත. නැඟෙනහිරදිසාවෙන් පෙනෙන මූණත් කොටසට මහල් සහිත මණ්ඩපයක් සම්බන්ධ වෙයි. පැහැදිලිව පෙනෙන්නට එකක් පිට එකක් සිටින සේ නැඟී සිටින කුටි තුනක නෙරා ගිය කුඩා ගුහා ලෙස පෙනෙන හිදැස් වෙයි. එහි එවන් නෙරා ගිය ගුහා, කුලුණු, බාල්ක, දොරවල් සහ ජනෙල් ආදියේ හිදැස් මුතු මැණික් එබ්බ වූ රන් හා හිදැස් රිදී කැටයමින් අලංකාර කර ඇත. සොල්දර තට්ටු තුනේ එක එකක අඳුරු මලානික කුටි හා අබිරහස් ශාලාවල දොරවල් වෙයි. පිටපැත්ත දොරටුවේ දකුණටත්, වමටත් කුඩා කුටි වැනි බිත්ති කුහර ඇත. දකුණු පැත්තේ මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ් රූපයකි. එය නිමවා ඇත්තේ රිදියෙනි. එය අඩි දහයක් පමණ උස ය. අශෝක රජතුමා පළමුවෙන් වර්තමාන විහාරබිමේ කුඩා විහාරයක් කරවා තිබිණ.

හියුං සාංගේ පැමිණීමෙන් පසු සියවස් හතරකට ආසන්න කාලයක් බුද්ධගයාවේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ හෝ වැඩි දියුණු කිරීම් සිදු කළ බවක් නොපෙනේ. ක්‍රි.ව. 1010 දී පමණක් බෙංගාලයේ කීර්තිමත් පාල රජ පරපුරේ මහීපාල විසින් ඇතැම් සුළු මට්ටමේ අලුත්වැඩියාවන් කරන ලද බව වාර්තා වී ඇත. එයින් හැත්තෑ වසරකට පසු ක්‍රි.ව. 1080 දී පමණ ශ්‍රී ධර්මරාජගුණ රජුගේ පාලන සමයේ බුරුම ජාතිකයන් විසින් මහාබෝධි විහාරයේ වැඩිදුර පුනරුත්ථාපන සහ නවීකරණ කටයුතු සිදුකරනු ලැබිණ. ඓතිහාසික මහාබෝධි විහාරයේ පුනරුත්ථාපන කටයුතු සඳහා ඉදිරිපත් වූ අවසාන ඉන්දියානු බෞද්ධ රාජයා වූයේ පන්ජාබයේ, සපදලක්ෂයේ (සිවලික් කන්ද) රාජ අශෝක වල්ලා ය. 1157 දී අශෝක වල්ලා පැමිණෙන විට මේ විහාර පුදබිමේ බුද්ධ පූජාව පැවැත්වීමේ වගකීම ශ්‍රී ලංකාවේ ගරුතර භික්ෂූන් වහන්සේ විසින් සිදුකරන ලද බව පෙනේ. රාජ අශෝක වල්ලා ඔහුගේ් එක් සෙල් ලිපියක මෙසේ සඳහන් කරයි.

‘තවදුරටත් බුද්ධ පූජාව සඳහා බඳුන්, සුවඳ සහ පහන්, තෙල් ආදියෙහි දෛනික සලාකය ඉර හඳ පවත්නා තාක් කල් මහාබෝධියේ ශ්‍රී ලංකා පර්ෂදයේ පුරෝගාමින් විසින් දරනු ඇත.’ රාජ අශෝක වල්ලාගේ පැමිණීමෙන් දසක කීපයකට පසු බුරුමයේ ලෙත්‍යමිනන් රජු ෂසින් මහාබෝධි විහාරය ප්‍රතිසංස්කරණය කර පුනරුත්ථාපනය කරන ලදී. ඉන්පසු බුද්ධගයාවට නරක දසාවක් උදා වූයේ ය. ඒ අතර භක්ත්‍යාර් ඛල්පිගේ ම්ලේච්ඡ රංචුවක් 13 වැනි සියවසේදී බිහාරය කොල්ල කෑහ. නාලන්දා ඕදන්තපුරි ආදි විශ්ව විද්‍යාල විනාශ කළහ. පෙර නුදුටු පරිදි බෞද්ධ භික්ෂූන් ඝාතනය කළහ. ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් බුද්ධගයාවෙන් පලා ගියහ.

