Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ මංගල්‍යය අගෝස්තු 10 දා ඇරැඹේ

හෙළයේ අසිරිමත් මහා කලා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය අගෝස්තු මස 10 වැනි දින චාරිත්‍රානුකූලව සිවු මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මෙවර ආරම්භ කෙරේ.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 15 වැනි දින රාත්‍රි වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 2010 පෙරහර මංගල්‍ය ආරම්භ කිරීමට නියමිතව ඇත.

කුඹල් පෙරහර දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු අගෝස්තු මස 20 වැනි දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමත් සමග මෙවර පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර මංගල්‍ය ආරම්භ කෙරෙන අතර අවසන් රන්දෝලි මහා පෙරහර 24 වැනි දින රාත්‍රියේ මේ අනුව වීදි සංචාරය කෙරේ.

අගෝස්තු 25 වැනි දින දහවල් පෙරහර වීදි සංචාරය කිරීමත් සමග මෙවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍ය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර කෞතුකාගාර ගොඩනැගිල්ලේදී 16 වන දා පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. මෙවර ඇසළ පෙරහර මංගල්‍ය සඳහා ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් මත රජය ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ලබන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කෙරෙන අගෝස්තු මස 10 වැනි දින සිට අගෝස්තු 25 දා දක්වා මහනුවර නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයේ සියලු සුරා සල් වසා තැබෙන බවත් ප්‍රථම කුඹල් පෙරහර දින සිට පෙරහර අවසන් වන තෙක් මහනුවර නගරය හා ඒ අවට සියලු මස්කඩ වසා තැබෙන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් ගෝඨාභය ජයරත්න මහතා මෙහිදී කීය.

පෙරහර මංගල්‍යයේ විශේෂ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හය දහසක පමණ පිරිසක් යොදවන බැව් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්ජිත් කස්තුරිරත්න මහතා පැවසීය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.