Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජගත් බොදු මහ සමුළුවට විදෙස් නියෝජිතයෝ 700ක්

සම්බුද්ධ ජයන්තියට සමගාමීව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට ලෝකයේ බෞද්ධ රටවල නියෝජිතයන් 700 ක් කැඳවීමට තීරණය කර තිබේ.

අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ පෙරේදා (15) පැවැති 2600 වැනි සම්බුද්ධත්ව මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණයට එළඹ තිබේ.

කමිටු රැස්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම දිවියාගල යසස්සි බ්‍රාහ්මණවත්තේ සිවලී, පල්ලේගම හේමරතන නාහිමිවරුද අගමැති ලේකම් එස්. අමරසේකර, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍ර ජයතිලක, මෙහෙයුම් කමිටුවේ ලේකම් කේ. කළුපහණ මහත්වරුද සහභාගිවූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නමුත් එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

සම්බුද්ධ ජයන්ති උළෙල ප්‍රාදේශීය මට්ටමින් දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරීමටත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සෑම ආයතනයකින්ම සහය ලබා ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අතර බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීමත්, ලෝකයේ සෑම රටකම පාහේ බෞද්ධ විහාරස්ථාන ඇති කිරීම රජයේ අරමුණ බවත් අගමැතිවරයා පැවැසීය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.