1234 දී බුද්ධගයාවට පැමිණි තිබ්බතීය වන්දනාකාර ධර්මස්වාමීන්ට අනුව ‘විහාර පෙදෙස ජනශූන්‍ය පෙදෙසක් විය. විහාරය තුළ දකින්නට හැකිවූයේ භික්ෂූන් හතර නමක් පමණි. ඉන් එක් භික්ෂුවක් මෙසේ කීය. තත්ත්වය ඒ තරම් හොඳ නෑ, තුරුෂ්කා සෙබළුන්ට බයේ ඔක්කොම පැනලා ගිහින්, ඔවුහු මහාබෝධි පිළිමය ඉදිරිපිට දොරටුව ගඩොලින් අවහිර කොට බදාම දැමූහ. ඔවුහු එයට හිලවූවට ඒ අසල වෙනත් පිළිමයක් තැබූහ. එසේ ම විහාරයේ පිට පැත්තේ දොර ද බදාම තබා තහවුරු කැරිණ. ඉක්බිති අබෞද්ධයන්ගෙන් ආරක්ෂා කරනු පිණිස, බදාම තබා තහවුරු කළ තාප්පය මත මහේශ්වර රූපය අඳින ලදී. තවද භික්ෂුව මෙසේ කීය. අපි පස්දෙනා මෙතැන නතර වෙලා ඉන්න තරම් නිර්භීත නෑ. මඟ ඇරල යන්න තමයි වෙන්නෙ. ‘දවසේ තත්ත්වය එතරම් හොඳ නෑ. උණුසුම දැඩි යි. ධර්මස්වාමින්ගෙන් කියවිණ. ඔවුනට දැඩි වෙහෙසක් දැනිණ. අඳුර වැටීගෙන එද්දීත් ඔවුහු එහි ම වූහ. ඉක්බිති නිදා ගත්හ.’

‘හිරු උදාවත් ම ඔවුහු (භික්ෂූන් හතර දෙනා) කරත්ත පාරක් දිගේ උතුරු දිසාවට නොපෙනී ගියහ. දින දාහතක් පුරා ධර්මස්වාමීන් මහාබෝධි බුදුපිළිමයේ මුහුණ නුදුටුයේ ය. ඒ අතර එක්තරා කාන්තාවක්, තුරුෂ්කා සෙබළුන් විහාරය හැර දමා බොහෝ ඈත ගොස් ඇති බව දන්වන සතුටුදායක ආරංචිය ගෙන ආවා ය. එවිට ධර්මස්වාමීන් ආපසු වජ්‍රාසනය වෙත අවුත් මහාබෝධි පිළිමයට පුද පූජා පවත්වමින්ද එය පැදකුණු කරමින් ද එහි නතර වී සිටියේ ය.

ධර්මස්වාමීන්ගෙන් පසු මහාබෝධි විහාරය අමතකව ගිය පියවරකට එළඹියේ ය. අනුගාමි සියවස් කීපයක් තුළ එය ප්‍රායෝගිකව මංමුළා වූවක් සේ විය. කාලයාගේ ඇවෑමෙන් එය වඩවඩාත් නටබුන් බවට ගියේ ය. මේ අඳුරු සමයේ දකින්නට ලැබුණු ඉතිරිය වූයේ ප්‍රාන්ත රජකු වූ අමිර් සිං විසින් සැපයුණු විහාරයේ නඩත්තුව සඳහා මංගලස්වාමි නම් භික්ෂුවකට ගමකින් ලැබුණු දීමනාව යි. ඒ අතර 15 වැනි සියවස අගදී බුරුම ධර්මදූත ආයතනයකින් ඇතැම් ප්‍රතිසංස්කරණ කීපයක් කර ඇත. කෙසේ වෙතත් 1590 දී ගෝසේන් ගිරි නම් හින්දු නායක පූජකයා ඔහුගේ දේවාලය බුද්ධගයාවේ පිහිටුවන කල්හි එය සපුරා නටබුන් පත්ව තිබිණ.

