Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලබන ජනවාරියේ දී ශ්‍රී මහ බෝධි ශාඛාවක් ඉන්දියාවට වැඩම කෙරේ

ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඉන්දියාවට වැඩම කරවීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත.

ඒ අනුව 2600 බුද්ධ ජයන්තියට සමගාමීව ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ශාඛාවක් මෙසේ ඉන්දියාවට වැඩම කරවීම සිදු කෙරේ.

ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලිකත්වයෙන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අගමැති දි. මු. ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් අගමැති කාර්යාලයේදී පැවැත්විණි. අනුරාධපුරයේ සිට කොළඹටත් කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළටත් මහා සංඝරත්නයේ ආශිර්වාද සහ ආගමික වත්පිළිවෙත් මධ්‍යයේ රිය පෙරහැරකින් බෝධීන් වහන්සේගේ ශාඛාව වැඩම කරවීමට නියමිතය.

කටුනායක ගුවන් තොටුපොළේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව බුද්ධ ගයාවට වැඩම කරවීම සඳහා මිහින් ලංකා සමාගම ගුවන් පහසුකම් සපයා ඇතැයි ද මෙම අවස්ථාව ඓතිහාසික සිද්ධියක් වන හෙයින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අදාළ කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අගමැතිවරයා සංවිධායක කමිටුවට උපදෙස් දී ඇත.

මෙම වැඩසටහනට අදාළ පූර්ණ සම්බන්ධීකරණ කටයුතු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හරහා සිදු කෙරේ.මෙම සාකච්ඡාවට ඉන්දියානු මහාබෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් ඇතුළු මහා සංඝරත්නයද බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන, අගමැති ලේකම් එස්. අමරසේකර, බුද්්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර ජයතිලක මහත්වරු ද සහභාගී වූහ. චින්තා රණසිංහ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.