මහන්තා හෙවත් නායක හින්දු පූජකයා විසින් මහබෝධි විහාරය අත්පත් කර ගැනීමත් එක්ක ම බෞද්ධ සිද්ධස්ථාන පුණ්‍යභූ®මිය අබෞද්ධයන් අතට පත්විය. එතැන් සිට බුද්ධගයාව කෙලෙසන සමය ඇරඹිණ. 1861 දී කනිංහැම්, මහන්තා සහ ඔහුගේ අනුගාමිකයන් මුණගැසී ප්‍රධාන සිද්ධස්ථානයේ අබෞද්ධ උත්සව පැවැත්වීමට ඉඩ ලබා දුන්නේ්ය. තවදුරටත් මහන්තා මඟින් මහාබෝධිය සහ ඒ වටා භූ®මිය ඔහුගේ (මහන්තාගේ) දේපොළක් බවට අයිතිවාසිකම් ඉල්ලා සිටින ලදී. එහෙත් ගරා වැටෙමින් තිබුණු ඓතිහාසික විහාරය පුනරුත්ථාපනයට කිසිදු පියවරක් ගත්තේ නැත. මේ ශ්‍රේෂ්ඨ විහාරය කෙතරම් කනගාටුදායක ඉරණමකට ලක්ව ජරාවාස වී තිබුණේ ද යන්න 1880 දී කල්කටාවේ ‘ඉන්ග්ලිෂ්මන්’ ප්‍රකාශනයේ පළකරන ලද සියැසින් දුටු සාක්ෂි වාර්තාවෙන් මැනවින් නිගමනය කළ හැකි ය. එහි වාර්තාකරු මෛසේ සඳහන් කරයි.

‘සමස්ත පදනම සහ යටි පස්තට්ටු, ගොඩගැසුණු කුණුකන්දල් යට වැළලී ගොසිනි. විවේකාගාරයේ බීමත්, ඉදිරිපිට ශාලාවත් බුරුම ජාතිකයන් විසින් ඉවත් කරන ලද රළු ශෛලමය බිම් තට්ටුවට වඩා අඩි හතරකින් පහත් ය. බුරුමයන් විසින් ඉදිරිපිට තිබුණු කුණුකන්දල් ඉවත් කර තිබුණෙ මුළුමනින් නොවේ. අර්ධ වශයෙනි. ලොකු ශාලාවේ වහලයක් නොතිබිණ. අර්ධ ශාලාව හෙවත් ද්වාර මණ්ඩපයේ (ආලින්දය) දෙවන මහලේ ද වහලය තිබුණේ නැත. තුන්වැනි කුටියට ඔබ්බෙන් පිහිටි විහාරයේ ඉදිරිපස මුළුමනින් ගරා වැටී තිබිණ. එය ගරා වැටී තිබුණේ උසින් අඩි විස්සක් සහ පතුලින් අඩි 12 ක් පළල විශාල ත්‍රිකෝණාකාර හිදැස් විවරයක් නිමවමිනි. නැගෙනහිර දිසාවට යන්නට තිබුණු පදික වේදිකාවේ ඉදිරිපස මුළුමනින් සුන්බුන් ගොඩකි. වේදිකාවේ දකුණු පැත්තේ ඉදිරිපස ද නටබුන් බවට ගොසිනි. එහෙත් මුල් නිර්මාණයේ කොටස් අතනින් මෙතැනින් ඉතිරිව තිබේ. විහාරයේ සම්පූර්ණ බටහිර මුහුණත කුණුකන්දල් යට වැළලී ඇත. 1875 දී මින් දොන් මින් රජු විසින් අරඹන ලද පුරුත්ථාපන කටයුතු සැලකිය යුතු ප්‍රගතියක් නොලද බව 1880 වනවිට දකින්නට ලැබිණ. වාසනාවකට මෙන් මේ පියවරේදී ව්‍යාපෘතිය ගැන සැලකිල්ලක් දැක්වූ ඉන්දියානු ආණ්ඩුව පරිපූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා ඉංජිනේරු ජේ.ඩී. බෙග්ලර් පත් කළේ ය. ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා සහයෝගයන් ලෙස ජනරල් කනිංහැම් සහ ආචාර්ය රාජේන්ද්‍රලාල් මිත්‍රා ද පත් කරනු ලැබූහ. පුනරුත්ථාපනය සිදුකැරුණේ සුන්බුන් අතරින් සොයා ගන්නට ලැබුණු කුඩා ශෛලමය ආකෘතියක් පදනම් කර ගෙන ය. ඒ අනුසාරයෙන් ගොඩනැගිල්ල මධ්‍යකාලීන යුගයේ තත්ත්වයෙන් තරමක් සතුටුදායක පූර්ණත්වයෙන් පුනරුත්ථාපනය කර ගත හැකි විය. මහාබෝධි විහාරය හැම අතින් ම මුල් විහාරයේ නියම පිටපතක් වන ලෙස අද තිබෙන තත්ත්වයට පුරුත්ථාපනය සහ නවීකරණය කිරීම අති බැරෑරුම් කාරියක් සහ විශාල පිරිවැයක ප්‍රතිඵලයකි.

අද දකින්නට ලැබෙන පරිදි එය අඩි 160 ක් තරම් උස ය. ස්තූපය මත පිහිටන ලද සෘජු දාර සහිත පිරමීඩාකාර කුලුණකින් යුක්ත ය. ද්වාර මණ්ඩලය නැගෙනහිර ට මුහුණ ලා සිටී. කුලුණේ හතර පැත්තෙහි එක පිට එක පිහිටි බිත්ති කුහර වෙයි. ඒ අතර ඉදිරි මූණතෙහි විවේකාගාරයට ආලෝක ප්‍රවේශය සඳහා ලන්සාකාර හෙවත් දෙපැත්ත කැපෙන ලොකු පිහිතලයක හැඩ ඇති කවුළුවකි. කුලුණු පාදමේ කොන් හතරින් එක එකකින් එකක් බැගින් කොත් හතරක් නැඟී සිටී. ඒවා ප්‍රධාන කොතේ අනුපිටපතක් වැනි ය.

තථාගතයන් වහන්සේගේ රන් ආලේපිත විශාල ප්‍රතිමාව බුද්ධත්වය ලැබීම පිළිබඳ පරම සංසිද්ධිය සංකේතවත්කරමින් භූ®මි ස්පර්ශ මුද්‍රාවෙන් යුතුව අත්තිවාරම අසල ප්‍රධාන විවේකාගාරයෙහි තැන්පත් කර ඇත. රතන චංකමන චෛත්‍යය හෝ බුදුන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසු සමාධිගතව සතියක් ඔබ මොබ සැරිසැරූ සක්මන් මළුව විහාරයේ උතුරු පැත්තේ ආයතාකාරව විහිදී තිබේ. බුදුන් වහන්සේගේ් පියවර සටහන් කැටයම් කරන ලද සැරසිලි මඟින්, බිම් මට්ටමේ සිට අඩි හතරක් පමණ උස පටු ගල්බැමි වේදිකාවක් මත දැක්වෙයි.

රත් පැහැති වැලි ගල්ලෑල්ලක කැටයම් කර ඇති බෝධි වෘක්ෂය සහ බුද්ධත්වය ලබන විට වැඩ සිටි ආසනය හෙවත් වජ්‍රාසනය විහාරයේ බටහිර දිසාවේ දකිණු හැකි ය. පුනරුත්ථාපන කටයුතු කරගෙන යන අතර පැරණි බෝධි වෘක්ෂය ඇද වැටීම නිසා එයින් ලබාගත් අංකුරයක් කනිංහැම් විසින් මුල්තැන රෝපණය කරනු ලැබිණ. ඒ අනුව වර්තමාන බෝධි වෘක්ෂය මේ වනවිට (1973) වසර සියයක් තරම් වයස ඇත්තකි. පුනරුත්ථාපනයෙන් පසු පවා මහාබෝධි විහාරය සහ ඉඩකඩම් ඇතුළු දේපොළ අයිතිය දිගටම මහන්තා අත පැවතිණ. ආයතනයේ ආරක්ෂාව විෂයයෙහි ඔහුගේ නිර්දය සහ නොසැලකිලිමත් ආකල්පය පසෙක තිබියේවා. එහෙත් විහාරය ප්‍රමුඛ ආයතනයේ පිරිසිදුකම කෙරෙහි දක්වන ලද සැලකිල්ලේ දුක්ඛදායක තත්ත්වය පවා කෙබඳු වුයේ ද යන්නට සාක්කි 1885 දී බුද්ධගයාවට පැමිණි ‘ලයිට් ඔෆ් ඒෂියා’ කාව්‍යයේ ලෝක ප්‍රසිද්ධ කතුවරයා වූ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් අත්දුටු දෙයින් පැහැදිලි වෙයි. 1893 දී තමා කර්තෘත්වය දැරූ ලන්ඩනයේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට ශෝකජනකාත්මකව ලියමින් ඔහු මෙසේ සඳහන් කරයි.

‘සත්තකින් ම ලෝක බෞද්ධ ජනතාව මේ පූජනීය වූත්, ඔවුන්ගේ විශ්වාසයේ අත්‍යන්තයෙන් මනඞකාන්තවූත් කේන්ද්‍රස්ථානය අමතක කර තිබිණ. වසර කීපයකට ඉහත මා බුද්ධගයාවේ පදිංචිව සිටින අතර මහා රාෂ්ට්‍රයේ ගොවියෝ එවන් තැන ‘ශ්‍රද්ධා’ (මළවුන් සිහිකිරීමේ) උත්සවය පවත්වමින් සිටියෝ ය. මම එයින් බෙහෙවින් කනගාටුවට පත්විමි. සංස්කෘත භාෂාවෙන් ගලෙහි කැටයම් කරන ලද දහස් ගණනින් වූ වටිනා පැරණි කෞතුක වස්තු ගොඩගොඩවල් වටේට විසිර තිබිණ. එහි සිටි පූජකයාගෙන් පූජනීය වූ බෝධි වෘක්ෂයෙන් කොළයක් ලබාගත හැකි දැ යි ඇසීමි.

‘සහිබ් (මහත්තයා) ඔහෙට කැමති තරමක් කඩා ගන්න. ඒවායින් අපට වැඩක් නෑ.’ ඔහුගේ පිළිතුර විය.

1891 ජනවාරියේදී අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවට පැමිණි කල්හි, පූජනීය බුද්ධගයා විහාරයේ පාලනය ආපසු ලබා ගැනීමේ ව්‍යාපාරය ඇරඹිණ. සම්බෝධිය සාක්ෂාත් කළ වජ්‍රාසනය දුටුමතින් ඒ මොහොතේ ම ක්‍රියාත්මක වූ එතුමා පූජනීය විහාරය තවදුරටත් කෙලෙසීම නතර කිරීමට පියවර ගන්නට තීරණය කළේය. එහිලා මූලික පියවරක් ලෙස දුරදක්නා නුවණින් යුත් ධර්මපාලතුමා 1891 මැයි 31 වැනිදා බුද්ධගයා මහබෝධි සමාගම පිහිටුවී ය. ඉක්බිති එතුමා බුද්ධගයාවට පැමිණ එහි නතර වීමට ශ්‍රී ලංකාවෙන් භික්ෂූන් හතර නමක් කැමති කරවා ගත්තේය. එනම් පූජ්‍ය දුනුවිල චන්දජෝති, පූජ්‍ය මාතලේ සුමංගල, පූජ්‍ය අනුරාධපුර පේමානන්ද සහ පූජ්‍ය ගාල්ලේ සුදස්සන හිමිවරු ය. උන්වහන්සේලා 1891 ජුලි මාසයේදී බුද්ධගයාවට සැපත්ව, අවුරුදු කීපයකට පෙර ගොඩනඟන ලද බුරුම තානායමේ නවාතැන් ගත්හ. බුද්ධගයාවේ සියලු දේපොළ අයිතිය මහන්තා සතු වූයෙන් භික්ෂූන් වහන්සේගේ පැමිණීම ගැන ඔහු විරෝධය පෑවේ ය. එපමණක් නොව ඔහුගේ පෙළඹවීම මත 1893 පෙබරවාරියේදී භික්ෂූන්ගෙන් දෙනමකට ඔහුගේ මැරයන් ලවා පහර දෙන ලදී. එයින් එක් නමක් වූයේ මාතලේ සුමංගල හිමියෝ ය. ඊට වසර දෙකකට පසු 1895 දී ධර්මපාලතුමාට ජපන් භික්ෂූන් විසින් පරිත්‍යාග කරන ලද බුදු පිළිමයක් විහාරයේ ඉහළ මාලයේ තැන්පත් කරන්නට යෑමේදී මහන්තාගේ මැරයෝ පහර දුන්හ. ඔවුහු බුදුපිලිමය තැන්පත් කිරීම ද වැළැක්වූහ. එහෙත් පසුව බුදුපිළිමය බුරුම තානායමේ තැන්පත් කැරිණ. මහන්තා සහ ඇතැම් හින්දු සංවිධාන පමණක් නොව විශේෂයෙන් ම ලන්ඩනයේ බ්‍රිතාන්‍ය - ඉන්දියා සංගමය බුදුපිළිම තානායමෙන් පවා ඉවත් කරන්නට යත්න දැරී ය. තමන්ගේ් ඇඟ බේරා ගැනීමට ඔවුන් කීවේ ‘එය හින්දුන්ගේ් හිත් රිදවන්නක්’ බව යි. එහෙත් රජය එයට එකඟ වූයේ නැත.

1906 දී මහන්තා බෞද්ධ භික්ෂූන් තානායමින් ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළේ ය. ඒ එක්ක ම බෞද්ධයොත් මහාබෝධි විහාරයේ පාලනය තමන් අතට පවරන ලෙස ඉල්ලා සිවිල් නඩුවක් ගොනු කළහ.

මතභේදය පිළිබඳ නීතිමය කඹඇදිල්ල ඉන්දියාවට ස්වාධීනත්වය ලැබීමෙන් පසු 1948 දී බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුව බුද්ධගයා විහාර පාලන පනත ක්‍රියාත්මක කරන තුරු ඇදී ගියේ ය. ඒ අනුව කළමනාකරණ කමිටුව 1952 දී ප්‍රාන්ත ආණ්ඩුව මඟින් ස්ථාපිත විය. ඒ එක්කම කළමනාකරණය සහ විහාර භූ®මිය පාලනය කිරීම සහ වෙනත් දේපොළ ද පවරා දෙන ලදී. 1919 බුද්ධගයා විහාර පාලන පනතේ පැනවුණු පරිදි කමිටුව සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත ය. ඉන් හතර දෙනෙකු හින්දුගෙන් වුණු අතර අනෙක් හතර දෙනා බෞද්ධයෝ ය. ගයාවේ අයබදු එකතු කරන්නා සභාපති වූයේ ය.

 Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA  සගරාවේ පළකරන ලද ශ්‍රී ඩී.සී. අභිර් ලේඛකයාගේ The Great Maha Bodhi Temple නිබන්ධනයේ පරිවර්තනයකි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.